|
චිත්‍රපට වැඩියෙන්ම හැදූ අධ්‍යක්ෂකවරු කවුද?
උදයකාන්ත වර්ණසූරිය ගේ බන්ධන චිත්‍රපටය ඔහුගේ විස්ස වැනි සිනමා නිර්මාණයයි.1997 වසරේ මහ මෙර උසට චිත්‍රපටය තනමින් සිනමාකරණයට පිවිසෙන උදයකාන්ත සිය සිනමා දිවියේ විසි වන වසර සමරන්නේ විසි වන චිත්‍රපටය සමගයි.ඒ වගේම නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ලද නිලංජනා සිංහල සිනමාවේ1247 වැනි කථානාද චිත්‍රපටයයි.මුල්ම කථානාද චිත්‍රපටය තිර ගත කොට අවුරුදු හැත්තෑවක් ගත වද්දි තිර ගත වුණ මේ චිත්‍රපට සංඛ්‍යාව සොයා බලද්දි අපට නිකමට හිතුණා චිත්‍රපට විස්සකට වැඩි ගණනක් ඒ කියන්නේ වැඩිම චිත්‍රපට තනපු සිනමාකරුවන් සොයා බලන්න.විස්ස සහ එයට අඩු චිත්‍රපට හදපු සිනමාකරුවන් ගැනත් අපි දවසක සොයා බලමු.
අපට මුලින්ම හමුවන්නේ බොක්ස් ඔෆීස් රජෙක් ලෙස කලක් නම් දැරූ සුනිල් සෝම පීරිස් තමයි වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.
චිත්‍රපට සංඛ්‍යාව 42 යි.මේ 42 න් අටක් ඔහු නිර්මාණ්‍ය කරන ලද්දේ සිය පුතු සුදේශ් වසන්ත පීරිස් එක්කයි.එක් චිත්‍රපටයක් ආනන්ද වික්‍රමසිංහ එක්ක සම අධ්‍යක්ෂණයේ යෙදුනා.ඒ දිනුම චිත්‍රපටයයි.සුනිල්සෝම තැනූ මුල් චිත්‍රපට හතම දින සියය ඉක්මවා තිරගත වුණා.ඒ වගේමයි ඔහු තැනූ මමයි රජා චිත්‍රපටය දින දෙසීයකට වඩා තිර ගත වී වාර්තාවක් තැබුවා. ඔහු තැනූ චිත්‍රපට ගණනින් එක් චිත්‍රපටයක් දෙමළ භාෂිත චිත්‍රපටයක් වීම විශේෂයක්. ඒ නිසයි සුනිල් සෝම ගේ චිත්‍රපට ගණන 42 ක් වෙන්නේ.ඒ ශර්මිලා වින් ඉදයරාගම් නම් චිත්‍රපටයයි.ලෝක සිනමාවේ වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂන්‍ය කරල තියෙන්නේ නම් ජේ.සශිකුමාර්.ඉන්දියාවේ මලයාලම් සිනමාකරුවන ශෂිකුමාර් සිය ජීවිත කාලයේ දී චිත්‍රපට 141 ක් නිර්මාණය කළා. ඒ වගේම ඔහු ප්‍රේම් නසීර් එනම් ඉන්දියාවේ වැඩිම චිත්‍රපට ගණනක පෙම්වතා ලෙස රඟපෑ නළුවා යොදා චිත්‍රපට 84 ක් අධ්‍යක්ෂණය කරලා තියෙනවා.ඒ වගේ අපේ සුනිල් ගේ චිත්‍රපට වැඩිම ගණනක් නිෂ්පාදනය කරලා තියෙන්නේ වැඩිම චිත්‍රපට ගණනක් නිෂපාදනය කරමින් වාර්තා තැබූ සුනිල් ටී.ප්‍රනාන්දුයි.සුනිල් ටී - සුනිල් සෝම සංයෝගයෙන් හදපු චිත්‍රපට ගණන තිස් අටයි.ඒක ලේසියෙන් බිඳීන්න පුළුවන් වාර්තාවක් නෙවෙයි.
