වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජනට හැත්තෑවයි අපේ උණුසුම් සුබපැතුම්

නිළි රැජනට හැත්තෑවයි අපේ උණුසුම් සුබපැතුම්

හෙළ සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ හැත්තෑ වැනි ජන්ම දිනය මෙම තිස් වෙනිදාට යෙදී තිබේ. එදා මෙදාතුර අසමසම නිර්මාණ රැසකට විශිෂ්ට රංගන දායකත්වයක් සැපයූ ඇය සිනමා අධ්‍යක්ෂණය තුළින් ද ක්ෂේත්‍රයට මෙහෙවරක් සිදු කළාය. පුංචි බබා සිනමාපටයෙන් ඇරැඹෙන ඇගේ රංගන ජීවිතය තුළදී යුග ගණනාවක් නියෝජනය කළාය. ගාමිණි - මාලිනී, විජය - මාලිනී යුග සුවිශේෂී තැනක් ගනියි.

නිධානය, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, ආකාස කුසුම්, එයා දැන් ලොකු ළමයෙක් ආදී චිත්‍රපට සිය ගණනක් හරහා ඇය විශිෂ්ට රංග ප්‍රතිභාව තිරයේ පතල කළාය. වේදිකා නාට්‍ය, සිනමාව හා රූපවාහිනිය යන ක්ෂේත්‍රයන් සියල්ලෙහිම විශිෂ්ට නිළියක ලෙස බහුමානයට පාත්‍ර වන මාලිනී ආකාස කුසුම් රංගනය උදෙසා ඉන්දීය රජත මයුර සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. ජාත්‍යන්තර සිනමා උත්සව කිහිපයකම විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ද වූ ඇගේ ප්‍රත්‍යාවලෝකන උලෙළයන් කිහිපයක් ද විදෙස් සිනමා උලෙළයන්ගේ පවත්වා ඇත.

සරසවිය මාලිනීට උණුසුම් සුබපැතුම් ගෙන එයි.


හඳගම - ප්‍රසන්න - විමුක්තිගෙන් එකම තේමාවක් චිත්‍රපට තුනක්

මෙරට ප්‍රථම වතාවට සම්මානනීය අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු එකට එක්ව සිනමාපටයක් අධ්‍යක්ෂණය කරන පුවතක් සරසවියට වාර්තා විය. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර එම සිනමාකරුවන් තිදෙනාය. ඔවුන් එක්ව අධ්‍යක්ෂණය කරන සිනමාපටය ඩ්ඥ, ඉඩඥ චදඤ ර්‍ණබඩඥපඵ ලෙසට නම් කොට තිබේ. මෙම සිනමාපටය කතා ත්‍රිත්වයක් ඔස්සේ දිග හැරේ. එමෙන්ම දර්ශන තල තුනක රූ ගැන්වේ. මෙහි ඩ්ඥ සිනමාපටය අශෝක හඳගම අධ්‍යක්ෂණය කරයි. ඉඩඥ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණයකි. ර්‍ණබඩඥපඵ විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කරයි. එම කතා ත්‍රිත්වය එක් වූ තැන ඩ්ඥ, ඉඩඥ චදඤ ර්‍ණබඩඥපඵ නිමවේ. මෙහි ඇති තවත් විශේෂත්වයකි. ඒ ප්‍රසන්න අධ්‍යක්ෂණය කරන ඉඩඥ චිත්‍රපටයෙහි අශෝක හඳගම, අශෝක හඳගම ලෙසටම රංගනයේ යෙදීමයි. ළඟදීම රූපගත කිරීම් ආරම්භ වන මෙම සිනමාපටයෙන් චමත්කාරය තව නොබෝ දිනකින්ම ඔබට දැක බලා ගත හැකි වනු ඇත.


ආලෝකෝ උදපාදි දින සියයයි

චත්‍ර වීරමන් සහ භරත ගයාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදි සිනමාපටය තිරගතවීම ආරම්භ කොට එන සෙනසුරාදා දිනට දින සියය සපිරෙයි. එය මේ වන විට ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ තිරගත වන බව එහි නිෂ්පාදන උපදේශක සමන් වීරමන් සරසවියට පැවසීය. තුසිත විජේසේන නිෂ්පාදනය කළ ආලෝකෝ උදපාදි හි දර්ශන් ධර්මරාජ්, උද්දික ප්‍රේමරත්න, මේනකා පීරිස්, දිල්හානි අශෝකමාලා ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවති.


