වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

වර්තමානයේ නිර්මාණය වන චිත්‍රපට හා ටෙලි නාට්‍ය පිළිබඳ ඔබගේ අදහස් විශේෂයෙන් ලියා එවන්න.

ත්‍රී සිස්ටර්ස්

කණ්ඩායම් සංගීත කලාවේ පෙරළියක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා සංගීත කණ්ඩායම ලෙස ඉන්ද්‍රාණි පෙරේරා, ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස් හැඳීන්විය හැක. ඉන්ද්‍රාණි, මල්ලිකා සහ අයිරාංගනී එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකුගේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ඇරඹු මෙම සංගීත කණ්ඩායමට ක්ලැරන්ස් විජේවර්ධනගේ මඟ පෙන්වීවම ද හිමි විය. මල්ලිකා පෙරේරා අපට අහිමි වීම අතිශය කනගාටුදායක විය.

ජගත් චන්ද්‍රසිරි
පූජා ජගත්සිරි
මීරිගම පාර
පස්යාල


අමිතා වැදිසිංහට

ඔබ ගැයූ තාරකා වලින් ලියූ, පින්න මල් පිපී, අනෝතත්ත විල, ආදර චාරිකා, විලක නෙළුම්, සබඳ ඔබේ හද, එක මොහොතක් වැනි ගුවන්විදුලි ගීතත් ගලන දොළේ, අම්බිලියෝ, කන්ද උඩින් හඳ පායන ලීලා යන චිත්‍රපට ගීතත් එකසේ ජනප්‍රිය විය. මෙවැනි ගී එකතුවක් යළි රස විඳීන්න ආසයි.

ජයන්ත අමරතුංග
චන්දන පොකුණ
පොළොන්නරුව


මාතර මාමා

ශ්‍රී ලංකා ගුවන්විදුලියේ රුහුණු සේවයේ සෙනසුරාදා විකාශය වන මාතර මාමා වැඩසටහන ඉතාමත් විනෝදාත්මකය. මාතර මාමා සමඟ ගෙවන හෝරා එක හමාරක කාලය රුහුණේ බොහෝ දෙනා ඉතා උවමනාවෙන් රස විඳීති. රුහුණු ගුවන්විදුලියේ ජන්ම දිනය සහ පෙබරවාරි 03 වැනිදාට යෙදෙන දැනුම විනෝදය පිරුණු මාතර මාමාගේ සංවත්සරික ප්‍රසංගයට සුබ පැතුම්.

සමන් ගාල්ලගේ
කැටපල


උමයංගනා - රශීපබා - අයෝමි

ජනප්‍රිය රංගන ශිල්පිනී උමයංගනා දියණියටත් සිංහ සීවලි ලෙසින් වේදිකාව ජයගත් රශීපබා දියණියටත් ගායනයේ දස්කම් පෑ රණවිරු සෙබළිය අයෝමි පෙරේරා දියණියටත් මේ වසරේදී සියලු පැතුමන් ඉටු වී කලා ක්ෂේත්‍රයේ තව තවත් සාර්ථක වීමට වරම් ලැබේවා.

එස්. ඒ ප්‍රේමලතා
රුක්ගහතොටුපොල
බණ්ඩාරගම


සදාකාලික ග්‍රැන්විල් නාමය

ඔබ අපෙන් සමු අරන් කෙතරම් කලක් ගත වුවද ඔබේ රැඟුම්, ඔබේ ගැයුම් තවමත් අප සිත් ප්‍රබෝධමත් කරයි. ජනවාරි මස සිදු වූ ඒ මහා අනතුරු අපට අහිමි කළේ නළුවකු ගායකයකු පමණක් නොව උතුම් මිනිසෙකි. ග්‍රැන්විල් රොද්‍රිගු අප මතකයේ සදාකාලික නාමයකි. ඔබට මොක් සුව ලැබේවා.

