වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ කැමැත්ත ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න

මගේ කැමැත්ත ඇක්ෂන් හීරෝ කෙනෙක් වෙන්න

නිලංජනා සමඟ සිනමාවට එන අලුත් පෙම්වතා කැලුම් ආර්යන් කුලරත්න

ලංකාවේ දොස්තරවරුන් කිව්වේ මේ අසනීපයෙන් සනීපවීමට නම් ඔපරේෂන් එකක් කළ යුතු බවයි. ඔපරේෂන් එකට දින කිහිපයකට කලින් හදිසියේ ම ලන්ඩන්වල ඉඳලා පැමිණි වෛද්‍යවරයකුට තාත්තා මාව පෙන්නුවා. ඔහු පැවසුවේ මට හැදිලා තිබෙන්නේ ලක්ෂ ගණනකින් කෙනෙකුට වැලඳෙන රෝගයක් බවයි. අවුරුදු දෙකකදි මේ රෝග තත්ත්වය සුව වන බවත් ඔහු පැවසුවා. ඒ අනුව ඉන් වසර දෙකකට පසුව මගේ අසනීපය සම්පූර්ණයෙන් ම සුව වුණා. ඉන් පසුවයි මා මොඩ්ල් කෙනෙකු බවට පත්වුණේ.

දැන් තිරගත වන ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ ‘නිලංජනා’ චිත්‍රපටය මේ දිනවල ර්ර්‍ථධ් මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වෙයි. ආදරය තේමා කර ගනිමින් නිර්මාණය වූ ‘නිලංජනා’ හි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සිනමාවට නැවුම් මුහුණකි. හේ කැලුම් ආර්යන් කුලරත්න ය. සිනමා නළුවකු වීමේ සිහිනයෙන් පෙළෙන ඔහු සිය ජීවිතය ගෙනහැර පෑවේ මෙසේයි.

ඔබ ‘නිලංජනා’ චිත්‍රපටයට රංගනයෙන් සහභාගි වන්නේ කුමන ආකාරයෙන් ද?

‘නිලංජනා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ නාලක විතානගේ මට මුලින් ම මුණ ගැසෙන්නේ ඔහුගේ ‘රූපාන්තරණය’ චිත්‍රපටය හරහායි. එහිදි මට ඔහු හමුවන විට ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට නළු නිළියන් තෝරාගෙන අවසන්. එහෙත් එහි තිබුණු සුරන්ගේ චරිතයට ඔහු මාව තෝරා ගත්තා. ඒ අවස්ථාවේදී නාලක විතානගේ ඔහුගේ ඊළඟ චිත්‍රපටයටත් සූදානම් වන අතරයි සිටියේ. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මාව තෝරා ගන්න බවත් ඔහු පැවසුවා. ඒ විදියටයි මා ‘නිලංජනා’ චිත්‍රපටයේ යොමාල් චරිතයට පණ පොවන්නේ.

ඔබගේ නිවෙසේ පසුබිමත් කලා පසුබිමක් ද?

මගේ ගම කුරුණෑගලයි. අපේ තාත්තා නිමල් කුලරත්නයි. ඔහු චිත්‍රපට ප්‍රදර්ශකයෙක්. ඒ කියන්නේ ර්ර්‍ථධ් මණ්ඩලයේ අධ්‍යක්ෂ කෙනෙක්. බොහොම ඉස්සර ඉඳලා ම ඔහු චිත්‍රපටවලට ආදරය කළ කෙනෙක්. ඒ කොයිතරම් ද කිව්වොත් අපට සිනමා ශාලා කිහිපයක් ම තිබුණා. එකක් තිබුණේ අප පදිංචිව සිටි කුරුණෑගල ප්‍රදේශයේයි. එය හිරිපිටිය වාසනා කියන නමිනුයි හැඳීනුවේ. අනෙක් සිනමා ශාලා කඩවත, හිඟුරක්ගොඩ, හම්බන්තොට ප්‍රදේශවලයි පිහිටලා තිබෙන්නේ. ඒ කාලයේ කලා ක්ෂේත්‍රයේ බොහෝ නළු නිළියෝ අපේ නිවෙසට ආවා. ගියා. අධ්‍යක්ෂවරුන් වුණත් ඔහුගේ හොඳ යහළුවෝ. ඒත් ඒ කාලයේ මට නළුවෙක් වෙන්න වුවමනා වුණේ නැහැ.

