වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




මුහුදු රළට කෝච්චියක් විසිවෙලා කිව්වාට කවුරුවත් විශ්වාස කළේ නැහැ

මුහුදු රළට කෝච්චියක් විසිවෙලා කිව්වාට කවුරුවත් විශ්වාස කළේ නැහැ

ඔමායා කෝවිලගොඩගේ

ඇය සිරස නාළිකාවේ වසර පහළොවක් පුරා ප්‍රවෘත්ති නිවේදනයේ යෙදෙන්නීය. එහෙත් කිසිදු ඒකාකාරිත්වයක් මේ වන තෙක් ඇයට දැනුණේ නැත. ඒ ඇය තමන්ගේ වෘත්තීයට ආදරය කරන බැවිනි. සිරස රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති නරඹන ඔබට ඔමායා කෝවිලගොඩගේ රුව නුහුරු වන්නේ නැත.

* ඔමායා ඔබ වසර පහළොවක් සිරසේ. අද වන විට ඔබ ප්‍රවෘත්ති අංශයේ සහකාර කළමනාකාරිණිය වුණාට මෙතැනට එන්නේ වාර්තාකාරිනියක් විදිහට. ඒ අතීතය කොහොමද?

සිරසට එන්න පෙර මං ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියට සම්බන්ධ වෙලා හිටියා. ඊට පසුව මං පවන රේඩියෝවට එනවා. ඔය අතරේ වෙළෙඳ සේවයේ සහන නිවේදිකාවක විදිහට හිටියා. ප්‍රවෘත්තිත් කිව්වා. එහෙම වැඩ කටයුතු කරමින් සිටින අතරතුර අපිට ආරංචි වෙනවා සිරසට අලුත් නිවේදක නිවේදිකාවෝ බඳවා ගන්නවා කියලා. එස්. එල්. බී. සී සෙට් එකක්ම ඒ ආරංචිය ඔස්සේ සිරසට ඉන්ටර්වීව් ගියා. ඒ අතරින් මාවයි තේරුණේ.

* එහෙම තේරුණාට ඔබට ඉක්මනින් ප්‍රවෘත්ති කියන්නට ලැබෙන්නේ නැහැ?

එහෙම වුණේ මගේ වාසනාවට. අද කාලේ වගේ ආව ගමන් ප්‍රවෘත්ති කියන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ. ප්‍රවෘත්ති අංශයේ වැඩ කටයුතු කරලා හොඳ පන්නරයක් ලැබුවා. මුලින්ම මං ඉදිරිපත් කළේ ලයිව් @ 55. දිගු කලක් එහෙම ප්‍රවෘත්ති කිව්වා. මගෙන් එවකට සිරසෙ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙලා හිටපු අශෝක ඩයස් මහත්මයා ඇහැව්වා රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති කියමුද කියලා. නොසිතූ වෙලාවක බලාපොරොත්තුවෙන් සිටි ආරාධනය ලැබුණා. මං ගත් කටටම කිව්වේ මොකක්ද දන්නවද.

අනේ අශෝක සර් මට සාරියක් නැහැනෙ කියලා. අදටත් මට හිනා ඒක කියපු එකට. අශෝක සර් කිව්වා ගෙදර ගිහින් සාරියක් ගේන්න කියලා. මං එවෙලෙම ගෙදර දුවලා සාරියක් ගෙනත් හවස සැරසිලා හා හා පුරා කියලා රටටම ඇහෙන්න රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. අද වගේ දෙන්නෙක් නෙවෙයි ඒ කාලේ සිරසේ ප්‍රවෘත්ති ඉදිරිපත් කළේ. කවුරුන් හෝ එක් නිිවේදකයෙක් හෝ නිවේදිකාවක් තමයි ප්‍රධාන ප්‍රවෘත්ති කිව්වේ. මමත් එහෙමයි. ගැහැනු ළමයකු හැටියට ඒක ඇත්තටම අභියෝගයක්. නමුත් ඒක මං ජය ගත්තා.

