වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වික්‍රම සහ ගෝරිං ගැන යළි කියවීමක්

වික්‍රම සහ ගෝරිං ගැන යළි කියවීමක්

පෙනෙන පෙනෙන හැම තැනම කර වටක් ගිලෙන වැලි කතරය.එහි මහා මෙහෙයුමක් කර ඇති ආකාරයයි.එහෙත් උසස් පොලිස් නිලධාරියා තුළින් දැක ගත හැක්කේ ජයග්‍රාහී විලාසයක් නොවෙයි.ඔහු සිය පහළ නිළධාරියකුට අණ කරනුයේ සෙසු රථ රැගෙන යන ලෙසය.ඔවුන් සමග නොයන ඔහු යන්නේ රෝහලටය.ඒ කවරෙක් සඳහා දැයි අප දන්නේ නැත.

සිදුව ඇති මෙහෙයුම කවරක්ද අප වෙත දිග හරින්නට සිනමාකරු ගන්නේ ඊළඟ කාලයයි. එය මිනිසුන්ගේ සැඟවුණ ජීවිත රහස් පිළිබඳ බිහිසුණු කතිකාවකට මුලපුරයි.

සිංහල සිනමාවේ දිග හැරුණ වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම චිත්‍රපටයකැයි කියැවෙන සිනමා නිර්මාණ අතළොස්සෙන් එකක් වන වැලිකතර දිග හැරෙනුයේ එහෙමය. එය ඩී.බී.නිහාල්සිංහයන්ගේ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටයයි. තිර රචනය කැමරාකරණය සංස්කරණය සහ රංගනය යන කාරණා සතරම එක් හුයක් ලෙස ගැට ගසන වැලිකතර තවත් නොබෝ දිනකින් යළි තිර ගත වනුයේ කඳුළක් සහ සතුටක් එක්වර දල්වමිනි.

සතුට වැලිකතර අනාගත පරපුර වෙනුවෙන් ඩිජිටල් තාක්ෂනය යටතේ සංරක්ෂණ වීමය. කඳුළ නම් ඒ සදහා මහත් කැපවීමක් කළ තම සිනමා කෘතිය අනාගත පරපුර උදෙසා සංරක්ෂනය කර දුන් සිනමාකරුවානන් නිහාල්සිංහයන් එයට පෙර අප අත හැර යෑමය. මෙයට වසරකට පෙර එතුමන් මුණ ගැසුණ හැම විටම වැලිකතර ආයෙත් බලමු යැයි බලාපොරොත්තු දැල්වූ එතුමන් අපට නොකියා යෑම ලෝක ස්වභාවයේ එක් කොටසකි. එහෙත් එලෙස රැක ගත් වැලිකතර නැරඹීමට පසුගියදාක අවස්ථාව උදාවූයේ ෆෝ ඉන් වන් නම් කලාකාමි සහෘද එකතුවක් නිසාවෙන්ය.

වැලිකතර මුල් වරට තිර ගතවූයේ 1971 වසරේ දීය. ඒ අනුව දැන් එයට අවුරුදු හතළිස් හයකි. මුල් අවස්ථාවේ එය නරඹන්නට වරම් නොලද මට එය මුල් වරට නරඹන්නට ලැබෙණුයේ 1983 වසරේ දීය. බොරැල්ලේ රිට්ස් සිනමා හලේ දී එවර මා දැක ගත්තේ වැලිකතර හොඳ පිටපතක් නම් නොවේ. පසුව 1987 වසරේ දී මරදාන එල්ෆින්ස්ටන් සිනමාහලේ දී ද 1999 වසරේ රීගල් සිනමා හලේ දී ද වැලිකතර දැක ගන්නට ලැබිණ. 1999 වසරේ දුටු පිටපත ඉතා හොඳ තත්වයක තිබුණ එකකි. එවර එය දැක ගන්නට ලැබුනේ ජෝ අබේවික්‍රම ප්‍රණාම උළෙලක් නිමිති කොට ගෙනය. එයින් පසු මෙවර ඩිජිටල් පිටපත නරඹන්නේ වැලිකතර සිව් වතාවක් නැරඹීමේ සතුටත් එක්කය.

මුල්ම සිංහල කථානාද චිත්‍රපටය බිහි වි වසර පනහ පිරුණේ 1997 වසෙර්ය.ඒ නිමිත්තෙන් එතෙක් තැණුනු හොඳම චිත්‍රපට දහය තෝරා ගැනීමට ජාතක චිත්‍රපට සංස්ථාව කටයුතු පිලියෙළ කළේය.ඒ විචාරක ඡන්දයෙනි.එයින් දස වැනි ස්ථානයට සම ලකුණු ලබා පත් වූයේ පරසතු මල් සහ වැලිකතර යන චිත්‍රපට යුගලයි.