සුසිලා පතිරාජ
පුබුදුගම
උස්වැටකෙයියාව


අර්නස්ට් වඩුගේට සුබ පැතුම්

ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේ ගේ මාධ්‍ය දිවියට වසර පනහකි. එදා පටන් මේ දක්වා ක්ෂේත්‍රයේ රැඳී සිටීම ඔබ ලද භාග්‍යයකි. ඔබගේ පෑන් තුඩින් ලියවුණේ ආදර කතා උන්මාදය යි. නළු නිළියන්ගේ සුන්දරත්වය පිළිබඳවයි. ඔබ රාමුවෙන් බැහැරට ගොස් සැබෑ වෙනසකට මුල පුරා ඇත. කලා ලොවේ ආන්දෝලනාත්මක සිදුවීම් ගෙන එන නවතම කෘතිය සාර්ථක වේවායි පතමි.

ආනන්ද වික්‍රමආරච්චි
ඉහළතල්දූව


ඇන්ජලීන්ට ඉක්මන් සුවය

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය මෙන්ම 60, 90 යුගවලින් පසු 2000 දශකයේ මුල් භාගය දක්වා සිංහල සිනමාවට අති මහත් සේවයක් කළ සිංහල සිනමාවේ රිදී සීනුව ඇන්ජලීන් ගුණතිලක අද රෝගාතුර වී සිටියි. සිංහල සිනමාවේ බොහොමයක් නිළියන් වෙනුවෙන් ඇයගේ ගී හඬ හිමි වුවද ඒ කිසිවෙකුත් ඇයගේ සුවදුක් බැලීමටවත් කාරුණික වීද? එය රසික අපට බලවත් කනගාටුවක් වන අතර සිනමාවට සේවයක් ඉටු කළ ඇන්ජලීන් ගුණතිලකට ඉක්මන් සුවය පතමි.

ආනන්ද සේනාරත්න
නිට්ටඹුව


ෂර්ලි ගෙන ආ අර්ථවත් ගී

අඟහරුවාදා හිත ළඟ හත වැඩසටහනට පැමිණි කාලයේ ෂර්ලි වෛජයන්ත ය. ඔහුගේ ජීවිත කාලයේ 80 දශකයේ තරුණ සේවා සභාවේ කලා අංශය භාරව කටයුතු කළ ආකාරය සහ තරුණ තරුණියන්ගේ දක්ෂතා හඳුනා ගෙන ඔවුන්ට දිරිදුන් ආකාරයත් සේම තරුණ සේවා සභාව හරහා යම් ස්ථාවරයකට පැමිණි අයුරුත් පැවසීය. එසේම ඔහු ගෙන ආ නැවුම් මිහිරි අර්ථවත් ගීත ද අප ප්‍රමෝදයට පත් විය.

දිනේෂ් ගුණසේකර
නූපේ
මාතර


රුක්මණී දේවි නිළි රැජනට

1940 දශකය තුළ ‍අප රටේ බිහි වූ නාටයය කණ්ඩායම් අතර බී. ඒ. ඩබ්ලිව් ජයමාන්න සූරින්ගේ මිනර්වා නාට්‍ය මඟින් වේදිකාවට ගොඩ වී පසුව සිංහල සිනමාවේ පළමු චිත්‍රපටය කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට දායක වී ජීවිතයට සිනමාව වෙනුවෙන් කැප කළ නිළි රැජන රුක්මණී දේවියගේ 95 වැනි ජන්ම දිනය ජනවාරි 15 වැනිදාට යෙදීනි. එතුමියට මොක් සුව පතමි.

එන්. ඩබ්ලිව්. පී. පෝල් පෙරේරා
තෙන්නකෝන් මාවත
ගයියාල
කුලියාපිටිය


රාසි අන්වර් ගැන තොරතුරක්

චන්ද්‍රන් රත්නම්ගේ ජනේලය චිත්‍රපටයෙන් සිනමා ක්ෂේත්‍රයට පිවිස අරගලය, පාලම යට, ගහනම් ගහ, සාවිත්‍රිගේ රාත්‍රිය වැනි සිනමා නිර්මාණ තුලින් ප්‍රතිභා පූර්ණ රංගනයන් කල ප්‍රවීණ නළු රාසි අන්වර් කලාකරුවා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ‍දැන ගැනීමට නොහැකි වීම කනගාටුවකි.

