වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ ගායන හැකියාවට වඩා ජනප්‍රිය නර්තන හැකියාවයි

මගේ ගායන හැකියාවට වඩා ජනප්‍රිය නර්තන හැකියාවයි

කුෂානි සඳරේඛා

කුෂානි සඳරේඛා මෙරට කලා ක්ෂේත්‍රයට පිවිසියේ කුඩා ළදැරියක වශයෙනි. රංගනයට, නර්තනයට මෙන්ම ගායනයට ද ඇය තුළ පැවතියේ සුවිශේෂී හැකියාවකි. කලා පවුලකින් පැවත එන උරුමයක් ඈ සතු වුව ද ඒ පාරම්පරික උරුමය ඉක්මවා යන දක්ෂතාවයක් ඈ සතු විණ. වර්තමානයේ මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන හඬ පෞරුෂයක් වන ඈ පසුගිය කාලය තුළ තිරගත වූ 'ආදරණීය කතාවක්' චිත්‍රපටයේ පසුබිම් ගායනයට එක්වීමෙන් කාගේත් අවධානයට පාත්‍ර වූ චරිතයක් බවට පත් වූවාය. කුඩා කල පටන්ම කලාවේ විවිධ ඉසව් ඇසුරු කරමින් ඈ පැමිණි ගමන්මඟ එක්තරා කාල වකවානුවකදී එක්වරම නතර වූවාය. පුරා වසර අටකට ආසන්න කාලයක් ඈ නිහඬ දිවි පෙවතක් ගත කරමින් සිට නැවත ක්ෂේත්‍රයට එක් වූයේ ආදරණීය කතාවක් තුළිනි. ඇගේ කලා ජීවිතේ ඉදිරි අනාගතයත් ගත වූ කාල වකවානුවත් පිළිබඳ වූ කතාබහකට පසුගිය දිනක අපි ඇය හමු වූවෙමු. මේ පිළිසඳර ඒ ඇසුරෙනි.

* ඉතිං . . . කුෂානි කොහොමද ජීවිතේ?

මොනවද අලුත් තොරතුරු?

මම හිතන්නේ දිගු නිහැඬියාවකින් පස්සේ ආයේ කලා ජීවිතේ පටන් ගත්තා කියලයි. ඒක ආදරණීය කතාවක් සහ සින්ඩරෙල්ලා චිත්‍රපට එක්ක තමයි පටන් ගන්න සිද්ධ වුණේ. මුලින්ම මම සම්බන්ධ වුණේ ඉමෝකා සත්‍යංගනීගේ 'සින්ඩ්‍රෙල්ලා' චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට. ඊට සමගාමීව ආදරණීය කතාවක් චිත්‍රපටයත් ලැබුණා.

* වසර අටක් වැනි දිර්ඝ කාලයක් ඔබේ කටහඬ නොඇසී තිබියදි තමයි ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ නේද?

ඇත්තටම ඔව්. නමුත් ප්‍රියන්ත කොළඹගේත්, ඉනෝකා සත්‍යාංගනීත් මගේ කටහඬ පිළිබඳ සහ එහි විවිධ පරාසයන් පිළිබඳ නොයෙක් අවස්ථාවල දැනගෙන සිටියා. ඒ ඇසුරින් වෙන්න ඇති ඔවුන් මේ නිර්මාණ සඳහා එක්වෙන්න කියා මට ආරාධනා කරන්න ඇත්තේ. ආදරණීය කතාවක් චිත්‍රපටයේ චරිතය, අවස්්ථාවට, කතාවට ගැළපෙන හඬ මගේ ළඟ තියෙනවා කියලා ප්‍රියන්ත අයියා විශ්වාස කරන්න ඇති. ඒ එක්කම ඔහුට පොඩි චකිතයකුත් තියෙන්න ඇති මොකද වසර ගණනාවකින් මගේ කටහඬ අහලා නැති නිසා. මේ චිත්‍රපටයේ මම යුග ගී ගායනා කරන්නේ කසුන් කල්හාර සමඟ. කාලයක් අපි දෙන්නා යුග ගී ගයලා ඉන්පසුව එකට ගීත ගායනා කරන එක නවත්තලා හිටියා. නැවත අපි දෙන්නා එකට ගීත ගායනා කරන්න පටන් ගත්තෙත් මේ චිත්‍රපටයට තමයි.

* පසුගිය ගෙවුණු වසර හත අටක කාලය තුළ ඔබට ගීත ගයන්න ආරාධනා ලැබුණෙම නැත්ද?

ආරාධනා නම් කොතෙකුත් ලැබුණා. ඒත් මම ඒ ආරාධනා බාර ගත්තේ නෑ. ඇත්තට මට ඒ කාලේ වැඩ කරන්න තරම් මානසික නිදහසක් තිබුණේ නැහැ. ඒ වගේම මගේ පෞද්ගලික වැඩ කටයුතුත් එක්ක ඒ ගැන සිතමින් හිටියා මිසක කලාව ගැන ඒ කාලේ හිතුවේ නෑ.

* ආදරණීය කතාවක්, සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටවලට ආරාධනා ලැබෙන කොට ඔබට මානසික නිදහස ලැබිලා?

