වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ගඟ තවම තරුණයි ජල තරඟ හිනැහෙයි

මාරම්බරී 100යි

ගඟ තවම තරුණයි ජල තරඟ හිනැහෙයි

සංගීතඥයෙකු පමණක් නොව අධ්‍යාපනඥයෙකු වශයෙන් තමාගෙන් සමාජයට ඉටු විය යුතු මෙහෙවර වෙනුවෙන් ඔහු ක්‍රියා කරනු නොයෙක් විට අපි දැක ඇත්තෙමු. ළමයින් වෙනුවෙන් ළමා ගී එකතුවක් නිර්මාණය කරනුයේ ද ඒ අභිප්‍රායෙනි.

කලාවේ නියැළෙමින් කාර්යබහුල ජීවිත ගෙවමින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යාමද අතුරේ යන ගමනකි. චරිතාත්, එඩ්වඩුත් විවාහ වී ඇත්තේ 1991 වසරේදීය. දෙහදක බැඳි ආදරය මල්ඵල ගෙන 27 වසරක් ගෙවූ යුගදිවිය තුළ මිහිර අමිහිරි අත්දැකීම් රාශියක් ඇති.

‘සඳ එළිය ගඟක් වී’ නමින් එඩ්වඩ්ගේ නවතම ගීත එකතුවක් ද ‘ඔබේ අහසේ’ නමින් චරිතාගේ නවතම ගීත එකතුවක් ද සමඟ සී. ඩී. 07 ක් එළි දකින්නේය.

ජීවිතය දෙස ආපස්සට හැරෙද්දී ගත වූ කාලය කෙතරම් සොඳුරුදැයි සිතෙන්නේ එකී කාලය තුළ අපි කියූ කෙරූ දේ නිසාය. අපට හමු වූ සොඳුරු මිනිසුන් නිසාය. සත්පුරුෂයින් හා හෘදයාංගම ඇසුරකට මඟ පෑදෙන්නේ නම් එක අතකින් එය පෙර ආත්ම භවයකදී තමන් කළ පින් මහිමයෙන් ලද වාසනාවකි. මා එසේ සිතනුයේ වත්මන් සමාජ පරිසරය තුළ දක්නට ලැබෙන ආර්ථික, සමාජීය, සංස්කෘතික හා දේශපාලනික මුහුණුවර නිසා බොහෝ සමාජ සබඳතා හා ආදරණීය බැඳීම් සීමාසහිත වන බැවිනි. එහෙත් ආදරය, සෙනෙහස, දයාව, කරුණාව, හිතවත්කම, යාළු මිත්‍රකම් වැනි මානුෂීය බැඳීම් එකී සීමා මායිම් තුළ පමණක් පිහිටා තබා ගත හැකි ද යන්න ආදරණීය සිතකට ගැටලුවකි.

සීමා මායිම් නොතකා මුළු මහත් සමාජයටම ආදරය, සෙනෙහස බෙදමින් පමණක් නොව, සප්ත ස්වරයේ අම රසින් සුවහසක් ශ්‍රි ලාංකික රසික රසිකාවන්ගේ ආදරය දිනා ගනිමින්, මෙරට සුභාවිත ගීතයේ හිමිකරුවකු වන විශාරද එඩ්වඩ් ජයකොඩි අපේ සිතේ ගෞරව සම්ප්‍රයුක්ත තැනක රැඳෙනුුයේ මේ නිසාය.

තම වෘත්තීය ජීවිතය තුළ සාඩම්බර ගමනක නිරතවන අතරතුරම සුන්දර ගම් පියසකින් ආදරණිය මවුපිය යුවළකගෙන් දායාද වූ ජීවිත වටිනාකම්, තරගකාරී කොළම් පුරයේදී මෙන්ම කලා ක්ෂේත්‍රය තුළදී ද නොමසුරුව රැක ගනිමින් ආ ගමනක අභිෂේකය සටහන් කරන්නට ඔහු මේ දිනවල සූදානම් වේ. ඒ එළඹෙන 28 වැනිදා (ඉරිදා) සවස 6.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී දිගහැරෙන ‘මාරම්බරී 100’ ප්‍රසංගයය. සිංහල ගීතයේ දේශීය සලකුණු පෙන්නුම් කරමින් එඩ්වඩ් පැමිණි මේ සා දීර්ඝ ගමන් මඟ තුළ මාරම්බරී ඒක පුද්ගල සංගීත ප්‍රසංගය සුවිශේෂී සන්ධිස්ථානයක් විය. සිංහල ගීතයේ දේශීයත්වය දිනෙන් දිනම අපෙන් බැහැර වන යුගයක ඒ වෙනුවෙන් පෙනී සිටින සුභාවිත ගීත රැගත් ‘මාරම්බරී’ වැනි සංගීත ප්‍රසංගය දර්ශන වාර 100 ක් දක්වා පවත්වාගෙන යාම ද එක්තරා ආකාරයක අභියෝගයකි. එහෙත් ‘හිත ඇත්නම් පත කුඩා ද’ යන පිරුළ සනාථ කරමින් එඩ්වඩ් ඒ අභියෝගය අද දිනාගෙන ඇත.

