වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ක්ෂේත්‍රයට එන්න කලින්ම මං පෙම්වතියක් නපුරුකම මට වාසියක්

ක්ෂේත්‍රයට එන්න කලින්ම මං පෙම්වතියක් නපුරුකම මට වාසියක්

සඳනි ප්‍රනාන්දු

ඇය මේ දිනවල ගත කරන්නේ බිමල් ජයකොඩිගේ භාර්යාව හැටියටය. ඒ අරුණ ජයවර්ධනගේ 1970 ලව් ස්ටෝරි චිත්‍රපට දර්ශන තලයේදීය. හාර කෝටියේ රශ්මි ලෙසින් ඉමහත් ජනප්‍රියතාවයකට පත් වූ ඇය රංගනයට පැමිණියේ අහම්බෙනි. ඒ අහඹු සිදුවීම ඇගේ ජීවිතයේ නවමු පිටුවක් පෙරළුවාය.

සඳනි ප්‍රනාන්දු. ඒ සොඳුරු රුවැත්තියයි.

* සඳනි, රංගනය ඔබට ආගන්තුක වූ තැන සිට මේ කතාව අරඹමු?

ඇත්තටම රංගනය මට ආගන්තුක විෂයයක්. මොකද මම කවදාවත් ජනප්‍රිය ධාරාවේ නිළියක් වෙන්න හිතාගෙන හිටියේ නැහැ. 2016 වසරේ අයි. ටී. එන්. අවුරුදු කුමරිය වැඩ සටහනට එකතු වුණා. එතැන් පටන් මට වෙළෙඳ දැන්වීම් එක දිගට ගලාගෙන ආවා. ඔය අතරේ තමයි මට හාර කෝටිය සඳහා ඇරැයුම ලැබෙන්නේ. ඒක තමයි අහම්බය.

* රශ්මි, චරිතය මෙතරම් ජනප්‍රිය වේ යැයි ඔබවත් හිතන්න නැතුව ඇති?

ඔව්. රශ්මි තමයි අභිෂේකා කියන චරිතයේ යාළුවා. පිටපත කියවද්දීම මට රශ්මිව දැනුණා. ඒ ඔස්සේ මං චරිතයට පණ පෙව්වා. ඒ හින්දම වෙන්න ඇති රශ්මි ලොකු ජනප්‍රියත්වයක් ලැබුවේ.

* රශ්මි ඔබට වාසනාව ගෙනාවා කියලා නේද ඔබ හැම තිස්සේම කියන්නේ?

පුංචි වාසනාවක් නෙවෙයි ඒක ලොකුම ලොකු වාසනාවක්. ඒ චරිතය දැකලයි මට අරුණ ජයවර්ධන මහත්මයාගේ නවතම සිනමාපටය වූ 1970 ලව් ස්ටෝරි සඳහා ඇරැයුම් ලැබෙන්නේ. ඒක තමයි මගේ පළමු සිනමාපටය.

* මා පෙර සඳහන් කළ පරිදි ඔබ එහි බිමල්ගේ වයිෆ්?

බිමල් අයියා වගේ දක්ෂයකු එක්ක චිත්‍රපටයක රඟපාන්න ලැබීම වාසනාවක්. ඒ රංගනය රිදී තිරයෙන් දැකගන්න ආසාවෙන් ඉන්නවා.

* රංගනය ඉගෙන ගත්තොත් හොඳ නැද්ද?

අනිවාර්යයෙන්ම මේ ක්ෂේත්‍රය තුළ ඉන්නවා නම් රංගනය ඉගෙන ගත යුතුයි. මම රංගනය ගැන කෝස් එකක් පවා කළා. ඇත්දැකීම් තුළින් ද මා ඉගෙන ගන්නවා. ප්‍රවීණ අය රඟපානවා බලාගෙන හිටියම එයාලගෙනුත් බොහෝ දේ උගත හැකියි.

* ඔබ තරමක ආඩම්බරකාරියක වග කතාබහෙන් වැටහෙනවා?

මම ආඩම්බර චරිතයක් කියලද ඔය අහන්නේ?

* ඔව්.

මං ආඩම්බර චරිතයක් වෙන්නත් පුළුවන්. නමුත් මාව ළඟින් ඇසුරු කරන අය නම් කියන්නේ මං ටිකක් නපුරු කෙනෙක් කියලා.

* ඒ නපුරු ආඩම්බරකම ඔබේ අවාසියට හිටින්නට පුළුවන්?

ඒක අවාසියක් තමයි. අවාසියට වඩා වාසි වූ වේලාවන් තියෙනවා. මගේ ආඩම්බරකම නිසා නුසුදුසු පුද්ගලයින්ගෙන් මාව ගැලවිලා තියෙනවා.

* ඔබගේ ගම් පළාත කොහේද?

මාරවිල.

* ඉගෙන ගත් පාසල?

මීගමුව සවුත් ජාත්‍යන්තර පාසල.

* ඔබ මේ වන විට පෙම්වතියක් නේද?

ඔව්. ක්ෂේත්‍රයට එන්න කලින් තමයි මං පෙම්වතියක් වුණේ.

* ඔහු කැමැතිද ඔබ රඟපානවට?

සැබවින්ම කැමැතියි. ඒකනෙ මම නිදහස්ව මෙහෙම රඟපාන්නේ.

* මොනවද ඔබේ ඉදිරි වැඩ කටයුතු?

මේ චිත්‍රපටයේ රඟපෑම විතරයි දැනට කරන්නේ. නිර්මාණ කිහිපයකටම කතා කළා. නමුත් දින ප්‍රශ්න තියෙන නිසා ඒවට යන්න බැරි වුණා.