වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




තහනම ඉවතට පද්මාවති හෙට ලොව පුරා

තහනම ඉවතට පද්මාවති හෙට ලොව පුරා

සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණයක්

පද්මිණි රැජන පිළිබඳ රචිත පද්මාවත් පද්‍ය කාව්‍යය (Padmavat) 1540 පමණ මලික් මුහම්මද් ජේසී විසින් රචනා වූවකි.

දැඩි ආන්දෝලනයක් ඇති කරමින් දැඩි ජනතා විරෝධයට ලක් වූ පද්මාවත් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 190ක වියදමෙන් නිර්මාණය වූවක්. මෙය රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් එක්ව රඟන තෙවන චිත්‍රපටය ද වෙනවා.

මෑත කාලීනව නිර්මාණ වුණු බොලිවුඩ් සිනමාපට අතරින් පද්මාවතී යනු දැඩි ලෙස ආන්ලෝදනයකට මුහුණ දුන් චිත්‍රපටයක්. මෙලෙස නොයෙක් බාධාවන්ට මුහුණ දුන් සංජේ ලීලා බන්සාලි විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවතී චිත්‍රපටය අද (ජනවාරි 25) සිට 'පද්මාවත්' Padmavat නමින් තිරගත කිරීමට නියමිතයි.

ඉන්දියාවේ චිත්‍රපට සහතික කිරීම මධ්‍යම මණ්ඩලය විසින් කළ යෝජනාවකට අනුව මෙසේ පද්මාවතී නම පද්මාවත් ලෙසින් වෙනස් කර ඇති අතර මෙම චිත්‍රපටයට පද්මාවත් පද්‍ය කාව්‍යය (Padmavat) පාදක කරගෙන තිබීම නිසා එම මණ්ඩලය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. පද්මිණි රැජන පිළිබඳ රචිත පද්මාවත් පද්‍ය කාව්‍යය (Padmavat) 1540 පමණ මලික් මුහම්මද් ජේසී විසින් රචනා වූවකි.

එහි සත්‍ය සහ ප්‍රබන්ධ කතා ඇතුළත් අතර අතිශය රූමත් පද්මාවතී නම් සිංහල රජ කුමාරිකාවක් පිළිබඳ තොරතුරු ගිරවකු මඟින් අසා දැන ගන්නා චිතෝර්හි යුව රජ රතන් සිං, සිංහල රාජධානිය හෙවත් ශ්‍රී ලංකාවට පැමිණ පද්මාවතිය දිනා ඇය ද සමඟින් යළි චිතෝර් බලා ගිය බව කියයි. සුරූපි පද්මාවතිය පිළිබඳ තතු දැන ගන්නා දිල්ලියේ සුල්තාන්වරයකු වූ අලවුදීන් කිල්ජි, චිතෝර් ආක්‍රමණය කරන්නේ ඇය ලබා ගැනීමටයි. මෙම ප්‍රහාරයේදී රතන් සිං මරණයට පත්වන අතර අලවුදීන් කිල්ජි විසින් පද්මාවතී අල්ලා ගැනීමට පෙර ඇය ගින්නට පැන සිය දිවි නසා ගන්නා ලද බව පද්මාවත් කාව්‍යයේ දැක්වෙනවා.