එඩ්වඩ් ගේ මේ නොසැලෙන ශක්තියේ, ධෛර්යයේ උත්සාහයේ දැවැන්ත සෙවණැල්ල ආදරණීය චරිතාය. එඩ්වඩ්ගෙන් චරිතාත්, චරිතාගෙන් එඩ්වඩ් වෙන්ව ගත් කළ එතැන විග්‍රහ කරන්නට දෙයක් නොවේ යැයි මට සිතේ. මේ දෙදෙනා තුළ ඇත්තේ ගසට පොත්ත මෙන් වන ආදරණීය බැඳීමකි. එකී බැඳීම තුළ ඔවුන් දෙදෙනා සමාජයට තිළිණ කළ දේ බොහෝය. එඩ්වඩ් නම් වූ සුවිසල් නුගරුක සමස්ත සමාජයක්ම නිවී පහන් කරවමින් සෙවණ සදනුයේ චරිතා දිවි හිමියෙන් කැප වී ආදරයෙන් ඔහු බලා කියා ගන්නා නිසාය. මේ සුසංයෝගයෙන් දිග හැරෙන ‘මාරම්බරී’ මෙවර ගීතලෝලී සහෘදයන් වෙත ආනන්දනීය රාත්‍රිියක් මවන්නේය. එපමණක් ද නොව ‘සඳ එළිය ගඟක් වී’ නමින් එඩ්වඩ්ගේ නවතම ගීත එකතුවක් ද ‘ඔබේ අහසේ’ නමින් චරිතාගේ නවතම ගීත එකතුවක් ද සමඟ සී. ඩී. 07 ක් එළි දකින්නේය.

එඩ්වඩ් ජයකොඩි ගැයූ ටෙලි නාට්‍ය ගීත, චිත්‍රපට ගීත, යුග ගීත ඇතුළත් සී. ඩී. ත්‍රිත්වයක් සහ එඩ්වඩ් - චරිතාගේ ගීත ඇතුළත් ‘මාරම්බරී’ සංයුත්ත තැටියත් ‘ඔබ හරි උණුසුම්’ නමින් ආදර ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද මේ නිමිත්තෙන් එළි දකී. වර්තමාන සංගීත ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන බොහෝ දෙනෙකු පවසන ආකාරයේ කනගාටුදායක තත්ත්වයක් ඇති මොහෙතක සංගීත ක්ෂේත්‍රයේ මුදුන් මල්කඩ වශයෙන් සැලකූ පණ්ඩිත් අමරදේවයන්ට පසු මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය වික්ටර් රත්නායකයන්ට පසු සිටින ජ්‍යෙෂ්ඨයකු ලෙසින් එඩ්වඩ්ගේ මේ ප්‍රයත්නය කාගේත් ඇගයීමට පාත්‍ර විය යුතුය. ‘අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් දැල්වීම වටී’ යන්න සනාථ කරමින් ඔහු මෙරට ගීත ශ්‍රාවකයින් වෙත නව නිර්මාණ රැසක් රැගෙන එයි. වත්මන් පරපුර ගීතය වෙනුවෙන් සංවේදී වන්නට හරියාකාර රසාස්වාදයක් විඳින්නට ඊට සුදුසු ගීත ඇසිය යුතුය. එවන් නිර්මාණ බිහි නොවන යුගයක එඩ්වඩ්ගේ මෙම නිර්මාණ කාන්තාරයට පැන් පොදක්ම වේවා යැයි ප්‍රාර්ථනය කරමි. මාරම්බරී ඇරැඹුණේ හරියටම මීට වසර 07 ට ඉහතදීය. එනම් 2010 ජනවාරි 05 වැනිදාය. වසර 08 ක් යනු දීර්ඝ කාලයකි. එහෙත් කාලය යන ඉක්මන අපට නොදැනී එය සිදු වූයේ ඊයේ පෙරේදා මෙන් සමීප මතකයකදී යැයි සිතේ. 2010 දී ඉපදුණු දරුවෙකු ඇත්තේ නම් ඔහුට ද දැන් ගීත රස විඳීමේ හැකියාව ලැබී ඇත්තේය. ගෙවුණු කාලය තුළ මාරම්බරී ප්‍රසංගය මෙන්ම එඩ්වඩ් - චරිතාගේ ගමන් මඟ විමසීම ද යුක්ති යුක්තය. ආරම්භයේ පටන්ම මේ දෙදෙනා තුළ වුයේ සංයමශීලී හෙමින් ගමනකි. කලාවට උරුමකම් කියූ ජනප්‍රිය පවුලකින් පැවත ආව ද චරිතාට ද වූයේ සැලසුම් සහගත ඉදිරි ගමනකි. නිවේදන ක්ෂේත්‍රය තුළ දී වුව ද අද ද අපට දකින්නට ඇත්තේ සුපුරුදු චරිතාමය. ගීත ක්ෂේත්‍රයේ දශක ගණනාවක් සැරිසැරූව ද රැළි පිට රැළි පැමිණෙමින් ගීතය උඩු යටිකුරු වුව ද තම ගමන් මඟේ ඉලක්ක නොවෙනස්ව තබා ගනිමින්, මුදලට නොවිකුණු කලාවක් මෙන්ම ජීවිතයක් ද පවත්වාගෙන යාම අසීරු කරුණකි. අසීරුවෙන් හෝ ඔවුන් එය පවත්වා ගෙන ගොස් ඇති බව ‘මාරම්බරී’ 100 ක් දක්වා ගෙන ආ මඟ ප්‍රත්‍යක්ෂ කරයි.