සුනිල් සෝම මුලින් හදන්නේ ඔබට දිවුරා කියන්නම් චිත්‍රපටයයි.ඒ 1985 අවුරුද්දේදී.එහි නිෂ්පාදනය අනෝජා වීරසිංහ ගෙන්.ඔහු හතලිස් දෙ වැනි චිත්‍රපටය තැනුවේ 2010 අවුරුද්දේ.ඒ ජය පිට ජය නමින්.ඒ අනුව ඔහුගේ සියලු චිත්‍රපට ඔහු හදන්නේ එම විසි පස් වසර ඇතුලේ ඒ වගේම සුනිල් සෝම ලංකාවේ සිනමාකරුවන් අතරින් නම් දෙකකින් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමාකරුවායි.(මුල්ම සිනමාකරුවා කේ.වෙන්ගඩසාලම්.ඔහු කේ.වෙන්කට් නමින් ද චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.) සුනිල් සෝම සමහර චිත්‍රපට හැදුවේ පී.සු සෝ පීරිස් නමින්. සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපට පෙළ ගැසෙන්නේ මේ ආකාරයටයි. ඔබට දිවුරා කියන්නම්,ජය අපටයි,රජ වැඩ කාරයෝ,ඔබටයි ප්‍රියේ ආදරේ,මමයි රජා.ඔබට රහසක් කියන්නම්.සිනාසෙන්න රත්තරන්,යුක්තියට වැඩ,චණ්ඩි රජා.රජ සෙල්ලන්,රන් හදවත,සක්විති රජ,චණ්ඩි රැජණ,සිංහයන්ගෙත් සිංහයා,ලස්සනයි බලන්න.වාසනා වේවා,ඉර හඳ ඉල්ලා,චණ්ඩියාගේ පුතා,චාන්දනී,රත්තරන් මල්ලි,පුතුනි මට වාසනා,ඇය ඔබට බාරයි,සතුටයි කිරුළ අපේ,ඩිස්කෝ ගර්ල්,මොහොතින් මොහොත,කවුද බොලේ ඇලිස්,හායි බේබි හායි,පිස්සු පූසෝ,සංසාර ප්‍රාර්ථනා,පිස්සු ඩබල්,පිස්සු ට්‍රිබල්,ජිම් පප්පා.හිත හොඳ පිස්සෝ,ඔහොම හරිද,කාටවත් කියන්න එපා,ජේම්ස් බන්දු,මට තාම මතකයි.වැඩ බැරි ටාසන්,වැඩ බැරි ටාසන් මැති සබයට,අලි සුරතල්.ජය පිට ජය
සුනිල් සෝමට පස්සේ දෙවැනි තැන ගන්නේ හේමසිරි සෙල්ලප්පෙරුමයි.ඔහු කලක් සිංහල සිනමාවේ බොක්ස් ඔෆීස් චිත්‍රපට ගණනාවක් අධ්‍යක්ෂණය කළා.සුනිල් සෝමත් හේමසිරි සෙල්ලප්පෙරුමත් චිත්‍රපට හැදුවේ තරගෙට වාගේ.සෙල්ලප්පෙරුම ගේ මුල්ම චත්‍රපටය 1981 වසරේ හදපු සත්වෙනි දවස චිත්‍රපටයයි.එතැන් පටන් ගිය වසරේ තිර ගත වුණ සංජානා දක්වා චිත්‍රපට 34 ක් අධ්‍යක්ෂණය කරන්නට සෙල්ලප්පෙරුම සමත් වුණා.සෙල්ලප්පෙරුම හදපු නොම්මර දා හත චිත්‍රපටය දින දෙසීයක් ඉක්මවා තිර ගත වුණා. සෙල්ලප්පෙරුමගේ චිත්‍රපට ලැයිස්තුව මෙහෙමයි. සත්වෙනි දවස,ජීවන්ති,සෙනෙහසක කඳුළු.චණ්ඩින්ගෙත් චණ්ඩියා,නැව ගිලුනත් බෑන් චූන්,නොම්මර දා හත,උතුර දකුණ.ආසයි බයයි,ලව් ඉන් බැංකොක්,සළඹක් හඬයි,බජාර් එකේ චණ්ඩියා,සක්කර සූත්තර,මල්සර දෝණී,සිංහ රජා,කියලා වැඩක් නෑ,සඳ රේඛා,ළඟින් ගියොත් ඇහැක් නැහැ,සූර වීර චණ්ඩියෝ,රජ වංසෙන් එකෙක්,අභියෝගය,නොහඩන් ළඳුනේ,ඔක්කොම හොඳටයි,හලෝ මයි ඩාලිං,පුදුමයි ඒත් ඇත්තයි,වෛරයෙන් වෛරය,මනමෝහිණී,හිරු සඳුට මැදි වී,මල් හතයි,සූරයෝ වැඩ කාරයෝ,අයදිමි සමා,දඩුවම,ඔබ කොහිද ප්‍රියේ,වැලා ඉන් ලන්ඩන්,සංජානා
