වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වීදි ගායකයාට උපහාරයක්

වීදි ගායකයාට උපහාරයක්

දයාන් විතාරණ පසුගිය දිනෙක නුවර ප්‍රදේශයේ සංචාරයක යෙදුණා. ඔය අතරතුරදි ඔහුගේ නෙත ගැටුණා පදික වේදිකාවේ ගී ගයන අසරණයෙක්. ඒ තැනැත්තාගේ හඬ අපේ ඇතැම් නව පරපුරේ ගායකයන්ට වැඩිය නම් හොඳයි. ඒ හින්දම දයාන් ඔහු ළඟට සේන්දු වුණා.

හිමිහිට එතැන පදික වේදිකාවේ වාඩි වුණා. දයාන් අර තැනැත්තාගේ විස්තර කතා කළා. ඔහු දයාන් හා කුලුපඟවීමට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. ටිකකින් දයාන් ද ඔහු සමඟ ගීතයක් ගැයුවා.

වීදියේ ගායකයා දයාන්ගේ ගීතවලට ඩොලැක්කිය ගැසුවේ අවට සිටින අය ද එතැනට එක් රැස් කරන ගමන්. ක්ෂණයකින් දයාන් සහ අර තැනැත්තා වටේ සෑහෙන පිරිසක් සෙනඟ පිරුණා.

අවසනදී දයාන් සිටි නිසාම සින්දු අහපු අය වැඩි මුදලක් වීදියේ ගායකයාට ලබා දුන්නා. තමන් කොතරම් උසස් වුව ද සහෘදයකු හමු වූ සැනින් තරාතිරම් අමතක කළ දයාන් ගැන එදා බොහෝ දෙනෙක් කතා කලේ ප්‍රශංසා මුඛයෙන්.


ඒකත් රඟපෑමක්

අප කලා ක්ෂේත්‍රයේ ඉන්න ලොකුම ලොකුම බඩ තියෙන නළුවා කවුද කියලා ඇහැව්වොත් කතා දෙකක් නැහැ. මතක් වෙන්නේ ගිහාන් ප්‍රනාන්දුව. ගිහාන්ගේ බඩ ගැන හැමෝම දන්නේ ඒක අතිශය විශාල නිසා. කොතරම් බඩ දැවැන්ත වුණත් ගිහාන් වේදිකාවට ගියාම හරි රිලැක්ස් එකේ රඟපානවා.

ඒ හැකියාවත් අගය කළ යුතුයි. සාමාන්‍යයෙන් ගිහාන්ට පාටියකට ආරාධනා ලැබුණාම එහිදී ඔහු පොඩි ඉදිරිපත් කිරිමක් කරනවා. නව පරපුරේ ගායක ගායිකාවන් ගීත හදන්නේ කොහොමද කියලා ගීතයෙන්ම හාස්‍ය අන්දමින් ඉදිරිපත් කිරීම තමයි ගිහාන් කරන්නේ. අත පය විසි කරමින් ඔහු ඒක ලස්සනට කරනවා.

ඔහොම ඒ ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටින වෙලාවක ගිහාන්ගේ අතින් මයික් එක විසික් වෙලා. ඒක පෙරළිලා පෙරළිලා ගිහින් තියෙන්නේ පුටුවක් යටට. ගිහාන් දනගාමින් මයික් එක හොයලා. අන්තිමේ බලාගෙන හිටපු අයට හිතිලා තියෙන්නේ ඒකත් ඉදිරිපත් කිරීමේම කොටසක් කියලා. පුංචි එකෙකු වගේ දන ගහලා මයික් එක හොයාගෙන මුකුත් නෙවුණු ගානට ගිහාන් ඉතිරි ටික කරගෙන ගියාලු.


අලුත් තැනක

ආදරණීය කතාවක් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූ උදාර සමරවීර බොහොම නිහඬ චරිතයක්. ඒ වුණාට තමන්ට ලැබෙන නිර්මාණවලට උපරිමයෙන් සාධාරණයක් ඉටු කරන්නේ අප්‍රමාණ කැපවීමෙන්. උදාරගේ ශබ්දාගාරය අලුත් තැනකට ගෙන ගියා කියලා අපට ආරංචි වුණා.