කලාවේ නියැළෙමින් කාර්යබහුල ජීවිත ගෙවමින් සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යාමද අතුරේ යන ගමනකි. චරිතාත්, එඩ්වඩුත් විවාහ වී ඇත්තේ 1991 වසරේදීය. දෙහදක බැඳි ආදරය මල්ඵල ගෙන 27 වසරක් ගෙවූ යුගදිවිය තුළ මිහිර අමිහිරි අත්දැකීම් රාශියක් ඇති. ඒත් ඒ සියල්ල ආදරණීයයි.

‘ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
ඔබේම දෑතයි නිබඳ පතන්නේ
ඔබේම වදනයි සවන රැඳෙන්නේ

ඔබේම හසරැල් සතුට වඩන්නේ
ඔබේම කඳුළැල් මහද පෙළන්නේ
ඔබේම සුසුමන් සිරුර දවන්නේ
ඔිබේම සෙවණින් සිසිල සදන්නේ

( කුමාරදාස සපුතන්ත්‍රි)

එඩ්වඩ් මෙසේ ගයන්නේ චරිතාටම විය යුතුය.

යුග දිවිය තුළ පැමිණි දුක් පැණි රස ලෙසට වලඳමින් සුවහසක් ගී නිර්මාණ තිළිණ කලා සේම වත්මන් සමාජයට ගුණ යහපත්කම්වලින් පිරිපුන් වූ දරුවන් තිළිණ කරන්නට ද ඔවුන් දෙපළ වාසනාවන්ත වූහ. පුතා චන්දීප මෙන්ම දියණිය ශාරණ්‍යා ද අද නව යොවුන් වියේ පිරිපුන් තාරුණ්‍යය අත් විඳින්නේය. අධ්‍යාපනය පැත්තෙන් දෙදෙනාම ඉහළට යන අතරතුරම මවුපියන් සෙනෙහස බැඳි කලාව කෙරෙහිද සංවේදී වන්න මේ දෙදෙනාටම ඉගැන්නුවේය. අද ‘මාරම්බරී’ ප්‍රසංගය රසවත් කරන්නට මේ දෙදෙනාම එක් වනුයේ එහෙයිනි.

‘සුළඟක් වී මං යනවා
දුර අහසේ ඇවිදින්නට
අප්පච්චී කොහොමද මං
අල්ලන්නේ . . .’

තාත්තයි දුවයි අද මේ ගීතය ගායනා කරන්නේ කෙතරම් ආඩම්බරයකින් විය හැකිද?

එඩ්වඩ් තම දරු දෙදෙනාට මෙන්ම මේ රටේ සුවහසක් දූ දරුවන්ට ආදරය කරන ගුරු පියෙකි. ගායකයෙකු, සංගීතඥයෙකු පමණක් නොව අධ්‍යාපනඥයෙකු වශයෙන් තමාගෙන් සමාජයට ඉටු විය යුතු මෙහෙවර වෙනුවෙන් ඔහු ක්‍රියා කරනු නොයෙක් විට අපි දැක ඇත්තෙමු. ළමයින් වෙනුවෙන් ළමා ගී එකතුවක් නිර්මාණය කරනුයේ ද ඒ අභිප්‍රායෙනි.

