වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට නොබලන අපූරු නළුවෙක් - කිත්සිරි පෙරේරා

අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන අලුත් ලිපි පෙලක්

චිත්‍රපට නොබලන අපූරු නළුවෙක් - කිත්සිරි පෙරේරා

'මම දැන් චිත්‍රපට ගැන කතා කරන්න කැමති නෑ. මම දැන් ආගමික ජීවිතයක් ගත කරන්නේ. අනික අසනීපයෙන් මගේ දුව චාලනිගේ නුගේගොඩ පාගොඩ ගෙදර ඉන්නේ. දුවයි. බිරිඳයි මාව ඇස් දෙක වගේ බලාගන්නේ' කිත්සිරි පෙරේරා කිවේය.

කිත්සිරි පෙරේරා යනු හැටේ දසකයේ වඩාත් කැපී පෙනුණ ජනප්‍රිය නළුවෙකි. ඒ වන විට ජනප්‍රිය නළුවන්ව සිටියේ ගාමිණී ෆොන්සේකා. ආනන්ද ජයරත්න, රවින්ද්‍ර රූපසේන, බොනිෆස් ප්‍රනාන්දු, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ ආදීන්ය. එහෙත් 1962 හා 1963 වසරවල කිත්සිරිට ප්‍රධාන චරිත දෙකක් රඟපෑමට අවස්ථාව උදා විය. ඉන් පළමු අවස්ථාව එළඹුණේ අසහාය චිත්‍රපට නිළි රුක්මණී දේවි සමඟ 'දස්කොන්' චිත්‍රපටයේ දස්කොන් අදිකාරම් ලෙස ප්‍රධාන චරිතය රඟපෑමටය. මේ චිත්‍රපටය 1962 මාර්තු 07 තිරගත විය. මේ චිත්‍රපටයේ කිත්සිරි වෙනුවෙන් පසුබිම් ගීත ගැයුවේ සිසිර සේනාරත්නය. ප්‍රමිලා බිසව ලෙස රඟපෑ රුක්මණී දේවි ඇය වෙනුවෙන්ම ගීත ගැයුවාය. රුක්මණී හා සිසිර ගැයූ ඒ ගීත එදා ජනප්‍රිය යුග ගී දෙකකි මේ.

සොම්නස පෙම් රස එකතු වුණා
ඔබ සතු මගෙ හද ඔකඳ වුණා'
'කෝකිල දේවි කවි මධු භාෂිණි
කෝමල රුචිරාණි
මින් පසු කෝම ගයන්නද
ආදර කවි අමපානී
අයියෝ ගී කවි අමපානි'

'මුල්වරට රුක්මණී දේවි නම් විශිෂ්ට නිළිය සමග පෙම් ජවනිකා රඟපාන විට මම බයටත් ලැජජාවටත් පත් වුණා. මේ උතුම් කාන්තාව මට දුන් උපදේශ නොවේ නම් මම එම චරිතයෙන් අයින් වෙනවා.'

'කිත්සිරි ඔයා දස්කොන් මහා අදිකාරම්. ප්‍රතාපවත් චරිතයක්. නැත්නම් මහ රජුගේ බිරිඳට ආදරය කරයිද? මේ චිත්‍රපටයේ මම 'ඩේසි අක්කා' නෙවෙයි, ප්‍රමිලා දේවිය. භය නැතිව රඟපාන්න' යයි රුක්මණී දේවි නම් ඒ උතුම් කාන්තාව මට දුන් ධෛර්යය මට කිසිදා අමතක වන්නේ නෑ' කිත්සිරි මට මීට වසර පහළොවකට පමණ පෙර කීවේය.

1929 අප්‍රේල් 14 වෙනිදා කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි කොස්ගස් හන්දියේ උපත ලැබූ හල්ඉන්න ලොකුගේ කිත්සිරි පෙරේරා හත් දෙනෙකුගෙන් යුත් පවුලක තුන් වෙනියා විය. ඒ කොස්ගස් හන්දියේ ශාන්ත ජෝසෆ් වීදිය ආරම්භ වන තැන නිවසේය. එදා එම නිවස අසළ රික්ෂෝ මඩුවක් ද තිබී ඇත. අද එතැන විශාල නිවාස සංකීර්ණයකි.