කලින් ඒක තිබ්බේ කොට්ටාවේ. අලුත් ශබ්දාගාරය ස්ථාපිත කරලා තියෙන්නේ පැලවත්තේ. පැලවත්ත හන්දියේ ඉඳලා අපේ ගම පැත්තට එද්දී පාරෙහි වම් පැත්තේ හමුවන විජිතපුර ගැමුණු මාවතේ තමයි උදාරගේ අලුත් ශබ්දාගාරය තියන්නේ. මේ දිනවල එහි නව නිර්මාණ කටයුතු කිහිපයක් සිදුවෙනවලු. ඒ හින්දා උදාර මේ වන විට කාර්යබහුල වෙලා.

උදාර ආදරණීය කතාවක් සිනමාපටයට නිර්මාණය කළ අහසෙන් එහා ගීතය නව පරපුරේ සංගීත ලෝලීන් අතර තුඩග තුඩග රැව්දෙන ගීතයක් බවට පත් වෙලා. ඒවගේම පසුගිය කාලයේ නිතර ඇසුණ සිරිලක පිරි අවුරුදු සිරි ගීතය හැදුවෙත් මේ උදාර


ඇස්වහ ගියා

රජෙක් වුණත් ගිලන් වුණොත් හරි අසරණයි. ලොව උතුම්ම සම්පත නිරෝගී බව කියලා කියන්නේ කට කහනවටයැ. අපේ ක්ෂේත්‍රයේ ඉතාම ජනප්‍රිය කෙනෙක් පහුගිය කාලේ ලෙඩ වුණා. ඒ වෙන කවුරවත් නෙවෙයි ශෙහාන් මිහිරංග. සාමාන්‍ය වෛරස් උණක් හැදිලා කියලා හිතුවත් ඔහුට වැලඳිලා තියෙන්නේ ඩෙංගු බව පසුව කළ පරීක්ෂණවලදී හෙළි වුණා.

මේ වන විට නම් ඔහුට තරමක් හොඳයි. ඒත් ඒක නෙවෙයි මෙතන තියෙන ගැටලුව. ශෙහාන් ලෙඩ වෙලා ඉන්න අතරතුරදි එක්තරා දුෂමාන ආරංචියක් ෆේස්බුක් පිටු හරහා තටු අරන් ඉගිලුණා. ඒ ඔහු මෙලොව හැර ගිය බවට. කවුරු කොහොම කෙසේ කළත් ඒ වැඩේ නම් අන්තිම පහත්. සොයලා බලන්නේ නැතුව ඔය වගේ කතා පතුරුණ අයට නම් ඒක විමෝදයක් වෙන්න ඇති.

නැත්නම් ඒ වගේ දේවල් කරයිද. අපේ ඇතැම් අය බලාගෙන ඉන්නේ බොර දියේ මාළු බාගන්න. ඒත් ඒ අය දන්නේ නැහැ ඉන් වෙන හානිය. ඒ ආරංචියට බොහෝ දෙනෙක් බය වුණා. විශේෂයෙන්ම ශෙහාන්ගේ සංගීත ලෝලියෝ. දෙවියන්ගේ පිහිටෙන් ශෙහාන් තවමත් ජීවත් වෙනවා. අර ආරංචියෙන් වුණේ ඔහුගේ ආයු කාලය තවත් වැඩි වෙච්ච එක.


මෙන්න නියම යාළුවෝ

රශිප්‍රභා සංදීපනි කියන නව පරපුරේ රංගන ශිල්පිණියට ඇබැද්දියක් වෙලා. දෙරණ ස්ටාර් සිටි වැඩසටහනහි පුහුණුවීම් අතරතුරදියි ඇයට ඒ දේ වෙලා තියෙන්නේ. රශිගෙ කකුලක මංශපේෂී පෙරළිලා. ඒ හින්ද ඇයට කකුල ඔසව ගන්නත් බැරි වුණාලු. රශි මේ දේ හින්දා හරිම කනස්සල්ලෙන් ඇඳට වෙලා කාලය ගත කළාලු.

දැන් නම් බොහෝ දුරට ඇයට සුවයි. ඒ අස්සේ රශි තමන්ගේ බැන්ඩේජ් කරපු කකුලේ පින්තුරයක් මූණු පොතට එක් කරලා තිබුණා. මොනවා හරි අරගෙන එයාව බලන්න එන්න කියලත් එහි උඩින් ඇය සඳහන් කරලා. කෑම කෙසේ වෙතත් යාළුවො ඇයව බලන්න ඇවිත්. ඒ අය ගෙනවා වෙනුවට රශිගෙ ගෙදර තිබුණු කෑමත් කාලයි යාළුවො ගිහින් තියෙන්නේ.