* සුනාමි වෙලාවේ චොපර් එකක ගිහින් සජීවීව විස්තර ගෙන ආ මොහොත වෙතටයි මා ඔබව දැන් ගෙනි යන්නේ?

මාධ්‍ය ජීවිතයේ කෙනෙකුට ලබන්න පුළුවන් ඉතා විරල අත්දැකීමක් මටත් විඳින්න ලැබුණා. ඒ කලේ අපි සුනාමිය යන වචනයවත් අහලා තිබුණේ නැහැ. සිරසෙ අපි තමයි වහ වහා ක්‍රියාත්මක වෙලා චොපර් එකකින් ගිහින් සුනාමිය වාර්තා කළේ. රත්මලානේ සිට හම්බන්තොට දක්වා ගමන් කළා. අතරමගදී මං දැක්කා පැරැලියේ දුම්රිය අනතුර. කෝච්චිය පෙරළිලා තැන තැන එහි පෙට්ටි විසිරිලා තියෙනවා. මං එවලෙම ඔෆිස් එකට ඒ ගැන කිව්වා. කිසිම කෙනෙක් විශ්වාස කළේ නැහැ මුහුදු රලට කෝච්චියක් පෙරළුණා කියලා. ගමන ගිහින් ඇවිත් කෝච්චි අනතුර ඇතුළු සුනාමියේ බිහිසුණු බව මුලින්ම වාර්තා කරන්නට අපට හැකි වුණා. එදා මං වින්ඳේ අමතක නොවන අත්දැකීමක්.

* ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ඔබ ජනප්‍රියද?

ඒ ජනප්‍රියත්වය දැනෙන්නේ ප්‍රසිද්ධ තැනකට ගියාම. මං දන්නෙ නැහැ මං කොතරම් ජනප්‍රිය ද කියලා. ඒ වගේ ජනාකීර්ණ තැනකට ගියාම නානා ප්‍රකාර අය හමු වෙනවා. ඒ අය කියනවා මගේ වචන උච්චාරණයේ හොඳ නරක, ඇඳපු සාරිය මට ගැළපෙනවද නැද්ද කියන එක. මං පලඳින ආභරණ කොතෙක් දුරට හරියනවද කියන එක. මෙන්න මේවා නිතරම මගෙන් ප්‍රේක්ෂකයන් ප්‍රශ්න කරනවා. එතකොට මං දන්නවා මාව මිනිසුන් හඳුනනවා කියලා.

* ඔමායාගේ පවුලේ විස්තර මොනවද ? ගම් පළාත, ඉගෙන ගත්තු පාසලත් මතක් කරමු?

මං විවාහකයි. මට පුතෙක් ඉන්නවා. මහත්තයා ජයන්ත කෝවිලගොඩගේ. මං පාසල් දෙකකින් ඉගෙන ගත්තා. ඒ මිනුවන්ගොඩ නාලන්දා බාලිකාව සහ කොළඹ විශාඛා. මං පදිංචි වෙලා ඉන්නේ හෝකන්දර.

* ඔබට වෙනත් නාළිකා රාශියකින් නිතරම ඇරැයුම් ලැබෙනවා ඇති. නමුත් ඔබ සිරස දැලා ගියේ නැහැ. මොකක්ද හේතුව?

ඇත්තමයි මට කොච්චර නම් නාළිකාවන්වලින් කතා කරලා ඇත්ද වැඩි පඩියට. මීට වඩා වරප්‍රසාද සහිතව ඔවුන් මට අමතනවා. නමුත් මං සිරස දාලා යන්නේ නැහැ. ඒ මාව හදපු තැන මෙතැන නිසා.

* නව පරපුර ගැන යමක් සඳහන් කරමින් මේ කතාවට නැවතීමේ තිත තබමු?

අපිට තරම් නවකයන්ට කට්ට කන්න බැහැ. ඒ අය බහුතරයකට අවශ්‍ය ඉක්මනින් ජනප්‍රිය වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඔහේ කාලය ගත කරන්න. කෙටියෙන්ම කිව්වොත් මාධ්‍ය උණ නැහැ. එහෙම අයට පැවැත්මක් තියෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්.