වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




A/L පි‍්‍රන්සිපල්

A/L පි‍්‍රන්සිපල්

ජයරත්න ගලගෙදර

ජොබ් එකයි රඟපෑමයි
මම පටලවගෙන නෑ

ප්‍රඩක්ෂන් දෙකක් කරන්න බෑ. එක පාර කරනවා නම් කරන්න ඕනේ එක දෙයයි. නැත්නම් දෙකම ඉවරයි.

මේ දිනවල සාර්ථකව තිරගතවන ඒ ලෙවල් චිත්‍රපටයේ විදුහල්පති ඔබට මතකය. ඔහු පුංචි තිරයෙනුත් ඔබ දැක ඇත. ඔහු වෘත්තීය නළුවකු නොවේ. ජයන්ත ගලගෙදර නම්වූ මේ රංගන ශිල්පියා වෘත්තියක් ලෙසින් තවමත් රංගනයේ නොයෙදෙන අතර වෘත්තියෙන් ඔහු ගණකාධිකාරිවරයෙකි. ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ ගණකාධිකාරිවරයකු ලෙසින් කටයුතු කරන ගලගෙදර එහි චිත්‍රපට ප්‍රදර්ශක කමිටුවේ සාමාජිකයෙක්ද වේ. රංග ශිල්පියෙකු සේම චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු ලෙසින්ද කටයුතු කරන ගලගෙදර හා කතාබස් කරමු.

මේ දවස්වල විදුහල්පතිතුමාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඔය අහන්නේ ඒ ලෙවල් චිත්‍රපටය ගැන නේද? මේ දවස්වල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ චිත්‍රපටය තිරගත වෙනවා. මම චිත්‍රපටයේ විදුහල්පතිගේ චරිතය රඟපානවා. මිත්‍රයෝ වගේම මාව එදිනෙදා මගතොටේදී හමුවෙලා කතාබස් කරන අයත් මට මේ දවස්වල කතාබහට මුල පුරන්නේ හලෝ විදුහල්පතිතුමා කොහොමද කියලා.

වෘත්තියෙන් ඔබ රංග ශිල්පියෙකු නොවූවත් අපේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් රැසක් ගේ සිනමා නිර්මාණ වෙනුවෙන් ඔබ රංගනය එක්කර තියනවා.

ඒක මම ලැබුව වාසනා ගුණයක්. මට වෘත්තියෙන් නියැළෙන ක්ෂේත්‍රය හා රංගනය කියන්නේ එකිනෙකට වෙනස් වෘත්තීන් දෙකක්. ඒත් මම හිතනවා ඒ වෘත්තීන් දෙකම මම අදවෙනකොට ජයගෙන තියනවා කියල. මට රඟපාන්න ලැබුණු චරිත ගණනත් එකිනෙකට වෙනස්. ඒ හැම අභියෝගයක්ම මම සාර්ථකව ජයගත්ත නිසාවෙන් වෙන්න ඇති ප්‍රවීණ අධ්‍යක්ෂවරු මාව ඔවුනගේ නිර්මාණවෙත ඇදගත්තේ.

සිනමා රංගවේදියෙක් ලෙස ඔබ රංගනය හා බැඳෙන්නේ චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවෙක් ලෙසින් සාර්ථක ගමනක් ගිහින් නේද?

ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට හතරක් වෙනුවෙන් මම නිෂ්පාදන කළමනාකරු ලෙස වැඩකළා. ඉරමැදියම, හිරිපොද වැස්ස, සර් ලාස්ට් චාන්ස්, හාට් එෆ් එම්. මේ චිත්‍රපට හතර වෙනුවෙන් මම නිෂ්පාදන කළමනාකරුවකු ලෙසින් වැඩකරල තමයි චිත්‍රපට රංගනයට මුලින්ම එක්වුණේ.

චිත්‍රපට නළුවෙක් වීමේ සිහිනය ඔබ සැබෑ කරගත්තේ?

මට ලොකු ආශාවක් තිබුණා චිත්‍රපටයක රගපෑමට. මේ ආශාව නිසාම මට දවසක් උදයකාන්ත වර්ණසූරියට අදහසක් ඉදිරිපත් කළා මගේ තියන ආශාව ගැන කියලා. ඔහු මට ඒ අවස්ථාව ලබල දුන්නේ සෙනසුරු මාරුව චිත‍්‍රපටයෙන්. ඒක තමයි මගේ මුල්ම චිත්‍රපට රංගනය.