සුනිල් මිහිඳුකුල 4 වැනිදා ඇගයේ

පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට සහ විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සරසවිය හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල සාහිත්‍යවේදියාණන්ගේ සේවාව ඇගයීමේ උත්සවයක් එළඹෙන මැයි මස 04 වැනිදා සවස පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මහාචාර්ය සමන්ත හේරත් සහ බුද්ධදාස ගලප්පත්ති විසින් සංස්කරණය කරන ලද සුනිල් මිහිඳුකුල 'සිනමා සාහිත්‍ය සම්ප්‍රසාදන' නමැති ග්‍රන්ථය මෙදින එළි දැක්වීමට නියමිතය. එහි මෙරට ප්‍රවීණ සිනමා විචාරකයන් සහ කලාකරුවන් විසින් රචිත ලේඛන මාලාවක් ද ඇතුළත්ය.

මෙම උලෙළෙහි දෙසුම් පවත්වනු ලබන්නේ සිනමා විචාරක ගාමිණී වේරගම, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ සම්මානනීය සිනමා නළු සනත් ගුණතිලක විසිනි. හෙළ සිනමාවේ කිවිඳිය සුමිත්‍රා පීරිස් මෙදින මුලසුන හොබවනු ලබයි. පසුගියදා පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී සිනමා සාහිත්‍ය උදෙසා කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සුනිල් මිහිඳුකුල 'පුරෝගාමී' සිනමා සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ඇගයුම් උලෙළ සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව, ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුග්‍රහය දක්වයි.


සනත්ගේ විශිෂ්ට රංගනයක් පැණි මකුළුවෝ හතර වැනිදා තිරයට

සනත් ගුණතිලක විශිෂ්ට රංගනයක යෙදෙන පැණි මකුළුවෝ සිනමාපටය එළඹෙන මැයි මස හතර වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ රිකී - කොළඹ, රිට්ස් - බොරැල්ල, කන්ට්‍රස් - දළුගම ආදි සිනමා ශාලා කිහිපයක තිරගතවීමට නියමිතය. ඉසුරු වීරසිංහ මුදලි සමග චලීන් මධුරංග සම අධ්‍යක්ෂණය කළ මෙහි සනත් සමඟ දිනෙත් ද සිල්වා, අයිෂ් අතුකෝරළ, ප්‍රියෝටා ෆර්ලිම් යන පිරිස රංගනයෙන් දායක වී තිබේ. පැණි මකුළුවෝ යූ. ඒ. පල්ලියගුරුගේ ගේ නිෂ්පාදනයකි. සංගීත අධ්‍යක්ෂණය සෙනෙත් දයානන්ද සහ චතුරංග ඩි සිල්වා විසින් නිමකොට ඇත. ගායනය අමරසිරි පීරිස් සමඟ සෙනෙත් දයානන්දගෙනි. පැණි මකුළුවෝ සම අධ්‍යක්ෂණයෙන් දායක වූ ඉසුරු කලර් සිනමාපටයේ අධ්‍යක්ෂවරයා වේ. මෙහි නිෂ්පාදක යූ. ඒ. පල්ලියගුරු (උදාර පල්ලියගුරු) සුපර් සික්ස් සිනමාපටයෙහි අධ්‍යක්ෂවරයාය.


අතුලගේ පිංකම ග්‍රීසියට

ග්‍රීසියේ පැවැත්වෙන INPUT-2017 ජාත්‍යන්තර රූපවාහිනි සම්මේලනයේදී තිරගත කිරීම සඳහා අතුල පිීරිස් විසින් නිර්මාණය කරන ලද පිංකම ටෙලි නාට්‍ය තෝරාගෙන ඇත. මෙය එහි ප්‍රදර්ශනය කරන එකම මෙරට නිර්මාණය වේ. මෙම නිර්මාණ දැක්ම මැයි මස 07 වැනිදා සිට 11 දක්වා ග්‍රීසියේදී පැවැත්වේ. පිංකම සඳහා ජයලත් මනෝරත්න, ජයනි සේනානායක, චන්දන ඉරුගල් බණ්ඩාර, අසඳ දෙව්තිළිණි, ලංකා බණ්ඩාරනායක රංගනයෙන් දායක විය. මෙය ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයකි.