වර්ෂ 2018 ක්වූ  ජනවාරි 25 වැනිදා බ්‍රහස්පතින්දා




‘උඹට ලැජ්ජ නැද්ද ගෑනියේ අනුන්ගේ පවුල් ඉහිරවන්ඩ’

‘උඹට ලැජ්ජ නැද්ද ගෑනියේ අනුන්ගේ පවුල් ඉහිරවන්ඩ’

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය.එහෙත් ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වනුයේ නොසිතූ අත්දැකීමකටය.

අද එතැන් සිට

‘උඹට වෙන මිනිහෙක් හිටියේම නැද්ද මගේ මිනිහා ඇර අල්ල ගන්ඩ’

ඉදිරියට පැන්න චිත්‍රා ගිගිරුවාය.අංක එක කාමරයේ ලැගුම් ගෙන සිටි යුවල මුහුණු බෙරි කර ගෙන කාමරයෙන් එළියට පැමිණියහ. ඔවුන් පැමිණ තිබුනේ තමන්ගේ පාඩුවේ වරුවක් ගත කරන්නටය.එය වැළකී ගියේ නිසංසලව තිබුණ බිනරි හෝටලය උඩු යටිකුරු වන තුරු ඇසුණු හඬත් එක්කය.මුලින් ගැහැණු ගැහැණු කුටු කුටුවට නැගුණු හඬ අනතුරුව වැඩිවුණේ පිරිමි හඬක් ද එයට මුසු වුණ පසුවය.

‘මම හිතුවේ නෑ තමුසේ මෙහෙට වෙලා මෙහෙම නාඩගම් නටනවා කියලා’

අම්මා තාත්තාගේ මුහුණුට එතරම් එඩිතරව කතා කරනු බිනරි කිසිදා දැක තිබුණේ නැත.ගෙදර තිබුණේ තාත්තාගේ අණය.එයින් එහා තීරණ ගන්නට අම්මා මැළිවූවාය.අනුරධපුරයේ බිනරි නමින් නම් කරන ලද නවාතැන්පොළට බිනරි සහ අම්මා චිත්‍රා ආවේ දහසක එකක් බලාපොරොත්තු තබා ගෙනය.දරුවාට බෙහෙත් දෙන්නට චුට්ටං මුදලාලි ගියාය යැයි සේවකයා පැවසූ කතාව චිත්‍රා ගේ සිතට වදයක් වන්නට සමත් විය.

ඇය එබැවින් සේවකයාගෙන් හාරා හාරා ඇසුවේ ඒ ගැනය.මේ පැමිණ තිබෙන්නේ සිය හාම්පුතාගේ බිරිය සහ දියනිය බැව් අලුත් සේවකයා දැන සිටියේ නැත.

එබැවින් ඔවුන් නොදැනුවත්ව පසුගිය කාලයේ සිදු වූ බොහෝ කාරණා වල දිග පළල දැන ගන්නට අම්මාටත් දියනියටත් හැකි විය.පැයකින් හමාරකින් පමණ චුට්ටං මුදලාලි පැමිණයේ වෑන් රථයකිනි. රථය පදවා ගෙන පැමිණියේ චුට්ටං ය.කෙසඟ ගැහැනියක් ඉදිරි අසුනේ සිට කුඩා අත දරුවකු ද වඩා ගෙන බිමට බසින අයුරු සාලයේ සිටි අම්මාත් දියනියත්ත් දෙදෙනාම දැක ගත්හ.රථයෙන් බිමට බට ගැහැනිය දරුවා චුට්ටං අතට දෙන විට තව දුරටත් ඉහිලුම් නැතිව සිටින්නට චිත්‍රා අසමත් විය.එබැවින් ඇය උන් තැනින් නැගිට ඉදිරියට ගියාය.

දොර කඩින් එළියට බට සිය බිරින්දෑ දුටු චුට්ටං ගේ මුහුණේ ඇති වූයේ තිගැස්සිමක් ද නැත්නම් කෝපයක් දැයි සිතා ගත නොහැකිවිය.එයටත් වඩා ඔහු පුදුමටයට පත් වූයේ විදෙස් ගත ව සිටි දියනිය ද සිය බිරින්දෑට පිටුපසින් පැමිණීමය.තම අතට පත් දරුවා යළි ගැහැනියගේ අතට දුන් චුට්ටං බිරින්දෑ සිටි තැනින්ම නවාතැන් පොලේ සාලයට පිවිසියේය.ඔහු සිය සේවකයා දෙස බැලූ බැල්මට දවා අළු විය හැකිව තිබිණ.එහෙත් එය මව හෝ දියනිය නොදුටු සැටියකි.

‘කොහෙද ගියේ’

බිරින්දෑ විමසූ ආකාරයට චුට්ටං තිගැස්සිණ.