සිංහල සිනමාවේ තුන් වැනියට වැඩිම චිත්‍රපට ගණනාවක් හැදුවේ අපේ ජන්‍ප්‍රිය නළු රෝයි ද සිල්වාය. රෝයි හදපු චිත්‍රපට ගණන තිස් දෙකයි.ඒ තිස් දෙකින් දෙකක් ඉංග්‍රීසි චිත්‍රපට වීම කැපී පෙනෙන සිද්ධියක්.ඒ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් සහ ඉට්ස් අ මැටර් ඔෆ් ලව් යන චිත්‍රපට යුගල.ඔහු කලක් බොක්ස් ඔෆීස් වාර්තා තැබූ හින්දාම මාස්ටර් බ්ලාස්ටර් කියලාත් රෝයි ව හැඳීන්වූවා.ඒ රෝයි ගේ වාර්තා රෝයි විසින් ම කඩන්නට සමත් වුණ නිසා.විකට චිත්‍රපට හදන්න රෝයි ඉහළ දක්ෂකම් පෑවා.ඔහුගේ බොහෝ චිත්‍රපට හොඳ විකට චිත්‍රපට.බන්දු සමරසිංහ ටෙනිසන් කුරේ විකට යුවළ සිනමාවේ ස්ථාපිත කළේ රෝයි ගේ චිත්‍රපට. සිනමාවේ අඳුරු යුගයක පවුලේ ප්‍රේක්ෂකයන් සිනමාහල්වලට කැඳවා ගෙන එන්නට රෝයිගේ විකට චිත්‍රපට සමත් වූ වග සඳහන් කළ යුතුමයි.රෝයි ගේ මුල්ම චිත්‍රපටය වුණේ ටොම් පචයා.එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ස්ටැන්ලි පෙරෙරා ත් එක්ක.නළුවන් දෙදෙනෙක් සම අධ්‍යක්ෂණය කරපු මුල්ම චිත්‍රපටය හැටියටත් ටොම් පචයා වාර්තවක් තැබුවා.ඒ වගේම ලංකාවේ මුල්ම කථානාද චිත්‍රපටයේ දෙවැනි නිර්මාණයත් රෝයි ගෙන්මයි. රෝයි හදපු චිත්‍රපට පෙළ ගැහැව්වොත් මෙහෙමයි. ටොම් පචයා,තණ ගිරවි,කඩවුණු පොරොන්දුව,සුමිතුරෝ,හිත හොඳ කොල්ලෙක්,තාත්ති මං ආදරෙයි,ගෙදර බුදුන් අම්මා,හිත හොඳ පුතෙක්,චෙරියෝ ඩොක්ටර්,ඔක්කොම කනපිට,සූරයන් අතර වීරයා,ජීවන් මල්ලී,සුදු පිරුවට,ලව් 94,විජේ සහ අජේ,චෙරියෝ කැප්ටන්,චෙරියෝ ඩාලිං,රඹා සහ මධු,රෑ ඩැනියෙල් දවල් මිගෙල්,රෑ ඩැනියෙල් දවල් මිගෙල්-2,පෙම් කැකුළ,ජොන්සන් ඇන්ඩ් ගොන්සන්,ලව් 2002,සැපට දුකට සනී,ක්ලීන් අවුට්,රෑ ඩැනියෙල් දවල් මිගෙල්-3,සැළමුතු පින්න,සොඳුරු වසන්තේ,මිස්ටර් ධන රින,සර් ලාස්ට් චාන්ස්