'මගේ තාත්තාගේ නම අබේසේන පෙරේරා. අපේ ගෙදරට යාබද නිවසේ (ග්‍රෑන්ඩ්පාස් තැපැල් කන්තෝරුව ඉදිරිපිට) ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ මහ ගෙදර. තාත්තාත්, ඇන්. ඇම්.පෙරේරා මහත්තයත් යාළුවෝ. කොස්ගස් හන්දියේ අදත් තිබෙන සිරිසල හෝටලයේ අයිති මුහන්දිරම් නානායක්කාර මගේ තාත්තගේ ඥාතියෙක්. අපේ ගෙදරට යාබදවයි මහා නාට්‍ය කතුවර නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ නිවාසයත් තිබුණේ. එතුමා මිය ගියාට පස්සේ ඒ විශාල නිවස මඟුල් ගෙවල් සඳහා කලියට දුන්නා'. කිත්සිරි මේ තොරතුරු මට කියා ඇත්තේ මගේ නිවසත් ඒ අවට තිබූ නිසාය. කිත්සිරිගේ පියාත් මගේ පියාත් මිතුරන්ය.

කිත්සිරි පෙරේරා අධ්‍යාපනය ලැබුවේ කොටහේනේ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේය. ඔහු කුඩා කල සිටම කලාවට ආදරය කළේය. කොස්ගස් හන්දිය අසල පදිංචිව සිටි පසුව කලා ක්ෂේත්‍රයට එක් වූ මිත්‍ර පිරිසක් කිත්සිරිට සිටියේය. ප්‍රේම් ජයන්ත්, ධර්ම ශ්‍රී රණතුංග, ශාන්ති අබේසේකර, ගුණතුංග කේ. ලියනගේ, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ආනන්ද වීරකෝන් මේ පිරිස අතර කැපී පෙනුණි.

කිත්සිරි ගැන මතක් කරමින් ඔහු සොහොයුරු ජිනදාස පෙරේරා මෙසේ කීය. (සෙලිනාගේ වලව්ව, සිංහබාහු, ජෝඩු වළලු ඇතුළු චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂ හා අල්ලපු ගෙදර, මනාපේ, පිස්සු පූසෝ නාට්‍ය නිෂ්පාදක).

'මගේ වැඩිමහල් අයියා කිත්සිරි. තරුණ කාලේ අයියා ලස්සන කඩවසම් තරුණයා. අයියා මුලදී නැටුම් කලාවට සම්බන්ධ වුණා. අපේ අම්මගේ මල්ලි ගංගනාථ ඒ කාලයේ දක්ෂ නර්තන ශිල්පියෙක්. ලංකාවට නිදහස ලැබුණු දා පැවැත් වූ 'පැජනට් ඔෆ් ලංකා' ප්‍රසංගයේ ගංගනාත්, චිත්‍රසේන කණ්ඩායම සමඟ කිත්සිරි අයියා නර්තනයේ යෙදුණා. මාමා කතකලි නර්තන ශිල්පියෙක්. චිත්‍රසේනගේ ළඟම ඥතියෙක්. අපේ සීයා (අම්මගේ තාත්තා)ගේ නම ජී. ඩී. ජෝන්. ලංකාවේ ප්‍රථම ඡායාරූප ශාලාව කොල්ලුපිටියේ ආරම්භ කළ පුරෝගාමියා. 'ජෝන් ඇන්ඩ් කම්පැනි - ඡායාරූප ශාලාව' සීයාගේ. ඒ කාලේ පුරෝගාමි ඡායාරූප ශාලාවක් මුලින්ම පටන් ගත් විදේශිකයා 'ස්ලාටේ'. ඒක තාමත් කොල්ලුපිටියේ තියෙනවා.'