ඔහු කිසිත් නොකියා සාලයේ ඇති අසුනක වාඩිවිණ.වෙනදාට සුව පහසු වට දැනුණ අසුන අද සුව පහසු නොවුන ගාණය.සාලයේ මේසය ළඟ හරියට අතු ගා නොමැත.

‘යෝදයෝ වැඩක් පළක් හරියට කරපන්.මේ කුණු අතුගෑවෙත් නැද්ද ?’

ඔහු සේවකයාට කෑගෑවේය.

චිත්‍රා දියණිය බිනරි සමග ඔහු අසල අසුනක වාඩි විණ.ගැහැනිය ළමයා ද අතැතිව හෝටලය ඇතුළට පිය මැන්නාය.

දරුවා චුච්ටං වෙත පනින්ට ගත් වෑයම දරුවාගේ මව විසින් වෑයමෙන් වලක් වන ලද්දෙන් ඔහුගේ මුහුණ බෙරි විය..

‘ගංගා මේ මගේ නෝනයි.දුවයි’.

චුට්ටං එකවරම අලුත් ගැහැනියට කියා සිටියේය.ඔහුගේ මුහුණේ තිබුණ කැළඹිලි ස්වරූපය වෙනස් වූයේ නැත.ඔහු ගේ කතාව කිසියම් වරදක් වසන් ගන්නට කළ වෑයමක් විය. චිත්‍රා කිසිත් කියන්නට ගියේ නැත.ගංගා ගේ මුහුණේ තිබුණේ බයාදු සිනහවකි.ඇය පළාතේ වියළි බව වතින් පළ කළ බවක් පෙන්වූවාය.

‘කොයි වේලාවේද ආවේ.මට කියන්ඩ තිබුණනේ’

චුට්ටං කිසිත් නොදන්නා ආකරයට කතා කරන්නට පටන් ගත්තේය

‘උදේ යාල් දේවියේ’

චිත්‍රා ද හොර ගල් අල්ලන්නට මාන බැලුවාය.

‘ඇයි මේ හදිස්සියේ’

‘මට නම් හදිස්සියක් තිබුණේ නෑ.දුවට එන්ඩ ඕන කිව්වනේ.හදිස්සියේ හරි ආපු එක හොඳයි වගේ’

චුට්ටං කියන්නට ගිය වචනය ගිල දමා වෙනත් පොටක් පාදා ගත්තේය.

‘කවදද දුව ආවේ’

‘පෙරේදා .එදා ඉදන් තාත්තාව බලන්න ඕනැය කිව්වේ.’

‘මට කෝල් එකක් දුන්න නම් මං එනවනේ’

චුට්ටං මුදලාලි ආයාසයෙන් සිනාසෙන්නට වැර දැරුවේය.

‘කවුද තාත්තේ අර’

බිනරි විසිරෙන්නට ගිය මාතෘකාව යළි හරි අතට ඇද ගත්තාය.

‘ඒ මනුස්සයා තමයි මේවා බලා කියා ගන්නේ .මේ ළඟ පාත ගෑනු මනුස්සයෙක්.උයන්නේ පිහන්නේ ඔක්කොම මේ පැත්තේ වැඩ ඔක්කොම කරන්නේ ගැනි.’

චුට්ටං ගෙතුළට හිස යොමා පැවසුවේ වැඩිය උස් හඬකින් නොවේ.

‘මං ගෑනිට පඩියක් දෙනවා’

ඔහු එය කියා දැම්මේය.

‘ඇයි මේ මනුස්සයාට මිනිහෙක් නැද්ද ළමයට බේත් අරන් එන්ඩ යන්ඩ‘

චිත්‍රා ඇසුවාය.චුට්ටං ගේ ඇස් උඩ ගියේය.දැන් තමා කර වටක් අහුවෙලාය.

‘කවුද කිව්වේ’

ඔහු හගිස්සවන්නට තැත් කළේය.

‘කවුරුවත් කියන්ඩ ම්නැය’

චිත්‍රා හඩ නැගුවාය.

‘බැලූ බැල්මට පේනවනේ’

ඇය එය පැවසුවේ හීන් හඩින්ය.

බිනරි උන් තැනින් නැගිට ගෙතුළට ගියාය.දිගටම පිලිවෙලට කාමර කිහිපයකි.ඇය එයින් පඩියක් බැස්සේ කුඩා කුස්සියකටය.එහි කාමර සේවක තරුණයා ද ගංගගා ද උන්නාය.ඔවුන් සිටියේ රහසින් කතා කරමිනි.හෝටලයක් ලෙස ලියා පදිංචි වුව ද එය සම්පූර්ණයෙන්ම ගෙයකි.ගංගා කුස්සිය අස් කරන්නට මෙන් සැරසුණේ බිනරි මග අරින්නට බව ඇයට වැටහිණ.බිනරි කිසිත් නොකියා කුස්සියේ තිබුණ බඩු බාහිරාදිය පිරික්සා බැලුවාය.

