වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




උරුමය සොයා යන කුමාරයා යළි එයි

උරුමය සොයා යන කුමාරයා යළි එයි

බාහුබාලි : සමාප්තිය

ඉන්දියානු රුපියල් කෝටි 180 ක (අමෙරිකානු ඩොලර් මිලියන 24 ක්) අති විශාල පිරිවැයක් දරමින් ඉන්දියාවේ නිර්මාණය වුණු රමණීයම චිත්‍රපටයක් වුණු 'බාහුබාලී : සමාරම්භය' (Baahubali : The Beginning) සිය පිරිවැය මෙන් තෙගුණයකට වැඩි ආදායමක් වාර්තා කරමින් වාණිජමය වශයෙන් මෙන්ම විචාර ප්‍රතිචාර සහ සම්මාන අතින් අති සාර්ථක නිර්මාණයක් බවට පත් විය. ඉන්දියාවේ මෙතෙක් වැඩිම ආදායම් ලබා ඇති චිත්‍රපට අතුරින් තෙවන තැනට පත්ව ඇති මෙය ඒ වනවිට, තිරගත වුණු පළමු දිනයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් පළමු තැන රැදී සිටියා. තෙළිඟු සිනමා උලෙළක් වන 'සිනෙමා' (CineMAA)  උළෙලේදී සම්මාන 14 කට උරුමකම් කී Baahubali : The Beginning,  ෆිල්ම්ෆෙයාර් - දකුණු සිනමා උළෙලේදී සම්මාන 5 කුත්, තවත් සිනමා උළෙල කිහිපයකදීත් සම්මාන දිනා ගත්තා. IMDB දර්ශකයේ 8.3/10 ක් සනිටුහන් කරන Baahubali : The Beginning  රෝටන් ටෝමාටෝස් හි ලකුණු සියයට 83 ක් ලබා තිබෙනවා. බාහුබාලි යන්නෙහි අර්ථය ශක්තිමත් අත යන්නයි. එනම් ගජබාහුය.

බාහුබාලී 'වීර - සුරංගනා' (Epic Fantasy) ගණයට වැටෙන චිත්‍රපටයක්. ගම්බදව ඇති දැඩි වන වීර වික්‍රමයන්ට ලොල් තරුණයෙකු වන ශිවුදු හට ගම්මානය නුදුරුත්තෙහි ඇති සුවිසල් දිය ඇල්ල තරණයට ඇති නොසංසිඳෙන ආශාව නිසා කැරළිකාරිණියක වන අවන්තිකා නම් සුන්දර තරුණිය මුණ ගැසෙයි. මහිෂ්මතී නම් ඔවුන් වෙසෙන රාජධානිය පාලනය කරන කෲර පාලකයකු වන 'භලල්ලා' ට විරුද්ධව සටන් වදින අවන්තිකාට ශිවුදු සහයෝගය දක්වයි. මේ අතර එක්තරා අවස්ථාවකදී ශිවුදු සහ රජුගේ පක්ෂපාත සෙන්පතියකු වන කට්ටප්පා මුහුණට මුහුණ මුණ ගැසෙන අතර, ශිවුදු ගේ බාහු බල ශක්තිය කට්ටප්පාට දැනගැනීමට ලැබේ. මේ තරුණයා නම් භලල්ලාගේ මියගිය සොයුරු රජු 'බාහුබාලි' ගේ අතුරුදන් වුණු පුත්යා බව කට්ටප්පාට වැටහෙන අතර පෙර සිටි දරුණු රජකුට විරුද්ධව දෙසොහොයුරන් සටන් වැදුණු අයුරුත්, බාහුබාලීට ඉන් රජකම උරුම වුණු අයුරුත් කට්ටප්පා සිහි කරයි. කොටස් දෙකකින් යුතු බාහුබලී චිත්‍රපට මාලාවේ පළමු වැන්න, මෙලෙස නිමා වේ.

එස්. එස්. රාජාමෞලි ගේ අධ්‍යක්ෂණයෙන් සහ ශෝබු යර්ලගද්දා සහ ප්‍රසාද් දෙවිනෙනි විසින් නිෂ්පාදනය වී, දෙමළ සහ තෙළිඟු යන භාෂා ද්විත්වයෙන් සිනමාවට නැගුණු මෙම සිනමා නිර්මාණයෙහි දෙවන දිගහැරුම 'බාහුබාලි : සමාප්තිය' (Baahubali : The Conclusion)  ඉන්දියානු රුපියල් කෝටි 250 ක පිරිවැයකින් නිර්මාණය වී ඇති අතර, හෙට (28) සිට තිරගත වීමට නියමිතය.

සිය රාජ උරුමය ගැන දැනගන්නා ශිවුදු එය සෙවීම සිය අරමුණ කර ගන්නා අතර අතීත සිදුවීම් මාලාවකින් සහ අනාගත සිදුවීම් මාලාවකින් 'බාහුබාලි : සමාප්තිය' දිගහැරෙන බව කියවේ. ශිවුදු ගේ චරිතය 'ප්‍රභාස්' විසින් සහ අවන්තිකා ගේ චරිතය 'තමන්නා' විසින් රඟ දැක්වෙන අතර, භාලල්ලා ගේ චරිතයට 'රානා දග්ගුබාතී' ද ශිවුදු ගේ මව වන දේවසේනා ගේ චරිතයට අනුෂ්කා ශෙට්ටි විසිනුත් පණ පොවයි. සම්මානලාභී එම්. එම්. කීරවනී නම් සංගීතඥයා විසින් සංගීතවත් කර ඇති මෙම චිත්‍රපටයේ, කීරවනී, දලර් මෙහෙන්දි, සෝනි, දීපු, ටී. ශ්‍රිවනිදී ඇතුළු පිරිසක් ගායනයෙන් දායක වෙති. කේ. කේ. සෙන්තිල් කුමාර් විසින් කැමරාකරණය කරන ලද මෙම චිත්‍රපටයේ නිෂ්පාදන ආයතනය 'අර්කා මීඩියා වර්ක්ස්' නම් වේ.

බාහුබාලී පළමු චිත්‍රපටය ලෙසින් ම මෙයද පරිගණක සජීවීකරණය ඇතුළු දෘශ්‍ය ප්‍රයෝග විචිත්‍ර අන්දමින් භාවිතා කරන ලද චිත්‍රපටයක් බව කියවේ. නවීණ 4K - High Definition  තාක්ෂණයෙන් ඉන්දියාවේ නිර්මාණය වුණු පළමු චිත්‍රපටය වන මෙය තිරගත කිරීම වෙනුවෙන් ඉන්දියාවේ සිනමාහල් 200 කට වැඩි සංඛ්‍යාවක් 4K තාක්ෂණයෙන් යාවත්කාලීන කළ බව කියවේ.