පාලක සමන් පෙරේරා
අල්විස් ටවුම පාර
හැඳල


මාතලන් මතකය

උපමා උපමේය පදවලින් යුත් මාතලන් චිත්‍රපටයේ එන අර්ථවත් ගීත ඇසෙන විට නිතැතින්ම සිහියට නැඟෙන්නේ ප්‍රවීණ නළු ගීත රචක හියුගෝ ප්‍රනාන්දු මාස්ටර්ය.

සුනිල් චන්ද්‍රසේකර
යාගොඩමුල්ල
කොටුගොඩ


සුදු අඟුරු සමඟ විවිධ චරිත

ස්වර්ණවාහිණියෙන් මේ දිනවල විකාශය වන සුදු අඟුරු ටෙලි නාට්‍යයේ විවිධ චරිත ඔස්සේ රංගනයන්හි යෙදෙන රොෂාන් පිලපිටිය, චන්දික නානායක්කාර සහ තිලක් කුමාර රත්නායකට සුබ පැතුම්.

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය


මල්පාරේ දිල්හානිගෙ මල් වගේ අදහස්

පසුගිය දිනෙක ස්වාධීන රූපවාහිනියේ මල්පාරට පැමිණි ප්‍රවීණ නිළි දිල්හානි අශෝකමාලා විසින් සිනමාව හා ටෙලි නාට්‍ය පිළිබඳව අවංක නිහතමානිව දැක් වූ අදහස් අගයමු. කලාවේ අරුත, සීමාව හෝ අරමුණවත් හරි හැටි නොදැන සිටින නිර්මාණවේදීන්ට එය නුවණින් සිතා බැලිය යුත්තකැයි අපට සිතේ. දිල්හානිට සුබ පැතුම්.

විරාජ් හර්ෂනාථ
හුළුගල්ල පාර
නිකවැරටිය


භාරතයෙන් ඇසෙන සුමියුරු ගී

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය මඟින් අඟහරුවාදා සහ ඉරිදා රාත්‍රියේ ඉදිරිපත් කෙරෙන භාරතයෙන් ඇසෙන සුමියුරු ගී ඇතුළත් ස්වර වසන්තය අගය ‍කළ යුතු වැඩසටහනකි. අසන්නන්හට ඉතාමත් ළෙංගතු ස්වරයකින් ආමන්ත්‍රණය කරන දිනූෂා වෙත්තසිංහට හින්දි ගීතයේ අරුත් පහදන රෝහණ වික්‍රමසිරිවර්ධනටත් චාන්දනී සිල්වාටත් වෙළෙඳ සේවා අසන්නන් වෙනුවෙන් හා සරසවිය රසික කැළ වෙනුවෙන් සුභාශිංසන පිරිනමමි.

විමලසේන හපුතන්ත්‍රී
අත්තනගල්ල


රේඛාව මියුරු ගීයෙන් විචිත්‍රවත් කළ පන්සලේ පියතුමා

අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කර 1956 වසරේ තිරගත වූ රේඛාව චිත්‍රපටයේ ඇතුළත් ගීත හයම රචනා කර ඇත්තේ ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසිනි. සිසිර සේනාරත්නයන් ගයන ඕලු නෙළුම් නෙරිය රඟාලා, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගයන වෙසක් කැකුළු අතු අග හිඳ, සුදු සඳ එළියේ වැනි අනෙකුත් ගීත ද එදා මෙන්ම අද ද රසික ප්‍රසාදය හිමිකර ගෙන ඇත. එතුමා දැයෙන් සමුගෙන වසර 20ක් ගත වන මේ අවස්ථාවේදී කවියට ගීතයට අමිල මෙහෙයක් ඉටු කළ ගරු මර්සලීන් ජයකොඩි පියනමට අපේ බැති උපහාරය පිරි නමමු.