ඔව්, ඒ කාලේ වෙන කොට මම නැවත නිර්මාණ කරන්න තරම් මානසික නිදහසකින් හිටියා. දීර්ඝ කාලයක් නිහඬව පසුවීම නිසා හිතේ උපන් ලොකු උද්යෝගයකුත් තිබුණා. ඒ හින්දයි ඒ චිත්‍රපට දෙක බාර ගන්න හිතුවේ. අනිත් පැත්තෙන් මේ චිත්‍රපට දෙකේම ගීතවල සුවිශේෂිත්වයක් මම දුටුවා. බටහිර ශෛලියට මෙන්ම දේශීය ආරටත් සමීපවන යුනික් කටහඬක් මට හිමිවෙලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. මට හිතුණා ඒ කටහඬින් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් ගීත රැසක් මේ චිත්‍රපටවල තිබෙනවා කියලා. එවැනි අවස්ථාවන් ලැබෙන්නේ විරලවනේ. කොහොම හරි මේ නිර්මාණ ඉතාම හොඳින් කළා. ඒ වගේම ඒ ගීත ජනප්‍රිය වුණා. ප්‍රේක්ෂකයෝ අතර හුඟක් කතාබහට ලක් වුණා. විශේෂයෙන් මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළියට ගීත කිහිපයක්ම ගායනා කරන්නට මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒක මගේ ජීවිතේ එක්තරා අන්දමකට සන්ධිස්ථානයක් කියලා මට හිතෙනවා.

* ගෙවුණු වසර ගණනාවක නිහැඬියාව ඔබේ කලා ජීවිතේ ආපස්සට ඇද දැම්මා කියලා හිතෙන්නේ නැත්ද?

ඇත්තටම ඒක ලොකු පාඩුවක් තමයි. මම කලා ක්ෂේත්‍රයට ආවේ බොහොම පුංචි කාලෙදි. ඒ ආව ගමන දිගටම ගියා නම් හුඟාක් දුර යන්න තිබුණා තමයි. නමුත් ඉතින් අපට ලැබෙන අවස්ථා හරි අඩුයි. මට වෙලාවකට සැකයක් එනවා අපි යම් ඒකාකාරී තැනක කොටු වෙලා ද කියලත්. සමහර වෙලාවට මම අම්මාගේ ගීත ගායනා කරනවා කියලා මතයකුත් ගොඩ නැඟෙන්න ඇති. පසුගිය කාලයේ නම් මම විශාල මුදලක් අය කරනවා කියලා කට කතාවකුත් ගියා. මේ හේතු කිහිපය නිසාම මට නිර්මාණ මඟ හැරුණාද කියලා වෙලාවකට හිතෙනවා.

* නිර්මාණ නොකර ගත කළ කාලය ගැන දැන් දුක් වෙනවාද?

දුකක්ම නෙවෙයි. ජීවිතේ විවිධ කාලවල විවිධ වෙනස්කම් වෙනවා. නිර්මාණ මඟ හැරුණා කියලා මට දැනෙනවා. නමුත් ඒ උනන්දුව මට නැතුවා නොවෙයි. අදටත් මට හොඳ නිර්මාණ කීපයකට දායකවීමේ උනන්දුව තිබෙනවා.

* ඔබ නර්තන ශිල්පිනියක් වශයෙනුත් කලක් මෙරට ප්‍රේක්ෂකයන් වසඟයට ගත් කෙනෙක්. නර්තනය, ගායනය මේ දෙකෙන් වඩා කැමති මොකටද?

මේ දෙකම මගේ ඇඟටම බද්ධ වෙච්ච දෙකක්. එකිනෙක වෙන් කරන්න අමාරුයි. මම කලක් නර්තන වැඩ සටහනකට සම්බන්ධ වුණු නිසා බොහෝ දෙනෙක් දන්නේ මගේ නර්තන හැකියාව ගැන පමණයි. මගේ ගායන හැකියාව ගැන දන්නේ අඩුවෙන්. නර්තනය මම කරන්නේ විනෝදාංශයක් විදියට. මම වෘත්තීය ගායන ශිල්පිනියක්.

* මීට කලින් ඔබ චිත්‍රපට පසුබිම් ගායනයට එක් වෙලා තිබෙනවා නේද?

ගායනය කරලා තිබෙනවා. නමුත් එක ගීතයක් දෙකක් විතරයි. අනිත් එක ප්‍රධාන චරිතයට ගීත කිහිපයක් ගායනා කරන්න ලැබුණු පළමු අවස්ථාව මේක.

* ඔබේ ඔය ගායන හැකියාව ඔබට පරම්පරාවෙන් ලැබුණු දෙයක් කියල ද ඔබ විශ්වාස කරන්නේ?

ඒකත් එක හේතුවක්. අනිත් පැත්තට මම ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. කාලයක් යනකොට විවිධ අත්දැකීම් එක්ක දියුණු වෙනවා. මට මගේ අම්මාගේ තාත්තාගේ ආභාසය ලැබෙන්න ඇති. ඔවුන් දිහා බලාගෙන මම හැදෙන්න ඇති. නමුත් මම මගේම ශෛලියක් ගොඩනඟා ගත්තියක්.

* දැන් ඔයාගේ ඉලක්කය මොකක්ද?

මට ලොකු ආසාවක් තියෙනවා සරල ගීත කිහිපයක් ගායනා කරන්න.

* කැසට් ගීත ආපු කාලේ කුෂානි කැසට් කළේ නැත්ද?

එකක් කළා 'රේඛා' නමින්. නමුත් ඒ කාලයේ කැසට් ගීත කලාව බැස යමින් තිබුණ යුගයක්. ඒකත් එක්ක මට පසුබෑමක් ඇති වුණා.

* දැන් නර්තනය කරන්නේ නැත්ද?

නර්තන ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

* ජීවිතේ දිහා ආපස්සට බලද්දී මොනවද දැනෙන්නේ?

නිර්මාණ ජීවිතේ මට තව බොහෝ දේවල් කරන්න තිබුණා කියලා හිතෙනවා.

* අද ඔබේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් සතුටුද?

ඒ පැත්තෙන් නම් මට කරදරයක් නෑ. සතුටින් ජීවත් වෙනවා.