ඊළඟට මේ ලැයිස්තුවට එක්වනුයේ අපේ සිනමාවේ ජනකතාකරු කේ.ඒ.ඩබ්ලිව් පෙරේරා යි. සිංහල සිනමාවේ මුල්වරට චිත්‍රපට විස්සක් හදපු සිනමාකරු වුණෙත් කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරායි. කවදත් හරබර කතාවක් සිනමාවෙන් කියවපු කේ.ඒ.ඩබ්ලිව්.පෙරේරා මුලින්ම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට දෙකට දායක වුනේ සම අධ්‍යක්ෂවරයා හැටියට .ඒ ටී.සෝමසේකරන් සමග අධ්‍යක්ෂණය කළ පිරිමියෙක් නිසා.දෙවැන්න එල්.එස්.රාමනාදන් සමග අධ්‍යක්ෂණය කළ සුහද සොහොයුරෝ.මේ චිත්‍රපට යුගලට පස්සේ ඔහු තනිවම අධ්‍යක්ෂණය කළ සැනසුම කොතැනද එම වසරේ හොඳම චිත්‍රපටය හැටියට සරසවිය සම්මානයට පාත්‍රවනවා. ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට සංඛ්‍යාව විසි හතක්.ඒ වගේම කේ.ඒ.ඩබ්ලිව් නවකතා රාශියක්ම සිනමාවට ගෙනාවා. ඔහුගේ හිගන කොල්ලා චිත්‍රටය ලංකාවේ වැඩිම ආදායම් වාර්තාව තැබූ චිත්‍රපටය හැටියටත් වාර්තාවක් තිබ්බා.ඒ එයට දහ තුන් වසරකට පෙර රන්මුතුදූව චිත්‍රපටය තැබූ වාර්තාවයි.ඒ වගේම අපේ සිනමාවේ එදා මෙදා බිහි වූ විශිෂ්ටයන් රාශියක් සිනමාවට හදුන්වා දුන්නේ කේ.ඒ.ඩබ්ලිව් පෙරේරායි.මේ හැම චිත්‍රපටයකම තිර නාටක රචකයා කේ.ඒ.ඩබ්ලිව් වීම තවත් විශේෂයක්.1960 අවුරුදුදේ ඉඳන් 2004 දක්වා අපේ සිනමාවේ මතක හිටින චිත්‍රපට රැසක් හදපු කේ.ඒ.ඩබ්ලිව් ගේ චිත්‍රපට විස්තරය මෙහෙමයි. පිරිමියෙක් නිසා,සුහද සොහොයුරෝ,සැනසුම කොතැනද,කපටිකම,බයිසිකල් හොරා,කතුරු මුවාත්,සීයේ නෝට්ටුව,ලොකුම හිනාව,ඉහත ආත්මය,අපරාධය සහ දඬුවම,දුලීකා,ළසඳා.වාසනා,නෑදෑයෝ,ජනක සහ මංජු,සසර,හිඟන කොල්ලා,ආදර රත්නේ,බංගලි වළලු,වතුර කරත්තය,රේල් පාර,දුර්ගා,ධවල පුෂ්පය,මධුරි,උණ්ඩය,සුමේධා
මහත් ආන්දෝලනයට පත් වුණ ඇගේ වෛරය වගේ චිත්‍රපට හැදුව ලුවී වැන්ඩස්ට්‍රාටන් මේ ලැයිස්තුවේ ඊළඟට පස්වැනියාට ඉන්නා සිනමාකරුවා.ඔහු චිත්‍රපට විසි හයක් අධ්‍යක්ෂණය කළා.මුල්ම චිත්‍රපටය වුනේ බිඳුණු හදවත් චිත්‍රපටයයි.මුළු සිංහල සිනමාව කරකවලා පොළවේ ගැහැව්වා වගේ එතෙක් ඇය ඇඳීසිටි වස්තර ගලවා දමා නිරුවත් කළ ලුවී ඒ හරහා අලුත් රැල්ලක් ගෙනාවා.එය කාම රැල්ල කියලා හැදින්වුවත් ඒ දවස් වල වේලුණ සිනමාහල් හුස්ම ගත්තේ ඔය කාම රැල්ල නිසා තමයි.ඒ වගේම ඔහු හදපු බෝනික්කා චිත්‍රපටය දෙවන වරටත් පසුගිය වසරේ යළි ඔහු අතින් නිර්මාණය වුණා.1971 අවුරුදුදේ ඉඳන් චිත්‍රපට හදපු ලුවී ගේ චිත්‍රපටයක් අවසන් වරට තිර ගත වුනේ එම වසරේ.