කිත්සිරි ගුණසේන
කන්දෙගෙදර, බදුල්ල
කොළොන්නාවේ විජේසිරි


සුපිරි ‍තරු සදාතනික වීමට නම්

ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ ජනප්‍රිය ගීත ගයමින් තරු රියැලිටි වේදිකාවලින් සුපිරි ‍තරු ලෙස පායා ජනතා උපහාර ලබමින් රථ පෙරහරින් ගම් බලා ගියද පසුව තමන්ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔස්සේ රසික ජනතාවට හමුවට පැමිණෙන්නේ නම් වටී. එවිට එම නැවුම් ගී නිර්මාණ සමඟින් ඔවුන්ගේ නම් ද රසික සිතු තුළ සදාතනික වනු ඇත.

සරත් ලියනගේ
රන්මුතුගල
කඩවත


එදා ඇසුණු ගීත

එදා 60 - 70 දශකවල අප මෝහනයට පත්කළ ගී තැටිවල මුල් ගීත ඇත්තේ ජාතික ගුවන්විදුලියේ පමණයි. නමුත් පුද්ගලික නාලිකා සියල්ලෙන්ම ඇහෙන්නේ නව සංගීතයෙන් විකෘති වන ගීත යි. ජාතික ගුවන්විදුලියේ මුල් ගීත තිබියදි එම රසය විකෘති වූ ගීත ප්‍රචාරය කිරීම ගැන නම් ඇතිවන්නේ විශාල කනගාටුවක්. එනිසා එදා ඇසුණු මුල් ගීත නැවතත් අසන්න අවස්ථාව ලබා දෙන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි.

අජිත් ජෝතිය කරසිංහ
මත්තෙගොඩ


හදවතේ චිත්‍රපට

එදා සමාජයට ආදර්ශයක් දෙන චිත්‍රපට හැදුණේ ය
මධුර මනමෝහණීය ගී පද මාලා ඒ වෙනුවෙන් ලියවුණේ ය
මුදල ලාභය ගැන නොසිතා චිත්‍රපටය ගැන සිතුවේ ය
අදත් ඒ චිත්‍රපට හදවත් තුළ තිරගත වන්නේ ය

ආරියදාස පින්දෙණිය
බටවල
පාදුක්ක


ඇයට දමිතා කියන්නේ

ගැයුමට දස්සී මෙන්ම රැඟුමට දස්සී
නැටුමට දස්සී සැවොම බලනවා ඉස්සී
විහිළු තරන්න දස්සී එතෙර රැඟති උසස්වී
දුවන්න දස්සී අපි දකිනව ගැස්සී

සිටින තැනක සිනාසී ඇගෙ දෙනෙත් නටාවී
සම්මාන ලබා වී ලෝකෙ නමක් තියාවී
නපුරු චරිත කරාවී සැණින් කඳුළු පෙරාවී
රංගනයට කඩමලු අඳීවී වටින ඇඳුම් අඳීවී

පාටිවලත් සිටින්නේ මළ ගෙදරත් සිටින්නේ
වේදිකාවේ නටන්නේ රිදී තිරේ රඟන්නේ
පුංචි තිරේ බලන්නේ මෙන්න එහෙත් සිටින්නේ
කවුද කියා බලන්නේ ඇයට දමිතා කියන්නේ

ආර්. ඒ. සෝමා රණසිංහ


රුක්මණී දේවිය

ආදර රුක්මණි දේවිය අපේ
උපන් දිනය අදයි ඔබේ
සිහිකර ගුණ කඳ ඔබගේ
උපහාරය පුදමි මෙසේ

සුර ලොව සුරඟන ලෙස මනුලොව ඔබ සිටියේ එදා
දෙව්දුව විලසින් අප හදවත් තුළ වෙසෙයි මෙදා
හඬ කෝකිල නාදෙන් ගැයු ඒ ගී රාවේ
තවමත් සවන් පිනා රැව් දේ ගුවන පුරා

කඳුළැලි නෙත සඟවා නිතර සිනහ මුව පුරවා
සිනමා රැජිනිය ලෙස සැම ජන හදවත් පිනවා
හතලිස් වසක් පුරා ගී ලොව කිරුළ දරා
සිටි ඔබ නොසිතු ලෙස මරු හා සැඟව ගියා

සජිනි ඉසුරිකා රණසිංහ
හේකිත්ත
වත්තල