‘එහි තිබුනේ එළවළු ජාති කිහිපයකි.

‘මේවා ද උයන්නේ.ගෙස්ට් ලාට උයන්නේ නැද්ද?’

ගංගා තරුණයා ගේ මුහුණ බැලුවේ උත්තර දෙන්නට නොකියා කියමිනි.

‘ගෙස්ට්ලාට උයන්නේ ඕඩර් වලට සති අන්තෙට විතරයි.නැත්තං එහෙම කරන්නේ නෑ.’

මේ පැමිණි පිරිස තමාට අහිතකර වග දරුවාට හැඟිවිනින්දෝ ගංගාගේ කර මතට ගොඩ වැදුණේ වැඩි ආරක්ෂාව සිතා ගෙන විය යුතය.

‘ඔයා කොහේද ?’

බිනරි ගංගා ගෙන් විමසුවාය.එහි තිබුණේ මාන්නාධික ස්වරයකි.

‘ළඟ.පුළියන්කුලමේ’

බිනරි උත්තරයෙන් සෑහිමට පත් නොවූවාය.එහෙත් පුළියන්කුලම කොහේදැයි විමසන්නට නොගියාය.කළු පැහැති කෙසඟ සිරුරක් හිමි මේ ගැහැනිය තමා ගේ හා අම්මාගේ ලෝකය ආක්‍රමණය කරන්නට පැමිණ ඇත. ගෙල බැදි කුඩා චේන් පොටක් සහ නොවටිනා අරංගල් දෙකක් ගංගාත් වත සරසා තිබේ.ඇඳ සිටි ගවුම ලාබයට ගත් එකකි.

‘මෙහෙට කොහොමද ආවේ’

‘මේ අක්කලාගෙලු ඉඩම්.මහත්තයා අරන් තියෙන්නේ ඒ ගොල්ලන්ගෙන්’.

ගංගා උත්තර දෙන්නට ප්‍රමාද වන විට ඇය වෙනුවෙන් තරුණයා උත්තර දුන්නේය.එහෙත් ඔහුගේ පිළිතුරට කන්දෙන්නට තරම් වුවමනාවක් බිනරිට නොවිණ.

‘අපේ අප්පච්චිට වකුගඩු අමාරු හැදුණා.ඒ පාර ඉඩම උකස් කළා.ඒක සින්න වුනාට පස්සේ තමා මහත්තයා ඉඩම ගත්තේ.“

ගංගා පැවසුවේ හෙමින් වචන ගලපමිනි.චිත්‍රා එතැනට කඩා වැදුණේ ඒ අතරතුරය.

‘උඹට ලැජ්ජ නැද්ද ගෑණියේ අනුන්ගේ පවුල් ඉහිර වන්ඩ’

ඇය එකවරම බැණ වදින්නට ගත්තාය. ගංගා දරුවා තදින් අල්ලා ගත්තාය.ආගන්තුක ගැහැනියගේ කටහඩ නිසා අන්තයට බිය වුණු දරුවා මහ හඬින් වැළපෙන්නට පටන් ගත්තේය.

චුට්ටං මුදලාලි එතැනට පිවිසුණේ එයින් පසුවය.

‘චිත්‍රා මේ කෑ ගහන්ඩ එපා.’

‘මං කෑ ගහන්ඩ එපා.?යස අපූරුව.දුවත් දීග දුන්නා පස්සේ ද තමුසෙට මනමාලකම් මතක් වුණේ’

අම්මා මෙතරම් කෝප වන්නේ යැයි බිනරිට සිතා ගත නොහැකි විය.තාත්තා තමා ඉදිරියේ අසරණ ව ඇති සේය.

‘තමුසේ වහාම මෙතැනින් එළියට බහිනවා’

බිනරි කෑගෑවාය.ගංගා කිසිත් නොකියා කදුළු සලන්නට විය.ඇය චුට්ටං මුදලාලිගේ මුහුණ දෙස බැලුවේ පිළිසරණක් පතමිනි.ඔහු කිස්ත් නොකියා සිටියේය.අනතුරුව ගංගා ළඟ වූ කාමරයට වැදිණ.මොහොතක් නිහැඬියාව රජ විණ.කාමරය අස් පස් කරන හඩ ඇසිණ.කාමරයෙන් එපිට සියල්ලම ඊළඟ ජවනිකාව බලා සිටියා වැන්න.මොහෙතකින් ගංගා කුඩා ගමන් මල්ලක් සමග එළියට ආවාය.

‘මටයි මගේ දරුවාටයි යන කලදසාව මොකක්ද මහත්තයා?’