වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




එඩ්වඩ් ජයකොඩි මාරම්බරී 100

එඩ්වඩ් ජයකොඩි මාරම්බරී 100

වසන්තයේ අග

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ළවැලි තලාවක විසුළ කුසුම් මත
අතින'ත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු
ළා සඳ නැඟෙනා හෝරාවේ

ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදින ද ඉඩ සැලසෙන්නේ
නො දනිමු එය අප නොවී පමා
පියවර මැන යමු යොදුන් ගෙවා

දොරගුළු හැරලමු අපි දෙහදේ
හිනැහෙමු පෙර අප පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක් අපේ ලොවේ

ගී පද - කපිල කුමාර කාලිංග
සංගීතය - එඩ්වඩ් ජයකොඩි


මේ ප්‍රේම කතා

මේ ප්‍රේම කතා නවතා මොහොතක්
අපි අවට බලමු ඇස් ඇරලා
නැති බැරිකම හතර අතේ
පාවෙනවා සුළඟ වගේ

නැති බැරිකම ජය ගන්නට
වෙර දරනා මිනිස්සුන්ට
අපි දෙන්නා ඔරුවක් වෙමු
ජීවන ගඟ පැද යන්නට

අවුල් තැවුල් පිරුණු ලොවක
අසරණ වූ මිනිස්සුන්ට
අපි දෙන්නා පලසක් වෙමු
දෙපිය නඟා ඇවිදින්නට

ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - එඩ්වඩ් ජයකොඩි
යුග ගායනය - විශාරද චරිතා ප්‍රියදර්ශනී පිරීස්


නිහඬ කල්පනා

නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි
කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි
නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි
අචල ආදරේ බැඳුණ ඔබ කෙරේ එලෙසමයි

ඉවත පා වෙලා යන්න සිතුණි දෝ මා කෙරෙන්
වෙන අයෙක් කෙරේ බැඳුණි දෝ ඔයා ආදරෙන්
සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින්
හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින්

අසරණයි මෙමා වැරැදි නෑ කළේ කිසි දිනේ
ඔබ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ
හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ
නැතිව දෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ

ගී පද - හේමසිරි හල්පිට
සංගීතය - සුනිල් ධර්මසේන


ඔබයි මමයි

ඔබයි මමයි කඳුළු අතර
ඉපැදුණා තමයි
ඔබයි මමයි කඳුළු අතර
හිනැහුණා තමයි

ආදරේ හොඳයි සුවඳයි
සුන්දරයි ලොවේ
තාරකා රුවයි පාටයි
සෙනේහය නොවේ

සාගරේ හඬයි වැලපෙයි
ජීවිතේ වගේ
ආදරේ දුකයි සතුටයි
මුසු වෙලා තියේ

ගී පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - මර්වින් පෙරේරා
යුග ගායනය - විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්


මගෙ කඳුළින්

මගෙ කඳුළින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ
මන්දහාසින් යන ගමනේ
මගේ යුග නෙතු
ඔබට හිරු සඳු වේවා

වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් චේතනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා

පාළු කුටියේ මා පරාජිත වී
නිදා නොනිදා හිඳින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුණු පහන්
නොනිමි පහනක් වීලා

ගී පද - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස


සක්වළ එතෙරට

සක්වළ එතෙරට ඇසෙනා
අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම - කම්පා කරවන
එකම හඬයි අම්මා

මෙත් බුදුන් දැක නිවන් දකීවා
ගෙදර බුදුන් අම්මා

කල්ප කාල දිගු ගමන් තලාවේ
ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ

කරපිට හිඳුවා එගොඩට පීනා
සමුදුර තරණය කරලා
මවකගෙ මුවඟින් විවරණ ලැබුවා
බුදු හිමි බුදු බව පතලා

සුරංගනාවන් පැල් බැඳ අහසේ
දොහොත් මුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කළ පින් මහිමයටයි
අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු
නිරයේමයි උපදින්නේ

ගී පද - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
යුග ගැයුම - ආචාර්ය නන්දා මාලිනී


ගංවතුර ගලා

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා
හෝ - හෝ - හෝ - ගගා රැල්ල බිඳේ
සුදට සුදේ රැළි නංවා ගලා බසී හඳපානේ

ඉහළ පහළ පැද පැද යන
තාලෙට නැටවේ නම්
මිහිරි ගීත අඩුවක් නැත
ඔරුව ඇදි යා නම්

ඔරු පැද පැද යන යන තැන
මිහිරක් හමු වේ නම්
කැමැති නැද්ද යන්න ඔබත්
එන්නකො එනවා නම්

ගී පද සහ සංගීතය - රෝහණ බැද්දගේ


මිණි මිණි පොද

මිණි මිණි පොද වැටේවි
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ළා සඳ පලුව ඇවිත්
නිල් ගිර මුදුනින්
රන් තරු මාල බැඳන්
රන්වන් අහසින්
අද හොඳම දවස
ඔබ එනවා නම්

බිම් කළුවර ඇවිදින්
පිරෙන්නට කලින්
සුදු මීදුමේ සසුම්
නැඟෙන්නට කලින්
අද හොඳම දවස
ඔබ එනවා නම්

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - කරුණාරත්න විජේවර්ධන


රැයේ හමා ආ

රැයේ හමා ආ බොල් පින්නෙන් දෝ
නුඹේ සිලිටි වත තෙත් කරලූයේ
හදේ ඇවිලි දුක් ගිනි දැල්ලෙන් දෝ
නුඹේ සුසුම් රැල් සියොළඟ රැඳුණේ

සිතක් කයක් නැති පටු මං තලයේ
පහන් ටැඹේ පඬු පැහැයට පිටුපා
නුවන් වසන අඩ අඳුරට එක් වී
සවන් යොමනු මැන ළඳුනි කමාකර

දහස් දෙනා කී රහස් කතාවන්
කියන්න මා නැත නුඹ වෙත එන්නේ
නුවන් විවර කර බලන්න මාවත
නැවුම් ලොවක් යළි ගොඩ නැඟෙනා තුරු

ගී පද - සුගත් වටගෙදර
සංගීතය - ආචාර්ය පණ්ඩිත් අමරදේව