පාසල් යන කාලයේදිවත් ඒ වගේ අදහසක් ඇති වුණේ නැද්ද?

මා පාසල් ගියේ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ. නිවෙසේ තිබුණු කලා පරිසරයත් එක්ක මා කුඩා කාලයේ පටන්මයි චිත්‍රපට නැරැඹීමට පුරුදු වුණේ. විශේෂයෙන් ම ෆයිට් තිබෙන චිත්‍රපටවලටයි මා බොහොම කැමැත්තක් දැක්වූයේ. බොලිවුඩ්, හොලිවුඩ් වගේ ම සිංහල චිත්‍රපට රැසක් මා ඒ කාලයේ නැරැඹුවා. එකල මා ‘පෙරැළිකාරයෝ’ චිත්‍රපටයට බොහොම කැමැතියි. විජය කුමාරතුංග, ගාමිණි ෆොන්සේකා වගේ නළුවන්ට මා බොහොම කැමැතියි. රඟපෑමේ අදහසක් මගේ සිතේ ඇති වුණා නම් ඇති වුණේ හින්දි චිත්‍රපට නැරැඹීම නිසයි. ඒත් ඒ ඒලෙවල් කළාටත් පස්සේයි මට ඒ අදහස ඇති වන්නේ.

නළුවකු වීමේ ඒ අදහස ඇතිවුණාට පස්සේ ඔබ මොක ද කළේ?

මා මුලින් ම සම්බන්ධ වන්නේ නිරූපණ ක්ෂේත්‍රයටයි. මේ කාලයේදි රඟපෑමට තිබුණු ආසාව නිසා ම මා සල්මන් ඛාන් වගේ ඇඟ හදා ගත්තා. නළුවකු විය යුතුය කියලා සිතුණාට පස්සේ ඊට අවශ්‍ය විදියට මගේ පරිසරය නිර්මාණය කර ගත්තා. නර්තනය හැදෑරුවා. මාෂල් ආට් නම් මා කළේ කුඩා කාලයේ පටන්මයි.

ඔබ පවුලේ එක ම ළමය නිසා කලා ක්ෂේත්‍රයට පිවිසීම ගැන ඔබගේ මව්පියන් කැමැත්තක් දැක්වූවා ද?

ඔවුන් මගේ කැමැත්තට මුල්තැන දුන්නා. මා අධ්‍යාපන කටයුතුවලට වඩා දක්ෂතා දැක්වූයේ ක්‍රීඩාවලටයි. ඉගෙනීම ගැන මට ඒ තරම්ම කැමැත්තක් ඇතිවුණේ නැහැ.

ඒ ඇයි?

හදිසියේ ම මගේ කකුලේ යම් ආබාධ තත්ත්වයක් ආවා. බොහෝදෙනා මට තිබෙන්නේ පෝලියෝ කියලයි පැවසුවේ. බොහොම කෙළිදෙලෙන් ගෙවූ ජීවිතය වෙනස් ම ස්වරූපයක් ගත්තා. පාසලේ සියලු ම ළමයි මට විහිළු කරන්න ගත්තා. පාසලේ දක්ෂ දරුවකු විදියට කටයුතු කළ මට මේ කාරණා නිසා අධ්‍යාපන කටයුතු එපා වුණා. ඇත්තම කිව්වොත් මේ නිසා මා පාසල් පවා ගියේ නැහැ.