චිත්‍රපටය රූගත කිරීමේ පටන් නොයෙක් ආකාරයේ අභියෝගයන්ට ලක් වෙමින් පැමිණ තිරගත කිරීමට සූදානම් වන විටදී මෙම චිත්‍රපටයෙන් 14 වැනි සියවසේ ජීවත් වූ පද්මිණි නම් හින්දු රැජනට අපහාස කරන බවට චෝදනා කරමින් විවිධ කණ්ඩායම් රැසක් මෙලෙසින් පද්මාවතී චිත්‍රපටය තිරගත කිරීමට එරෙහිව සිය විරෝධතා ආරම්භ කළා. වරෙක පද්මාවතී දර්ශන තලයට මැර ප්‍රහාර පවා එල්ල කළා. මෙම චිත්‍රපටය තුළ පද්මිණි රැජනගේ කතාව විකෘති කර ඇති බව පැවසූ විරුද්ධවාදීන් අධ්‍යක්ෂ බන්සාලි සහ ප්‍රධාන නිළි දීපිකා වෙත මරණීය තර්ජන එල්ල කළ අතර දීපිකාගේ හිස වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 10ක ලංසුවක් ඉදිරිපත් කළා. නැතහොත් අවම වශයෙන් ඇයගේ නාසය හෝ කපා දමන බවට තර්ජන පවා එල්ල කෙරුණා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, රාජ්පුත් කර්නි සේනා සාමාජිකයන් සේම ඉන්දියාවේ දක්ෂිණාශික පක්ෂවලින් ද මේ පිළිබඳ දැඩි විරෝධයක් එල්ල කෙරුණු බවත් ඇතැම් දේශපාලනඥයන් සේම රාජකීය පවුල්වලින් පවා මෙම චිත්‍රපටයට සිය විරෝධය සමඟින් එය තිරගත කිරීම තහනම් කරන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටින බවයි. කෙසේ නමුත් ගුජරාති, මධ්‍ය ප්‍රදේශ්, උත්තර ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍යවරුන් මෙයට විරෝධය පළ කරන විටදී බටහිර බෙංගාලයේ මහ ඇමතිනී මම්තා බැනර්ජි පවසා සිටියේ පද්මාවතී චිත්‍රපටය සහ චිත්‍රපට කණ්ඩායම සාදරයෙන් පිළිගන්නා බවයි.

කෙසේ හෝ පද්මාවතී චිත්‍රපටය දෙසැම්බර් පළමුවැනිදා තිරගත කරන බවට ප්‍රකාශයට පත් කළත් ඉන්දියාවේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ එය බෙදා හරින්නට සූදානමව සිටි පැරාමවුන්ට් පික්චර්ස් පවා පවතින තත්ත්වය හමුවේ එහි තිරගත කිරීම පිළිබඳ නැවත සැලකිල්ලට ගන්නා බවට නිවේදන නිකුත් කළා. මෙවැනි තත්ත්වයක් යටතේ පසුගිය නොවැම්බර් මාසයේදී බොලිවුඩයෙන් වාර්තා වූයේ, පද්මාවති චිත්‍රපටය තිරගත කිරීම දින නියමයක් නොමැතිව කල් දමන්නට සිදු වූ බවයි.

දැඩි ආන්දෝලනයක් ඇති කරමින් දැඩි ජනතා විරෝධයට ලක් වූ පද්මාවත් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 190ක වියදමෙන් නිර්මාණය වූවක්. මෙය රන්වීර් සිං සහ දීපිකා පදුකෝන් එක්ව රඟන තෙවන චිත්‍රපටය ද වෙනවා. අලවුදීන් කිල්ජි විසින් පද්මිණි රැජන ලබා ගැනීම වෙනුවෙන් රාජස්ථානයේ චිතෝර්හි සිදුවන හමුදා මෙහෙයුමක් පිළිබඳ කතාවක් කියවෙන මෙම පද්මාවත් චිත්‍රපටයේ දීපිකා චිතෝර්හි පද්මිණි රැජන ලෙසත්, රන්වීර් සිං, කිල්ජි වංශයේ දෙවන සුල්තාන් අලවුදීන් කිල්ජි ලෙසත් ෂහීඩ් කපූර් රණා රාවල් රතන් සිං ලෙසත් චරිත නිරූපණය කරනවා. පද්මාවත් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ සංචිත් බල්හාරා විසින්. මෙහි ගීත ගායනා කර ඇත්තේ ශ්‍රෙයා ගෝෂාල්, ස්වරූප් ඛාන් සහ ශිවාන් පථාක් විසිනි.