වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




අනුර මාධවගේ ග්‍රන්ථය දොරට වැඩියදා

අනුර මාධවගේ ග්‍රන්ථය දොරට වැඩියදා

සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර විසින් රචනා කරන ලද රූපවාහිනියට තිස් පහයි, ගුවන් විදුලියට අනූ එකයි රුපියල් සත කලාවයි ග්‍රන්ථය ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතාට පිළිගැන් වූ අයුරුයි මේ.


නිදහස් චත්‍රරශ්‍රයේ 29 දා ගයමු

සහන් රන්වල ප්‍රමුඛ රන්වල මතු පරපුර විසින් ලෝක නර්ථන දිනය වෙනුවෙන් සංවිධානය කළ රන්වල බලකාය සමඟ 'ගයමු' ප්‍රසංගය මෙම මස 29 වැනිදා සවස නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි පැවැත්වේ. එහිදී රාජ්‍ය නර්ථන කණ්ඩායම මඟින් විශේෂ නර්තන අංග කිහිපයක් ද ඉදිරිපත් කරනු ලබයි. 'ගයමු' ප්‍රසංගය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුල මහත්මියගේ ආරාධනයෙන් සහන් රන්වල ප්‍රමුඛ රන්වල මතු පරපුර නොමිලයේ ඉදිරිපත් කරයි.


කන්ඩයි ආවේ, කාලයි යන්නේ 29 දා වේදිකාවේ

දෙවොල් යකෙක්, අලි මදිවට කෙටි, යකා මලා ආදී නාට්‍ය රැසක් වේදිකාවට දායාද කළ එස්. විජේසිංහගේ නවතම නාට්‍ය නිර්මාණය 'කන්ඩයි ආවේ කාලයි යන්නේ' මේ මස 29 වැනිදා සවස 3.30 ට හා 6.45 කොළඹ ලුම්බිණි රඟහලේදී වේදිකා ගත කෙරේ.

සුසිලා කෝට්ටගේ, දයානන්ද හේවගේ, ජයතිලක හේරත්, චින්තක පතිරණ, සුනෙත් මැල්සිරිපුර, මමෝ ප්‍රසන්න, රෝහිත රුවන්, සංසිකා චාමරි, රංගන නයනජිත් මේ සඳහා රංගනයෙන් දායක වෙති.

ෂෙල්ටන් මිහිඳුකුල සංගීතයෙන් ද, ළහිරු මුතුමාල හා ප්‍රියංකා ගමගේ ගායනයෙන් ද, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද සංජීව වෑත්තෑව, අජිත් බෝගොඩ ඉදිරිපත් කිරීමෙන් ද එක් වෙති.

රාජ්‍ය සම්මානලාභී කලාභූෂණ එස්. විජේසිංහයන් තම නවතම නාට්‍ය ගැන සරසවිය හා කතාබස් කරමින් මම මේ නාට්‍ය නිර්මාණය කළේ පවුලේ සැමට එකට ඉඳන් නැරැඹිය හැකි ආදර්ශමත් නාට්‍යයක් ලෙසයි. අද වන විට ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ යාම නිසා නාට්‍ය නරඹන්න ප්‍රේක්ෂකයන් රංග ශාලාවලින් ඈත්වන්නට පටන් අරන්. නාට්‍ය මුදලාලිගේ ග්‍රහණයට නතු වීම නිසාවෙන් අද වන විට සැබෑ නාට්‍යකරුවාට තම නාට්‍ය නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ගෙන යාමට ලොකු සටනක් කරන්න සිදු වෙලා. නාට්‍ය ශාලා ගාස්තු අධිකවීම, පොස්ටර් ගසන්න ප්‍රමාණවත් ඉඩකඩ මදිවීම ආදී නොයෙක් ප්‍රශ්නවලට වර්තමාන නාට්‍යකරුවාට මුහුණපාන්න වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ නාට්‍යයක් කරලා දර්ශන වාර කිහිපයක් හෝ දුවා ගැනීමත් අද තියෙන ලොකු ප්‍රශ්නයක්. මේ වාතාවරණය තුළ අපි නාට්‍යයක් කරලා ප්‍රේක්ෂකයාට යමක් දෙන්නේ නිර්මාණය නරඹලා එයින් යමක් තමන්ගේ ජීවිතයට එක් කරගන්නයි.