එහෙම නම් ඔබ නළුවකු වුණේ කොහොම ද?

ලංකාවේ දොස්තරවරුන් කිව්වේ මේ අසනීපයෙන් සනීපවීමට නම් ඔපරේෂන් එකක් කළ යුතු බවයි. ඔපරේෂන් එකට දින කිහිපයකට කලින් හදිසියේ ම ලන්ඩන්වල ඉඳලා පැමිණි වෛද්‍යවරයකුට තාත්තා මාව පෙන්නුවා. ඔහු පැවසුවේ මට හැදිලා තිබෙන්නේ ලක්ෂ ගණනකින් කෙනෙකුට වැලඳෙන රෝගයක් බවයි. අවුරුදු දෙකකදි මේ රෝග තත්ත්වය සුව වන බවත් ඔහු පැවසුවා. ඒ අනුව ඉන් වසර දෙකකට පසුව මගේ අසනීපය සම්පූර්ණයෙන් ම සුව වුණා. ඉන් පසුවයි මා මොඩ්ල් කෙනෙකු බවට පත්වුණේ.

ඉන්පසුව නිරූපණ ශිල්පියකු විදියට ඔබ සාර්ථකත්වයට පත්වෙනවා?

මුලින් ම මා ඉදිරිපත් වුණු මෑන් හන්ඩ් කියන පැජෙන්ඩා එකෙන් ජයග්‍රාහකයා බවට පත්වන මට විවිධ ජාත්‍යන්තර තරග කිහිපයකට ම සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා. ඒ මඟින් නිරූපණ ක්ෂේත්‍රයේ යම් ස්ථානයකට පැමිණීමට මට හැකි වෙනවා. ඒ අතරදියි මා ‘රූපාන්තරණය’ චිත්‍රපටයට සම්බන්ධ වන්නේ.

‘නිලංජනා’ ඔබ රඟපෑ ප්‍රධාන චරිතය රැගත් චිත්‍රපටයක් වුණත් පළමුව තිරගත වන්නේ ඔබ රඟපෑ ‘රන්සයුර’ චිත්‍රපටයයි?

එහි මා රඟපාන්නේ ජගත් කියන මාළු අල්ලන තරුණයකුගේ චරිතයක්. පසුගිය දිනවල ඒ චිත්‍රපටය තිරගත වුණා. සිනමා ප්‍රේක්ෂකයන් මාව වඩාත් පළමුව හොඳීන් හඳුනා ගන්නේ ඒ චරිතය ඔස්සේයි.

‘නිලංජනා’ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේත් නිරූපණ ශිල්පියකුගේ චරිතයක් නේද?

ඔව්. ඒ චිත්‍රපටය නාලක විතානගේ නිර්මාණය කරන්නේ සත්‍ය කතාවක් ආශ්‍රයෙන්. මමයි ඔහුට මේ කතාව පවසන්නේ.

නිරූපණ ක්ෂේත්‍රයේ සිටි ඔබට රඟපෑම පහසු වුණා ද?

ඒ වනවිට මා රූපාන්තරණය චිත්‍රපටයෙත් රඟපාලා තිබුණ නිසාත්, වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටි නිසාත් චකිතයක් ඇති වුණේ නැහැ. ‘රූපාන්තරණය’ චිත්‍රපටයේදී මට මුලින් ම දෙබස් කියන්නට තිබුණේ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය සමඟයි. ඒ අවස්ථාවේ පළමු ටේක් එකෙන් ම මගේ දෙබස හරි ගියා. එතුමා මට ඒ පිළිබඳ ප්‍රශංසාත් කළා. ඒ නිසා ‘නිලංජනා’ චිත්‍රපටයේ රගපෑමට මට අපහසුවක් දැනුණේ නැහැ.

ඔබත් සමඟ රඟපාන ප්‍රධාන නිළිය හිමාලි සිරිවර්ධනගෙන් ලැබුණු සහයෝගය මොන වගේ ද?

