වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




ITN Saturday Night Movie

Bangalore Days

ස්වාධීන රූපවාහිනි සේවයෙන් සෙනසුරාදා රාත්‍රි 10.30ට ගෙන එන සිනමා නිර්මාණය වෙනුවෙන් ලබන 20 වැනි සෙනසුරාදා විකාශය කිරීමට නියමිතව තිබෙන්නේ 2014 වසරේදී තිරගත කෙරුණු Bangalore Days චිත්‍රපටය යි. මලයාලම් බසින් නිර්මාණය වූ යොවුන් ප්‍රේමණීය කතාවක් ගෙන එන Bangalore Days අධ්‍යක්ෂණය අංජලී මෙනොන් විසිනි.

Bangalore Days ආරම්භ වන්නේ කුට්ටන් විසින් අර්ජුන් සහ දිව්‍යා නම් ඥාති සොයුරා සහ ඥාති සොයුරිය හඳුන්වා දෙමිනි. කුට්ටන්, අර්ජුන් සහ දිව්‍යා කුඩා වියේ පටන් හොඳම මිතුරන් වේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව මේ තිදෙනා යළිත් හමු වන්නේ, දිව්‍යාගේ විවාහයෙන් පසුව බැංගලෝරයේදීය. කුට්ටන්, අර්ජුන් සහ දිව්‍යා බැංගලෝරයේදී ලබන විනෝදජනක අත්දැකීම් මිනිත්තු 172ක් පුරා Bangalore Days නමින් රිදී තිරයේ දිග හැරේ. මෙහි කුට්ටන් ලෙසින් නිවීන් පවුලි ද අර්ජුන් ලෙසින් දුල්කර් සල්මන් සහ දිව්‍යා ලෙසින් නස්රියා නසීම් චරිත නිරූපණය කරයි.

Bangalore Days චිත්‍රපටය වෙනුවෙන් කේරළ සිනමා සම්මාන උලෙළේදී හොඳම නළුවාට හිමි සම්මානය නිවින් පවුලි, හොඳම නිළිය නස්රියා නසීම් සහ හොඳම තිරරචනයට හිමි සම්මානය අංජලි මෙනොන් විසින් හිමි කර ගන්නා ලදී. දකුණු ඉන්දීය ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහය නිළිය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම ගායකයාට හිමි සම්මාන හිමි විය. Bangalore Days දෙමළ බසින් කළ ප්‍රතිනිර්මාණය Bangalore Naatkal නමින් 2016 වසරේදී තිරගත කෙරිණි.