කිත්සිරි මෙන්ම සොහොයුරු ජිනදාසට ද සිනමාවට සම්බන්ධකම් ඇත. මගේ බිරිඳගේ (ඩොරින් පෙරේරා වික්‍රමසිංහ) පියා වන ඩබ්ලිව්. දොන් එඩ්වඩ්. තිරගත වූ (1936) ප්‍රථම ලාංකේය නිහඬ චිත්‍රපටය වූ 'පලිගැනීම' චිත්‍රපටයේ කැමරාව මෙහෙයවා අධ්‍යක්ෂණය කළ දේශීය සිනමාවේ පුරෝගාමියාය. ඔහුගේ පියා වූ දොන් ජේම්ස් ද විදේශිකයන් මවිත කළ වයලින් වාදකයෙකි. ඩබ්ලිව්. දොන් එඩ්වඩ් නළුවකු ලෙස 'අසෝකමාලා' චිත්‍රපටයේ අසෝකමාලාගේ පියා ලෙස ද රඟපෑ අතර 'බණ්ඩා නගරයට පැමිණීම' චිත්‍රපටයේ ද රඟපා වයස අවුරුදු 51 ආයු වළඳා 1952 දී මිය ගොස් ඇත.

කිත්සිරි පෙරේරාගේ මිතුරෙකු වූ උපාලි වනසිංහ හාපුරා කියා අධ්‍යක්ෂණය කළ 'දස්කොන්' වේදිකා නාට්‍යය ඇසුරෙන් තැනූ 'දස්කොන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමේ අවස්ථාව ලැබිණ. ඔහු ගේ දෙවන චිත්‍රපටය (1963) තිරගත වූ කිංස්ලි රාජපක්ෂගේ 'දීපශිඛා'ය. එහි ඔහු ජිවරාණි කුරුකුලසූරිය හා සන්ධ්‍යා කුමාරිගේ ප්‍රේමයට මැදි වූ පෙම්වතා විය. ඒ චිත්‍රපටයේ ඔහු ගයමින් රඟපෑ යුග ගීත දෙක අතිශයින්ම ජනප්‍රිය විය.

'ප්‍රේමේ දීපශිඛා හෝ කාන්ති කාන්ති නඟා
දැල්වේවි රඟා - ආලෝකේ විදහා'
'මේ මෝසම් මඳ සුළඟ හමා
පවසා යන්නේ මේක තමා
ඔබ මගේ මා ඔබෙ ප්‍රාණෙ සේ
නැහැ වෙන් වන්නේ අප දෙදෙනා'

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'දොලාවක් අතර' (1966) චිත්‍රපටයේ ඔහු බේබද්දෙකි. 'කිංකිණි පාද' (1967) චිත්‍රපටයේ සංචාරක රථ පදවන්නා ලෙස ද 'රන්සළු' චිත්‍රපටයේ (1967) අනුලා කරුණාතිලක සොහොයුරා ලෙස ද රඟපෑ කිත්සිරි පිපෙන කුමුදු (1967), නාරිලතා (1969) හා 'පාරාවළලු' (1969), වැලිකතර (1971), ආයාචනා (1982) චිත්‍රපටවල ද රඟපෑවේය. නාරිලතා චිත්‍රපටයේ ඔහු ටෝනි හා ජෝගේ මිතුරු දුම්රිය නිලධාරියෙකි. පාරාවළලු චිත්‍රපටයේ ඔහු රුක්මණී දේවියගේ බෑණාය. වැලිකතරේ පොලිස් නිලධාරියෙකි. ආයාචනා චිත්‍රපටයෙන් පසු ඔහු රඟපෑවේ නැත.

