වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘රේඛාව’ සංගීතයට මුලින්ම තෝරා ගත්තේ අමරදේවද?

වල්පොල රංජනී අමරසිංහ
ප්‍රශ්නය- අසහාය ගායක එච්. ආර්. ජෝතිපාල මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
'සුදු සඳේ කළු වලා'. ඒත් ඊට ඉහත ඔහු 'දස්කම' චිත්‍රපටයේ සුළු ගීතමය ජවනිකාවකට පෙනී සිටියා.

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමආරච්චි
ප්‍රශ්නය - 'රේඛාව' චිත්‍රපටයේ සංගීතය සඳහා මුලින්ම තෝර ගත්තේ අමරදේව යැයි කියන්නේ ඇත්තද?
පිළිතුර -
සුනිල් සාන්ත මෙහි සංගීතය සැපයීම ප්‍රතික්ෂේප කළාට පස්සේ ඊට සුදුසු දෙදෙනෙක් නම් කළා. එක් කෙනෙක් අමරදේව. ඒත් ඔහු ඒ වන විට සංගීතය හදාරන්ට භාත්ඛණ්ඩයට ගිහින්. ඊළඟට යෝජනා කළේ පී. එල්. ඒ. සෝමපාලව. ඔහු හිටියෙත් ඉන්දියාවේ. එහි 'වාහිනි' චිත්‍රාගාරයේ සිංහල චිත්‍රපටයක සංගීතය පටිගත කිරීමක් වෙනුවෙන්.

පාදුක්ක බටවල ආරියදාස පින්දෙණිය
ප්‍රශ්නය - ලැඩී රණසිංහ රඟපෑවේ 'සූරයා' චිත්‍රපටයේ ද නැත්නම් 'දුප්පතාගේ දුක' චිත්‍රපටයේද?
පිළිතුර -
ඒ චිත්‍රපට දෙකේම රඟපෑවා.

මුංහේනේ එච්. ඉන්ද්‍රපාල
ප්‍රශ්නය - ගායක ප්‍රියනාත් රත්නායක, වික්ටර් රත්නාකයන්ගේ පුතෙක්ද?
පිළිතුර-
අනේ නැහැ.

මහනුවර තැන්නකුඹුරේ ලීනා ද සිල්වා
ප්‍රශ්නය - ජීවරාණි, ක්ලැරිස්, ලීනා ද සිල්වා, කාන්ති ගුණතුංග, අනුලා වැනි නිළියන්ට දැන්වත් උපහාර පුදමු?
පිළිතුර -
කවුද පුදන්නේ? චිත්‍රපට සංස්ථාවද? 'සිනෙස්ටාර්' පදනමද? ඒ වගේ දෙයක් කරන්න අද නළු නිළි සංගමයක්වත් නැහැනේ ලීනා.

අලව්ව ඉඹුල්්ගොඩ අබේසිංහ
ප්‍රශ්නය - ටී. ඇම්. ජයරත්න ගයන 'අම්මා සඳකි' පදමාලාව කාගේද?
පිළිතුර -
ටී. එම්. ගේ ආදරණීය බිරිඳ වන මාලිනී ජයරත්නගේ.

පස්යාල මීරිගම පාරේ ජගත් චන්ද්‍රසිරි, පූජා ජගත්සිරි
ප්‍රශ්නය - ප්‍රකට කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන දැන් කෝ? ඔහුගේ ලිපිනය සඳහන් කරන්න.
පිළිතුර -
220, කුඹල්ඔළුව, වේයන්ගොඩ.

පිළියන්දල ගාමිණී මහබාලගේ
ප්‍රශ්නය - මිලී කහඳවල නිළිය ගැන යමක් කියන්න. ඇගේ උපන් ගම කොහේද?
පිළිතුර -
උපන් ගම නාරාහේන්පිට. ඇය කැලෑ හඳ, රදල පිළිරුව, දුප්පතාගේ දුක, පුරුෂ රත්නය, සිරියලතා, කුරුලුබැද්ද වැනි චිත්‍රපටවල රඟපෑවා.

කැලණිය දළුගම චන්ද්‍රකාන්ති පියතුංග
ප්‍රශ්නය - හින්දි සිනමාවේ මහා නළු රාජ් කපූර් ගැන ලියැවුණු පොත් මොනවාද?
පිළිතුර -
රැසක් තිබෙනවා. බනී රූබන්, මහාචාර්ය විමල් දිසානායක ලියූ පොත් දෙක ඒ අතරින් විශේෂයි. මහාචාර්ය දිසානායකගේ පොත නම් සේනරත්න වීරසිංහ සිංහලට පරිවර්තනය කර තිබෙනවා.

කපුගොඩ මාළිඳ සරත් රණසිංහ
ප්‍රශ්නය - ග්‍රෙගරි පෙක් රඟපෑ චිත්‍රපට මොනවාද?
පිළිතුර -
ස්නෝ ඔෆ් කිලමන්ජාරෝ, කේප් ෆියර්, මොබිඩික්, ද ගන් ෆයිටර්, අමෙයින් ග්‍රේස්, ගන්ස් ඔෆ් නව්රොන්ග්.

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්‍රශ්නය - 'ප්‍රීතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන්' ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
'සරදම්'
මේ අයත් ප්‍රශ්න ආසා තිබුණා. වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, ගඩලාදෙණිය යූ. ජී. පාලිත කුමාරසිංහ, කෑගල්ලේ එස්. එල්. වික්‍රමසිංහ, හෝමාගම ඇම්. ජී. ධර්මදාස, ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක, ජාඇල කලඑළියේ සරත් සේනාධීර, අලව්ව ඉඹුල්ගොඩ අබේසිංහ, ශ්‍රියානි ජයසිංහ.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න