වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වඩ් ජයකොඩි මාරම්බරී 100

එඩ්වඩ් ජයකොඩි මාරම්බරී 100

සුළඟක් වී

සුළඟක් වී මං යනවා දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද මං අල්ලන්නේ

අහසක් සේ දූ යන මඟ පුළුන් වලා අතුරනවා
එහෙමයි මගෙ දෝණි මං අල්ලන්නේ
පණ වාගෙයි මගෙ දූ මං රැක ගන්නේ

මහ ගංවතුරක් වීලා හරි වේගෙන් මං ගලනවා
මහ ගස් වැල් කඳු වැටි හෙම උදුරා පොළොවට දමනවා
අප්පච්චී කොහොමද මං වළකන්නේ

මං මහ මුහුදක් වෙනවා දූ එනතුරු තනි රකිනවා
ආදරයෙන් මඟ බලනවා තුරුලට ගෙන සනසවනවා
මං ළඟ නොවැ දූ සැම දා සැනසෙන්නේ

මං බොරු තරහක් ගන්නව ඇස් රතු වෙනකල් අඬනවා
තුරුලට අරගෙන හිටියත් නැලවෙන් නැතුවම ඉන්නවා
අප්පච්චී කොහොමද මං නළවන්නේ

දූටත් වැඩියෙන් හයියෙන් එතකොට නං මට ඇඬෙනවා
දූගෙ කඳුළු මං ගන්නවා දූ නැළවෙනකල් අඬනවා
මං ඇඬුවම දූ නොවැ මා නළවන්නේ

ගී පද - ආනන්ද හේවාරංහිඳගේ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති
යුග ගැයුම - නතාෂා පෙරේරා


වසන්තයේ අග

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක විසුළ කුසුම් මත
අතින'ත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු
ළා සඳ නැඟෙනා හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදින ද ඉඩ සැලසෙන්නේ
නො දනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

දොරගුළු හැරලමු අපි දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ

ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - එඩ්වඩ් ජයකොඩි


පන්සලේ පල්ලියේ

පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනූ
පිළිම දැගැබ් පෙනේ ලෝකයක් දණ නැමූ
ඒ අපේ ශක්තියයි
ඒ අපේ ජීවයයි
වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ

මේ බවක් තේරුණේ නැතිකමින් ලෝකයේ
නැතිකමයි රජ වුණේ දුක් නොවව් මිනිසුනේ
හෙට වුණත් නෑ පමා
පණ පොවා ජීවිතේ
රළ පෙළක් සේ නැගෙව් මියැදුණත් හාමතේ

වීරියෙන් රට නැඟූ දහදියෙන් බිම තෙමූ
ජීවිතේ වේදනාවෙන් සදාකල් ගෙවූ
මිනිසුනේ හදවතේ ලේවලින් පණ ලැබූ
පරපුරක් බිහි කරව් මාවතේ තනි නොවූ
ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

සංගීතය - විශාරද ගුණදාස කපුගේ
යුග ගැයුම - චරිතා ප්‍රියදර්ශනී පීරිස්


තෙදිනි විරාජ

තෙදිනි විරාජ රුවිනි විරාජ
රුහුණු සුරාජ කඳ දෙව් රාජ

එරන් මයුර වාහනයෙන්
රුපුසෙන් බිඳ වැඩමවන්න
වැඩහිටි කඳු මත වැඩ සිට
නර කැළ වෙත සෙත සදන්න
කතරගමේ බල මහිමේ
දියත පතළ කර හරින්න

අණ විණ වස් දොස් තුන් බිය
දුරලා සත රැක දෙවන්න
මැණික් ගඟේ නිමල දියෙන
කිලිකුණු සෝදා හරින්න
කතරගමේ බල මහිමේ
දියත පතළ කර හරින්න

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - ග්‍රේෂන් ආනන්ද


සමනලයා මල හා ළමයා

සමනලයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුණේ

මලට වසා පැණි බී රිසි සේ මා
සමනලයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා

මලට නොවේ දැනුණේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පර වී
සමනලයා කොතැනේ

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - සරත් ද අල්විස්


මුව මුක්තා ලතා

මුව මුක්තා ලතා - පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ
මා හද ප්‍රේමාංගනේ - රෑ නුඹ රාසෙන් ළඳේ
බඳ මණිමේඛලාව මුදා
අනුරා නෙත් නඟන් නොනිඳා

ආකාස ගං චන්ද්‍ර නෞකාවේ
තනිවෙන්න යං පෙම් රසෝජාවේ
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රියේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ
මා හා ගයන් සෞම්‍ය සංගීතේ
ඒ හිරු නොනගීවා - රෑ තව දිගු වේවා
ඔබ නළලේ සඳුන් තිලකේ
අද ඉහිරේ ද දෙතොලින් මගේ

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආනන්ද පෙරේරා


මේ ඉර හඳ යට

මේ ඉර හඳ යට හමු වී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ

අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා

දැන හඳුනාගත් කාලේ ඉඳලා
ළබැඳි දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳුළක් ඉතිරි වෙලා

ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එම්. ආර්. චූලසිංහ


ඔබ රූ සිරියෙන්

ඔබ රූ සිරියෙන් මන් මත් වී මම
නොකළෙමි අනුවණකම්
මුළා වුණි ඔබ මුළා නොවිමි මම
මනමේ කුමාරියේ

ඔබ රූ සිරියෙන් ඔහු නැණ ගුණයෙන්
මාගේ විජිතය කෙලෙසී යනු දැක
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

හැඩි දැඩි අප හට හුරු වූ වන ගැබ
අපගේ උරුමය රකිනා රිසියෙන්
සටන් වැදිමි මම සටන් වැදිමි මම
මනමේ කුමාරියේ

ගී පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
සංගීතය - ආචාර්ය පණ්ඩිත් අමරදේව


මා මළ දවසක

මා මළ දවසක සීතල මළ කඳ
ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන
දෙතොලින් දොතොලට උණුසුම් පණ පිඹ
මේ පොළොවෙම මා යළි බිහි කළ මැන

මවුනි පොරණ ඔබ රණ විරු දරුවන්
වැළැලුණු මේ මිණි දෙරණේ
ඔවුනගෙ සිරුරත ලේ මස් නහරිනි
මගෙ හදවත පණ ගැහුණේ

උපතින් දිවියෙන් මරණින් එක ලෙස
ඔබගෙන් මා ලද උරුමේ
මේ පස මත මා පා ගැටෙනා කල
දිවියෙහි බර මට නොදැනේ

ගී පද - මහගමසේකර
සංගීතය - එඩ්වඩ් ජයකොඩි