වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




“සංගීතය හා සම්බන්ධ චරිතයක් නිරූපණය කිරීමට කැමැතියි”

“සංගීතය හා සම්බන්ධ චරිතයක් නිරූපණය කිරීමට කැමැතියි"

සංගීත් නිපුන් ගයා ක්‍රිශානි ප්‍රේමරත්න

කුඩා අවදියේ පටන් සිය දෙමවුපියන්ගේ ආභාසය ලබමින් ගුවන් විදුලියේ ළමා මණ්ඩපය හා ජාතික රූපවාහිනියේ උදාර යන ළමා වැඩසටහන් ඔස්සේ සිය කලා හැකියාවන් අවදිකළ ඇය මේ වන විට රටම හඳුනාගත් චරිතාංග නිළියක වන්නීය. ඇය නමින් ගයා ක්‍රිශානි ප්‍රේමරත්නය.

ස්වර්ණවාහිනියේ විකාශ වූ මතු සම්බන්ධයි ටෙලි නාට්‍යයේ චිත්‍රා, වැලිඔටුන්න සහ සිටු මැදුර යන ටෙලි ද්විත්වයේ රූපා, අම්මාවරුනේ හී සෝමා යන චරිත තුළින් ප්‍රේක්ෂක ඔබ වෙත පැමිණි ඇය, යකඩ පහන්තිර, වස්සාන සිහිනය, අස්ගව්ව, පිපෙන මල්, දූවරු, වාසනාවේවා, යකඩ කහවනු ඔස්සේ ද සිය රංගන හැකියාවන් විදහා දැක්වූවාය.

ඒ හැරුණුකොට ප්‍රසිද්ධ වේදිකා රංගනයට ද එක්වූ ගයා, සකි සඳ මඬල, මාතෘ, සිකුරු යන නාට්‍යවලටද සිය රංගන දායකත්වය ලබා දී ඇත. අනුර විතානආරච්චි නිර්මාණය කළ ඇයගේ රංගනයෙන් දායකත්වය ලබාදුන් 'මාර හොරු' වේදිකා නාට්‍යය රාජ්‍ය නාට්‍ය උලෙළද නියෝජනය කළේය.

වේදිකාව, ටෙලිනාට්‍ය හා රූපවාහිනි වැඩසටහන් හරහා සිය රංගන කුසලතා වැඩිදියුණු කරගත් ඇය 'බොම්බෙ වෙල්වට්' හින්දි චිත්‍රපටය සඳහා ඉන්දීය නළු රන්දීර් කපූර් සමඟ රංගනයෙන් එක්වීමට ද වරම් ලැබුවාය.

අතරතුර රංගනයට මද විරාමයක් තැබූ ඇය නුවන් ශ්‍රී මේඝ සතරසිංහයන්ගෙන් සංගීතය හදාරා පසුව ඉන්දියාවේ ලක්නව්, භාත්ඛණ්ඩේ හිදී සංගීත් නිපුන් විභාගය විශිෂ්ටතම අන්දමින් සමත්වී පසුගියදා සරසවියට පැමිණියේ ඒ පිළිබඳ තොරතුරු ද සමඟය.

"සංගීත් නිපුන් විභාගය සම්පූර්ණ කිරීමට වසර 3 ක් ගතවෙනවා. මේක ඉතාම අසීරු විභාගයක්. අවම වශයෙන් දවසකට පැය හතරක්වත් අඛණ්ඩ පුහුණුවීම් අනිවාර්යයි." භාරතයේ සංගීතය හැදෑරීම පිළිබඳ සිය අත්දැකීම් සරසවිය පාඨක ඔබ වෙනුවෙන් ගයා එලෙස අප සමඟ පැවසුවාය.

තමා උගත් ශිල්පය දැයේ දරුවනට දායාද කරන්නට මේ වන විට කටයුතු කරගෙන යන ඇය සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා විශාරද දක්වා සංගීතය හැදෑරීමට ශාලිකාවක් පවත්වාගෙන යන අතර ටෙලි නාට්‍ය හා වෙළඳ දැන්වීම් සඳහා ද පසුබිම් සංගීතය නිර්මාණයෙන් දායක වී සිටියි.

නැවත රංගනයට ද අවතීර්ණ වීමට අපේක්ෂාවෙන් සිටින ඇය ඉදිරියේ හොඳ නිර්මාණ සඳහා පමණක් දායක වීම සිය බලාපොරොත්තුව බව සඳහන් කළාය. එහිදී සංගීතය හා සම්බන්ධ චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමට ආශාවෙන් සිටින බවද ගයා වැඩිදුරටත් සඳහන් කළාය.

ඇයගේ ඉදිරි ගමනට සරසවිය සුබ ප්‍රාර්ථනා අපි මෙලෙස එක්කරන්නෙමු.