මුල්ම චිත්‍රපට රංගනයට කලින් ඔබ රංගනයේ අත්දැකීම් ලබා තිබුණාද?

මරදානේ උසස් තාක්ෂණ ආයතනයේ මා ඉගෙන ගන්නා අවස්ථාවේ එහි අධ්‍යයන අංශ අතර පැවැති නාට්‍ය තරගයක් වෙනුවෙන් මම පියෙක් සහ පුතෙක් නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ 1980 දශකයේ. ඒ නාට්‍ය උළෙල විනිශ්චය සඳහා පැමිණියේ සුගතපාල සිල්වා මහතා. මගේ නාට්‍ය එහිදී දෙවන ස්ථානය ලැබුවා. මගේ ගමේ වෙසක් උත්සවයට, අවුරුද්දට, ප්‍රජා මණ්ඩලය මගින් නාට්‍ය නිර්මාණය කරලා මම ඒ නාට්‍යවල රඟපෑවා. මේ වගේ රංගන අත්දැකීම් මගේ ළමා කාලය තුළ මම අත්වින්දා. රඟපෑම ගැන අදහස මුලින්ම මට උදයකාන්තට කිව්වහම ඔහු මට අවස්ථාවක් දුන්නේ හැදුනුම්කම මත නොවෙයි. ප්‍රායෝගික නිල පරීක්ෂණයකින් පසුවයි.

මේ වෙනකොට ඔබ චරිත නිරූපණය කළ චිත්‍රපට බොහොමයක් තිරගතවෙලා ඉවරයි.

සිද්ධාර්ථ ගෞතම, කොස්තාපල් පුඤ්ඤසෝම, රූපාන්තරණය, සමනල සංධ්වනිය, කෝ මාක් නෝ මාක්, ස්පන්දන, ද රේන් බෝ, හැටහතර මායම් චිත්‍රපට මේ වෙනකොට ප්‍රේක්ෂකයෝ රසවිඳලත් ඉවරයි. චිත්‍රපට තිරගතවෙලා කාලයක් ගියත් රූපවාහිනියෙන් චිත්‍රපටයක් නැවත විකාශය වුණොත් මගේ ආදර ප්‍රේක්ෂකයන්ගෙන් නැවත නැවත ප්‍රතිචාර ලැබෙන එකේ අඩුවක් වෙලා නැහැ.

රංගනයේ නියැළුණු චිත්‍රපට රැසක් ඉදිරියේදී තිරගතවෙන්න තියෙනවා නේද?

ෆේස්ටු පේස්, යශෝදරා, නව දොමෝදර පාලම, වැලි පවුරු, ගින්නෙන් උපන් සීතල, කිඩ්නැප්, හොරා අංකල්, ඝර සර්ප චිත්‍රපටවලිනුත් මගේ රංගනයේ එකිනෙකට වෙනස් චරිත ප්‍රේක්ෂකයාට දැන් බලාගන්න පුළුවන් වෙයි.

බලාපොරොත්තු සහිත කැරැක්ටරයක් වෙනුවෙන් මේ මාසයේ අග නව නිර්මාණයක් වෙනුවෙන් රංගනයේ නියැළෙනවා කියල ආරංචියි. අකිල සඳකැලුම් අධ්‍යක්ෂණය කරන අම්මා චිත්‍රපටයෙ උප ප්‍රධාන චරිතයක් වෙනුවෙන් මේ මාසයේ අග මම දායකත්වය එක්කරනවා.

ඔබගේ වෘත්තිය රංගනයට ගැටලුවක් වෙලා නැද්ද?

ජොබ් එකයි රඟපෑමයි මම පටලවගෙන නෑ. නිවාඩුවක් තියන විධියට තමයි රඟපෑම කරන්නේ. කවදහරි මගේ ජොබ් එකෙන් සමුගත්ත දවසට මම රඟපෑම වෘත්තියක් කරගන්නවා.

ටෙලි නාට්‍ය රංගනයට ඔබට ආරාධනා නැද්ද?