මේ වන විට චිත්‍රපට අධ්‍යක්ෂණයේ අවුරුදු හතලිහකට වැඩි සංඛ්‍යාවක් ලුවී නිරතව සිටිනවා.ඔහු ගේ අලි පැටියා මගෙ මිතුරා චිත්‍රපටය සම අධ්‍යක්ෂණයක්. ඒ ජූඩ් මුත්තයියා සමග.එමෙන්ම ජූඩ් නිර්මාණය කළ ජොලි බෝයිස් චිත්‍රපටයේ කාර්මික අධ්‍යක්ෂවරයා හැටියට කටයතු කළෙත් ලුවී.මුල් චිත්‍රපට දෙක තුන හැර ලුවී සෙසු චිත්‍රපට වල දී සිනමා තරු හරහා චිත්‍රපට ජනප්‍රිය කරවන්නට උත්සාහ දරා නැහැ. ඒ වගේම ලුවී ඉංග්‍රීසි බසින් රචනා කරන ලද බුද්ධි නවකතාව එම වසරේ හොඳම ඉංග්‍රීසි භාසිත යොවුන් නවකතාව හැටියට රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූවා. මෙන්න ලුවී හදපු චිත්‍රපට බිඳුණු හදවත්,පෙම් කුරුල්ලෝ,බෝනික්කා,මව්බිම නැත්නම් මරණය,ජූරිය මමයි,ඇගේ වෛරය,අපි බය නෑ,ඇගේ වෛරය-2,වියරු ගැහැනියක්,ගර්ල් ෆ්‍රෙන්ඩ්,ඇගේ වෛරය-3,දඩබිම,ඇගේ වෛරය-4,කන්‍යාවියගේ රාත්‍රිය,බලකාමය,සුන්දර වරද,සෙල්ලම් කුක්කා,සරාගි,ඇගේ දෛවය,හාදු වැස්සක්,ගිනිගත් හෝරාව,සීතල හාදු,ධර්ම පුත්‍ර,අලි පැංචා මගේ මිතුරා,සුර සැප සොයා,බෝනික්කා
සිනමාවේ රස සාගර මැවූ සිනමාකරුවා තමයි යසපාලිත නානායක්කාර.අකල් මරණයකට ගොදුරු නොවන්නට ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව චිත්‍රපට විසි පහ ඉක්මවනවා.ඔහු ගේ චිත්‍රපට විසි පහට නාඩු පෝට්‍ර වාල්ග සහ අනුරාගම් යන ලාංකික චිත්‍රපට යුගලත් අඩංගුයි.ඔහුගේ ගැහැනියක් චිත්‍රපටයත් ඉවලුම් ඔරු පෙන් යන නමින් දෙබස් කැවුණා.තුෂාරා චිත්‍රපටයේන් සිංහල සිනමාවේ එදා මෙදා තුර බිහිවූ ආදරණීය පෙම් යුවළ විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා සිනමාවේ කිරුළු පැලැන්දුවේ යසපාලිතයි. ඒ ඔහුගේ මුල්ම චිත්‍රපටය තුෂාරා හරහායි.පවුලේ සියල්ලට එකට ඉඳන් නරඹන්න හොඳ චිත්‍රපට හදපු යසපාලිත ගේ චිත්‍රපට සියල්ලම පාහේ වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම රස සාගර කියන එක නම් සහතිකයි. යසපාලිත හදපු චිත්‍රපට මොනවාදැයි දැන් විමසා බලමු. තුෂාරා,සහායට ඩැනී,ප්‍රදීපේ මා වේවා,ඇගේ ආදර කතාව,ගැහැනියක්,මොනරතැන්න.ටක් ටික් ටුක්,මුවන් පැලැස්ස-2,ගීතිකා,අංජානා,නැවත හමුවෙමු,ජය සිකුරුයි,රෝසි,යුක්තියද ශක්තියද,රස රහසක්,දේදුන්නෙන් සමනළියක්.සිහින අහසේ වසන්තය.ජය හ්‍රී වේ කුමරියේ.සුරනිමල,මුවන් පැලැස්සේ කදිරා.ප්‍රතිඥා,චායා මායා,රතු අලුයම |