එඩ්වඩ්ට ඇත්තේ ශ්‍රාවකයා ආනන්දයට පත් කරන හඬකි. ඔහු ප්‍රේමයේ විරහව ගයන විට සිත රිදෙනු අපටම දැනේ. ඔහු බොදු බැති ගීයක් ගයන විට භක්තිය දැනේ. දේශාභිමානී ගීතයක් ගයන විට ඒ අභිමානවත් බව ද දැනේ. මේ සියලු හැඟීම් දැනවිය හැකි එකම හඬක් රටකට වාසනාවක් යැයි මට සිතේ. එඩ්වඩ්ගේ වෘත්තීය දිවිය පැතිරී ඇති පරාසයන් විවිධය. ඔහු සරල ගී ගායකයෙකි, කැසට් ගීත ගායකයෙකි, චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙකි, සංගීතඥයෙකි, වේදිකා නළුවෙකි, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරයෙකි, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකි, අධ්‍යාපනඥයෙකි. මෙකී නොකී භූමිකා සියල්ල අතර ඔහුගේ සුවිශේෂීත්වය වනුයේ කිසිදු කලබලයක් නැති සරල මනුෂ්‍යයෙකු වීමය.

චිත්‍රපට පසුබිම් ගීත ගායකයෙකු ලෙස එඩ්වඩ්ගේ හඬ වැඩිපුරම මතකයට එන ගීත කිහිපයක්ම මා සිතට නැඟේ.

‘එක යායේ කකා සිටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කළ ආරක්ෂා
නාස් ලණුව දමනවාද
කරත්තයක බඳිනවාද
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා’

එච්. ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘මංගල තෑග්ග‘ චිත්‍රපටයට එඩ්වඩ් බන්දුල විජේවීර සමඟ ගැයූ මේ ගීතය අදටත් ජනප්‍රියයි.

‘මේ කොයි යන්නේ
රයිගම් යන්නේ . . .’

මේ ගීතය ඔහු ගායනා කළේ එච්. ඩී. ප්‍රේමරත්නගේම ‘සෙයිලම’ චිත්‍රපටයටය.

එඩ්වඩ් - චරිතා ගේ පුතු චන්දීප ද පිය සටහන් ඔස්සේම යන්නේ යැයි හැඟුණේ ඔහු විසින් චරිතාට නිර්මාණය කරන ලද ගී තනුව ඇසීමෙනි.

‘ඔබේ අහසේ සුවහසක් තරු පායලා
මා නොදිලෙන එක තරුවයි’
මහාචාර්ය සුනිල් ආරියරත්න

ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැතැයි කියන්නේ ඒ නිසාය.

‘එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ සිතේ යොවුන් ආදරේ
මල් මාවතේ - තරු සාදයේ
පාවේ කැලුම් ආදරේ . . .’

තරුණ එඩ්වඩ්ගේ ආදරණීය හඬ යළි යළිත් සිහිපත් වේ. ගෙවුණු යුග යුග අප වියපත් වුව ද අවුරුදු 64 ක් ගෙවුණු එඩ්වඩ්ගේ හඬ තවමත් යොවුන් සිත් හි ආදරය වපුරන්නේය. ගායකයාගේ හඬ සේම යෞවනත්වයෙන් පිරිපුන් එඩ්වඩ්ගේ ආදරණීය මුහුණ බලන්නට සංගීත සංදර්ශන පුරා එකල තරුණියන් රොඳ බැඳගත් අයුරු තවමත් අමතක කළ නොහැකිය.

මාරම්බරී රැගෙන එඩ්වඩ් අදත් වේදිකාවට ගොඩ වෙයි. හෙටත් ගොඩ වෙන්නේය. ඔහු මෙරට ගායන ක්ෂේත්‍රයේ ඉහළම ස්ථානයක තැබිය හැකි අසාමාන්‍ය මිනිසෙකි. මෙරට සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් පෙරළා ඔහුට හිමි තැන ලැබී තිබෙනවාදැයි අප නැවතත් පසුපස හැරී බැලිය යුතුය. අප පසුපස හැරුණ ද එඩ්වඩ් ඔබ පසුපස නොහැරිය යුතුය. ඉදිරිය බලා යන්නට ඔබට ශක්තිය, ධෛර්ය සේම සියළු දෙවි රැකවරණ ලැබේවා!

මාරම්බරී . . . ගෙනෙන
ආදරණීය එඩ්වඩ් . . .
තවමත් ඔබේ හඬ
මනලෝලයි . . .
උන්මාදනීයයි . . .