අත්දැකීම් තිබෙන නිළියක් කියලා කිසිම විටෙක ඈ ක්ෂේත්‍රයට අලුත් මට ආඩම්බරයක් පෙන්නුවේ නැහැ. ඇගෙන් මගේ චරිතය රඟපෑමට සැලසුණේ පහසුවක්.

ඔබ මේ චරිතය හොඳට ම ඉදිරිපත් කරා කියලා සිතනව ද?

චිත්‍රපටය තිරගත වුණු මුල් දිනයේ ලැබුණු ප්‍රතිචාර නම් හොඳයි. ඒත් මා දන්නවා එහි තිබෙන්නේ මගේ උපරිම රංගනය නොවෙන බව. එහි බොහෝ අඩුපාඩු තිබෙනවා. ඒ සියලු දේ හදාගෙන රංගනයෙන් ඉදිරි ගමනක් යන්නයි මා බලාපොරොත්තු වන්නේ.

රංගනය වගේ ම ඔබට ගයන්නත් පුළුවන් ද?

‘නිලංජනා’ චිත්‍රපටයේ ‘තනි වී....’ මා ගීතය ගයන්නේ මමයි. ඒ ගීතය ලිව්වෙත් මමමයි. ඒ වගේ ම පිටපත් ලියන්නත් මට පුළුවන්. ඉදිරියේදී පිටපතක් ලියන්නත් මගේ අදහසක් තියෙනවා.

ඔබ රඟපාන්නේ සිනමාවේ පමණක් ද?

මගේ කැමැත්ත තිබෙන්නේ එහෙම තමයි. ඒත් අද එදා සිනමාවේ නළු නිළියන්ට තිබුණු ජනප්‍රියත්වය හදා ගන්න පහසු නැහැ. ඒ තත්ත්වය නිර්මාණය කර ගන්න නම් ටෙලි නාට්‍යවල රඟපෑමට සිදු වෙනවා. ඉදිරියේදී හොඳ ටෙලි නිර්මාණයක රඟපෑමට ආරාධනා ලැබුණොත් මා රඟපානවා. ඒ මොන දේ වුණත් මා ගොඩනැඟෙන්න කැමැත්තක් දක්වන්නේ සිනමා නළුවකු විදියටයි.

වෘත්තියෙන් රංගන ශිල්පියකු විදියට ගොඩනැඟෙන්නද උත්සාහ ගන්නේ?

මා නිරූපණ ශිල්පයට පෙර රැකියාවක් කළා. ඒ එයාර් ලංකා එකේ. රැකියාවත්, නිරූපණ ශිල්පයත් දෙක ම කරගෙන යන්නට නොහැකි වුණ නිසා ඉන් මා ඉවත් වුණා. ඉදිරියේදී නිරූපණ ශිල්පියකු විදියට හා රංගන ශිල්පියකු විදියට කටයුතු කරගෙන යන්න මා කැමැතියි. විශේෂයෙන් ම ඇක්ෂන් හීරෝ කනෙකු වෙන්නයි මා කැමැත්තක් දක්වන්නේ. ඒ ගමන් ම ව්‍යාපාර කටයුතු කරගෙන යන්නයි මා අදහස් කරගෙන සිටින්නේ.

මේ වනවිට ඔබ ප්‍රේමවන්තයකු ද?

මේ වනවිට කිහිපදෙනෙකුට ම මා ආදරය කරලා තිබෙනවා. ඒ සියල්ලන් ම මට බොරු කළා. ආදරය කියන එක ගැන මේ නිසා මම තීරණය කරලා තිබුණේ දුප්පත් වැදගත් කෙල්ලෙකුට ආදරය කරනවා යන්නයි. එවැනි ආදරයක් මට මේ වනවිට මුණ ගැසිලයි තිබෙන්නේ. ඈ ගුවන් සේවිකාවක්.