වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ

The Good Karma Hospital අමරසූරිය වලව්වේ රූගැන්වූ

බ්‍රිතාන්‍ය මන්මත් කරන දැවැන්ත ටෙලි වෘත්තාන්තය

ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සම්බන්ධිකරණ සමාගමක් වනෆිල්ම් ටීම් පසුගිය කාලේ ලංකාවේ දකුණුදිග තැනුණ බ්‍රිතාන්‍ය ටෙලිනාට්‍යයක් මේවන විට එරට පේ‍්‍රක්ෂකයන්ගේ දැඩි අවධානයට පත්වෙලා. ඒ ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ ටෙලි නාට්‍ය මාලාව සෑම සතියක ම බ්‍රිතාන්‍යයේ ‘ITV PRIME TIME’ සේවාවේ විකාශය වෙයි. මේ වනවිට ඒ රටේ වාර්තාවක් තබමින් මිලියන හතක රූපවාහිනි ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ නරඹා තිබීම මෙහි තිබෙන විශේෂත්වයයි. ඒ වනවිටත් වැඩි ම ප්‍රතිචාර ලබා සිටි වැඩසටහන් අබිබවමින් විකාශය වන ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ ටෙලි නාට්‍ය මාලාව ශ්‍රී ලාංකේය රූපවාහිනි ප්‍රේක්ෂකයාට ද තිළිණ කිරීමට ද ෆිල්ම් ටීම් සූදානම් වෙයි. ඒ මේ වසරේ අගෝස්තු මාසයේ පටන් ය.

‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ ටෙලි කතා මාලාව ගෙතී ඇත්තේ රූබි වෝල්කර් නම් නවක දොස්තරවරිය වටායි. රූබි වෝල්කර් ඉන්දියාවේ පිහිටි ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ වෙතට පැමිණෙන්නේ වියවුල් වූ සිතත් රැගෙන ය. සිතේ ඇති වූ වියවුල් බවෙන් මිදීමට සිතා ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ වෙතට පිවිසෙන රූබි බොහොම සංවේදී සිත් ඇත්තියකි. ඈ හිරු එළියට, තල් අරණට, සුන්දර මුහුදු තීරයට දක්වන්නේ බොහොම ප්‍රියතාවකි. එවැනි සුන්දර වස්තූන්ට හා ස්ථානවලට ඈ දක්වන්නේ අසීමිත ආදරයකි.

එහෙත් ඈ ජීවිතයට හා ආදරයට මුහුණ දෙන්නේ තරමක් චකිතයකිනි. ඒ චකිතය වෙනස් කර ගැනීමට රූබිට හැකි වන්නේ ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ එකට පැමිණ ටික කාලයකට පසුව ය. ඈ ජීවිතයේ තිබෙන නිස්සාරත්වය හා ජීවිතය දෙස සුබවාදීව බැලීමට ඉගෙන ගන්නේ ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ එකෙහි රෝගීන් හා ඒ අවට වෙසෙන මිනිසුන්ගේ ජීවිත හා ගැටෙමිනි. ඔවුන්ගේ ජීවිත ඇසුරෙන් ඈ සිය සිත සුවපත් කිරීමට උත්සාහයක යෙදෙයි.

මෙහි කතාව ඉන්දියාව මූලික කරගනිමින් නිර්මාණය වුවත්, එහි ඇතුළත් සියලු දර්ශන රූගත කිරීම් සිදු වූවේ ශ්‍රී ලංකාවේ ගාලු පුරවරය අවට කෙන්ද්‍ර කර ගනිමනි. එහිදි 19 වැනි සියවසට අයත් පැරැණි වලව්වක් වූ ගාල්ලේ අමරසූරිය වලව්ව මෙහි රූ ගත කිරීම් සඳහා යොදා ගැනිණි. එහි රඟපෑ සියලුම විදේශීය, දේශීය නළු නිළියන් මාස කිහිපයක් ඒ ප්‍රදේශයේ නවාතැන් ගනිමින් රඟපෑම සිදු කරන ලද්දේ බොහෝ සුන්දර අත්දැකීම් ලබමිනි.

ඒ අත්දැකීම් අවසානයේ සුන්දර නිර්මාණයක් බවට පත්වන ‘ද ගුඩ් කර්ම හොස්පිටල්’ ටෙලි කතා මාලාව සඳහා රංගනයෙන් දායක වන නළු නිළියන් රැසකි.

අමන්දා රෙඩ්මන්, අම්රිතා ආචාර්යා, ජේම්ස් ෆොලෙයිඩ්, නෙයිල් මොරිසේ, දර්ශන් ජාරිවාල, සාගර් රදියා, පිලීප් ලෝගන්, පිලීප් ජැක්සන් යන විදේශිය නළු නිළියෝ මෙන්ම නිම්මි හරස්ගම හා රාජා ගනේෂන් යන අපේ රටේ නළු නිළියෝ රැසකුත් මේ ටෙලි කතා මාලාවේ රඟපාති. මෙහි අධ්‍යක්ෂවරයා වන්නේ බිල් ඊගලස් ය. ද ෆිල්ම් ටීම් යනු රවීන්ද්‍ර රන්දෙණිය, එරල් කෙලී, ගෝපි ධර්මරත්නම් සහ ඒන්ස්ලි ද සිල්වා එකතුවයි.