අපෝ තියෙනවා. මෙඩි සිනා, දම්සිරි, දූවරු, සඳමලී ආදි ටෙලි නාට්‍ය රැසක මම රඟපෑවා. ටෙලි නාට්‍ය චිත්‍රපට කියලා නෑ, ආරාධනා ලැබෙනවා. ඒත් රැකියාව සමඟ තියන කාලයේ ප්‍රශ්නය නිසා ලැබෙන ආරාධනා දුක හිතේ තියාගෙන සතුටින් බැහැර කරනවා.

පාලනඅධිකාරිය ඔබගේ රංගනය සඳහා මොනවගේ ප්‍රතිචාරයක්ද දක්වන්නේ?

ලැබෙන සහය අපමණයි. මම ඊ. ඒ. පී. සමාගම සමග අත්වැල් බැඳගත්තේ 1995 දී. ඒ ගණකාධිකාරිවරයෙක් ලෙසින්. ඊට පස්සේ ඊ. ඒ. පී. චිත්‍රපට මණ්ඩලය හා මා එක්වන්නේ මුලින්ම 2000 වසරේ සිනමාශාලා පරීක්ෂකයකු. චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු චිත්‍රපට ප්‍රචාරක නිලධාරියකු ආයතනයේ චිත්‍රපට ප්‍රදර්ශක මණ්ඩලයේ සාමාජිකයකු ලෙසින් ද මා කටයුතු කරනවා. ඊ. ඒ. පී. චිත්‍රපට ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අසංක එදිරිසිංහ මහතාගෙන් මට ලැබෙන්නේ ලොකු සහයෝගයක්. රඟපෑමට තියන ආශාව නිසාවෙන් මම කවදාවත් ආයතනයේ රාජකාරි පැහැර හැරලා නෑ. අවශ්‍යම නිවාඩුවක් වෙතොත් අසංක මහත්තයාගේ අනුදැනුම අවසරය පිට තමයි ඒ වගේ නිවාඩුවක් උණත් ගන්නේ.

චිත්‍රපට නිෂ්පාදන කළමනාකරුවකු ලෙසින් කටයුතු කරන අතරේ ඔබට පහසුවෙන්ම රඟපෑමත් කරන්න තිබුණානේ?

ප්‍රඩක්ෂන් දෙකක් කරන්න බෑ. එක පාර කරනවා නම් කරන්න ඕනේ එක දෙයයි. නැත්නම් දෙකම ඉවරයි.

ඔබ රඟපෑ චිත‍්‍රපට රංගනයන් දෙස ආපසු හැරිල බැලුවොත් සතුටුවෙන්න පුළුවන් චරිත මොනවද?

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ මහල්ලා. ස්පන්දන මිනී පෙට්ටි සාප්පු අයිතිකාරයා. වැලිපවුරු ආයතන ප්‍රධානියා. චරිතවලට මම ගොඩක් කැමතියි.

පසුගියදා ඔබ සම්මානනීය ඇගැයුමට ලක්වුණා නොවේද?

ඊ. ඒ. පී. චිත්‍රපට සමාගමේ මෙහෙයුම් නිලධාරියෙක් ලෙස කටයුතු කරන මම වසර විසිපහකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ විවිධ අංශයන් නියෝජනය කරමින් කළ මෙහෙවර උදෙසා මට ජනතාභිමානි ගෞරව සම්මානය හිමිවුණා.

මෙතෙක් ඔබ රඟපෑ චරිත දිහා ආපසු හැරිල බලනකොට ඒ ගැන ඇතිවෙන්නේ මොනවගේ අදහසක්ද?

චරිතය මට කරන්න ලැබුණු වෙලේ ඒ දේ මට කළ හැකි උපරිම ශක්තියෙන් මම කළා. නමුත් මට අද ඒ කළ චරිතය දිහා ආපසු හැරිල බලනකොට මට දැන් හිතෙනවා මට ඒක තවත් හොඳට කරන්න තිබුණා නේ කියලා. මේ සිතුවිල්ල මට විතරක් නොවෙයි රඟපාන කාටත් පොදු ධර්මතාවක්. මගේ රංගනය වුණත් ෆස්ට් ටේක් එකෙන් හෝ සෙකන්ඩ් ටේක් එකෙන් ඉවර කරනවා. කවදාවත් දෙබස් මතක නැතුව හරියට චරිතය අවබෝධ කරගෙන නැතුව අධ්‍යක්ෂවරයාගෙන් බැනුම් අහල නෑ.