කිත්සිරි පෙරේරා ප්‍රතිපත්ති ගරුක නළුවෙකි. ඔහු මත්පැන් හෝ දුම්වැටි බීමෙන් තොරව ධාර්මික ජීවිතයක් ගත කළ අතර අභිධර්මය ගැඹුරින් හදාරා ඇත. බුදු දහමට අනුව අල්ප සැහැල්ලු ධාර්මික ජිවිතයක් ගත කළ කිත්සිරි ජිවිතයේ අනිත්‍යතාව තේරුම් ගත්තේය. තමා රඟපෑ බොළඳ පෙම්වතාගේ චරිත ගැන ඔහු දැන් සිතන්නේ බහුරූ කෝලම් ලෙසය. සමාජ සේවයට කැප වූ හෙතෙම මීට වසර 30 ක කාලයක් තිස්සේ ආරෝග්‍ය ශාලාවල අසරණව සිට ගිලනුන්ට උපස්ථාන කළේය. නිස්සාරත්වය, අත් හැරීම ගැන ඔහු කතා කිරීමට පටන් ගත් අතර බෞද්ධ පොතපත කියෙව්වේය. නැති බැරි අයට ඔහු ඇති හැකි පමණින් උදව් කිරීමෙන් සතුට ළං කරගෙන ප්‍රසිද්ධියෙන් තොරව ජීවත් වෙයි.

කිත්සිරි කලවට පිවිසෙන්නේ චිත්‍රසේනයන්ගේ 'නල දමයන්ති' මුද්‍රා නාට්‍යයේ භීම රජුගේ චරිතය රඟපෑමෙනි. ඔහු තාගෝර් සංගමයේ සාමාජිකයකු ලෙස රවීන්ද්‍ර සංගීතය ඉතා මිහිරි ලෙස ගායනා කළ දක්ෂ ගායකයෙකි. එසේම දක්ෂ සිතාර් වාදකයෙකි. ඔහු ගුරුවරයා සංගීතඥ සෝමදාස ඇල්විටිගලය. ඔහුට මුලින්ම නළු වරම ලැබුණේ කරුණාරත්න අබේසේකර සහ බර්ට්‍රම ප්‍රනාන්දුගේ මඟ පෙන්වීමෙන් 'දස්කම' චිත්‍රපටයේය. එය ඔහු මඟ හැරියේ දුම්බොන චරිතයක් නිසාය. 'දස්කොන්' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමේදී ඔහු දෙබස් උච්චාරණය කර ඇත්තේ ඉංග්‍රීසි ඌරුවටය. එයට හේතුව කොටහේනේ සාන්ත බෙනඩික් විද්‍යාලයේ ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනීම නිසාය. ප්‍රේමසිරිි කේමදාසගේ 'කැලෑමල්' ගීත නාට්‍යයට ජෝ අබේවික්‍රම, ධර්ම ශ්‍රී රණතුංග, ලතා දිසානායක හා කිත්සිරි තෝරාගෙන තිබුණත් ඔහුට එය මඟ හැරුණේ දිපශිඛා චිත්‍රපටයේ රඟපෑම නිසාය.

චිත්‍රපට නළුවකු වුව ද කිසිදා සිනමා ශාලාවකට ගොස් චිත්‍රපට නොබැලූ මේ අපූරු නළුවා ගැන අපූරු තොරතුරු සරසවිය 2011 වසරේ චම්පිකා දීපානි රණසිංහ ලියා තිබුණි. ඒ තොරතුරු අනුව සිනමා ශාලාවට ගොස් චිත්‍රපට නැරැඹුවේ නැතිලු. බැලූ එකම අවස්ථාව 'ගුරු' නම් මනි රත්නම්ගේ චිත්‍රපටය විය. ඔහු රූපවාහිනිය ද බලන්නේ නැතිලු.

'පාරාවළලු' චිත්‍රපටයේ රඟපාන කාලයේ ගල්කිස්සේ හෝටල් පාරේ නිවැසි ශ්‍රියානි රම්‍යා පෙරේරා පිළිබඳ සිත් ඇතිව ඇය විවාහ කරගත් කිත්සිරි ශ්‍රියානි යුවළට එක පුතෙකු (චන්න පෙරේරා ඕස්ට්‍රේලියාවේ බැංකුවක සේවය කරයි) හා දියණියන් දෙදෙනකු චාලනී හා අචලා) සිටිති. කිත්සිරි යුවළ දෙහිවල මිහිඳු මාවත පදිංචිව සිටි අතර මේ දිනවල වෙසෙන්නේ චාලනී දියණිය සමඟය.