ප්‍රධානතම චිත්‍රපට සමාගමක මෙහෙයුම් නිලධාරියෙක් ලෙසත් එම සමාගමේ චිත්‍රපට තෝරා ගැනීමේ කමිටුවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරන ඔබට වත්මන් චිත්‍රපට කර්මාන්තය ගැන මොකද හිතෙන්නේ?

චිත්‍රපට අර්බූදයක් තියන එක ඇත්ත. ඒත් චිත්‍රපට කර්මාන්තය වැටිල නෑ. ප්‍රේක්ෂකයන්ට නරඹන්න හොඳ චිත්‍රපට තියනවා නම් ප්‍රදර්ශන මණ්ඩල කවුරුත් කැමතියි. භාරගන්න හොඳ චිත්‍රපටයක් නරඹල රසයක් ලබන්න තමයි මුදලක් ගෙවල ප්‍රේක්ෂකයෝ චිත්‍රපට ශාලාවලට එන්නේ. එහෙම එන ප්‍රේක්ෂකයාට හොඳ චිත්‍රපටයක් දීම අපේ වගකීමක්. බොහෝ විට චිත්‍රපට කරලා තමන්ගේ නිර්මාණය පෙන්නගන්න බැරි වුණාම සමහරු චෝදනා එල්ල කිරීම සාමාන්‍ය දෙයක්. අපි කැමති නෑ අපේ ප්‍රමිතියෙන් තොර චිත්‍රපට අරන් අපේ මණ්ඩලය පහතට දාගන්න. එදාට ප්‍රේක්ෂයෝ අපිට බනින්නේ සල්ලි අරන් මේවද අපිට පෙන්නුවේ කියලයි. අපේ ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලා තාක්ෂණය අතිනුත් පහසුකම් අතිනුත් ඉහළින්ම ඉන්නවා. ඒ නිසාවෙන් අපිට හොඳ ප්‍රේක්ෂක පිරිසක් එකතුවෙලා සිටින නිසාවෙන් අපි පෙන්වන චිත්‍රපට සාර්ථක වෙලා තියනවා.

ක්ෂේත්‍රයේ උදවිය ඔබට චෝදනාත් නගන අවස්ථා තියෙනවා නේද?

ගලගෙදරට චිත්‍රපටයක රඟපාන්න දුන්නොත් ඊ. ඒ. පී. මණ්ඩලයට දාගන්න පුළුවන් කියලා?

මම දන්නෑ එහෙම චෝදනා මට තියනවද කියලා. මට චරිත දුන්නා කියලා චිත්‍රපට ඊ. ඒ. පී. මණ්ඩලයේ පෙන්න ගන්න පුළුවන් කියනව නම් ඒක විහිළුවක්. මම තෝරාගැනීමේ මණ්ඩලයේ ඉන්න එක ඇත්ත. ඒ උන්නා කියල මම අද වෙනකොට මගේ වාසි තකා චිත්‍රපට අපේ මණ්ඩලයේ පෙන්නලා තිබුණ නම් එහෙම පෙන්වන්නම් කියල සංතෝසම් අරගත්තා කියල කවුරුහරි කියනවනම් ඒ බව ඔප්පු කරනවනම් මම අවුරුදු විසිතුනක ඊ. ඒ. පී. සමාගමේ නොකැලැල් රැකියා ජීවිතයෙන් ඉල්ලා අස්වෙනවා. මම ඔයවගේ පහත් වැඩ කරනවා නම් කවදාවත් අසංක එදිරිසිංහ මහත්තයා මාව ඔතන තත්පරයක්වත් තියා ගන්නෙ නෑ. ඉන්න ටික කාලෙ රැකියාවට වංචා කරල මගේ අනාගතයට ගොම එකතුකරගන්න මට මොළේ අමාරුවක් නෑ.

රංගන ජීවිතයට දිරිදුන් අය අතරින් ඔබ සිහිපත් කරන්නේ?

උදය කාන්ත වර්ණසූරිය, ජයන්ත චන්ද්‍රසිරි, නාලක විතානගේ, අර්ජුන කමලනාත්, වගේම ඊ. ඒ. පී. සමාගමේ කළමනාකාරණ අධ්‍යක්ෂ අසංක එදිරිසිංහ මහත්වරු කෘතවේදීව මම සිහිපත් කරනවා.

10/4 ඒ, පීරිස් පෙදෙස, ගල්වල පාර, දෙහිවල ජයරත්න ගලගෙදරගේ ලිපිනයයි.