වැලිකතර චිත්‍රපටය රූප ගැන්වීමේ දී සිදු වූ සිදුවීම් සරසවිය අතීත පිටු සොයා පුස්තකාල සොයද්දි කියවන්නට ලැබෙයි.එහි සිනමා විලාසය නිසාම වැලිකතර පුරාවෘත්තයක් කොට ගෙන ඇත්තේය.ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රම කරට කර රංගනයක් යෙදෙන වැලිකතර චිත්‍රපටයේ එන වේගවත් රූ ගැන්වීම් පසුකලක අප දුටු මෑඩ් මැක්ස් වැනි චිත්‍රපටයක එන රූ ගැන්වීම් සිහිපත් කරයි. එහි වඩාත්ම උද්වේගකර අවස්ථා සහිත ජවනිකා රූ ගන්වා ඇත්තේ යාපනයේ වැලි කතරක් පිරි මනල්කඩු පෙදෙසේය.සෙසු ජවනිකා සදහා ගාල්ල කොළඔ ඇතුළු පුදේශ යොදා ගත්තා ද වික්‍රම රන්දෙණිය සහ ගෝරිං අතර ඇති අරගලය හා ලුහු බැඳීම සිදුවනුයේ තල් ගස් වලින් පිරි උතුෙර්ය. වැලිකතර රූ ගැන්වීම පිලිබඳ බොහෝ තොරතුරු මා මුලින්ම දැන ගත්තේ එහි සහාය අධ්‍යක්ෂ ලෙස කටයතු කළ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතාගෙනි.කලක් ජාතික චිත්‍රපට සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස සේවය කළ රංජිත් නිව්ටන් ප්‍රනාන්දු මහතා වැලිකතරට සම්බන්ධව සිටියේ විශ්ව විද්‍යාල සිසුවකුව සිටියදීය.

මනල්කඩු පෙදෙස කර වටක් වැල්ලේ එරෙන තරම් දුෂ්කර පෙදෙසකි. එහි අව් රශ්මිය ඉතා දැඩිය.වැලිකතර යුගයේ පැවැති බරපතල කැමරා වලින් එකී දැවැන්ත චිත්‍රපටය රූ ගන්වන්නට හැකියාව ඇත්තේ නිහාල්සිංහ වැනි සිරුරෙන් මෙන්ම මනසින් ද යෝධයකු වූ මිනිසකු ට පමණී. මෙම භූමියේම එයින් දශක හතරකට පසු ී නූතන කැමරාවක් යොදා මගේ පෞද්ගලික රූ ගැන්වීමක දී දැනුණ ප්‍රායෝගික අසීරුතාව වැලිකතර පිරිස ගැන මගේ භක්තිය වැඩි කරන්නකි.

උඩරට වලව් පවුලක සාමාජිකයකු වන වික්‍රම රන්දෙණිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පත්වීම ලැබ රාජකාරි අරඹයි.ඔහු ඉක්මනින් අපරාධ මැඩීමෙහි සමතෙකු වග පෙන්වා දෙයි.‍ඒ අනුව ඔහුට පැවරෙනුයේ ඒ වන විට ගොඩ නැගෙමින් පවතින උතුරේ අපරාධ මැඩීමය. එහි සාර්ථක මෙහෙයුමකින් පසු වික්‍රම සිය ගැබිනි බිරිඳ ගීතා ද රැගෙන යාපනයට එයි.එහෙත් උතුරේ නිතර පවතින හොර බඩු ජාවාරම ඇතුළු අපරාධ වලට සම්බන්ධ මහා මොළකරු නිදැල්ලේය.ගැටලුව මතුවනුයේ ඔහු කවුදැයි හඳුනා ගැනීමත් සමගය.වැලිකතර චිත්‍රපටයේ වඩාත් විශිෂ්ට සිනමාකරණය ගොඩ නගනුයේ එහි එන තිර නාටකය හරහා මතුවන චරිත හා සිද්ධි ගොඩ නැගීම සමගය.එය වියමනක් වැනිය.

රන්දෙණිය තම අලුත් නිවහනට ගෙනෙන බඩු බාහිරාදිය අතර එක් වැදගත් භාණ්ඩයක් වනුයේ තම පියානන්ගේ ඡායාරූපයයි.එය ඇගේ නොරිස්සුමට හේතු වන්නක් බැව් ඇගේ ස්වරූපය කියා සිටියි. එහෙත් ඔවුන්ගේ විවාහ දිවියට එය බාධාවක් නොවෙයි. ඔවුන් ගේ විවාහය පමණක් නොව ජීවිතය දෙදරා යන්නේ එයින් පසු නොසිතූ අන්දමටය. ඒ ගෝරිං මුදලාලි නම් කුප්‍රකට දාමරිකයා මුණ ගැසීම සමගය.අපරාධ අධිරාජ්‍යය වෙව්ලවන මිනිසකු වන රණ්දෙණිය ගෝරිං ගේ තර්ජන හමුවේ පසු බා සිටීම ඇයගේ උදහසට හේතු වෙයි.එපමණක් නොව උණ්ඩයකින් තම සිරුර කෑලි කිරීමේ ශක්තියක් නිලධාරියාට තිබුණ ද ඔහු ගේ හෘද ශාක්ෂිය වෙව්ලවිය හැකි අවියක් තමා සතු වග ගෝරිං දන්නා කරුණකි.කිසිදු බියකින් තොරවම ගෝරිං ට රන්දෙණිය හමු විය හැක.රන්දෙණිය අතීතය මරා දමා ජිවත් වන හිත් පිත් නැති මිනිසකු වී නම් ගෝරිං කිසි විටකත් එසේ හැසිරෙන්නේ නැත.ගෝරිං වැනි මිනිසකු ගිනි අවියක් එල්ල කළා යැයි චෝදනා කොට අමුඅමුවේ මරා දැමීමට පොලිසියට හැකියාව ඇති වග නොරහසක් නොවේ.

වැලිකතර හුදු ත්‍රාසය ඉක්මවා යන කාලානුරූපව කියවිය හැකි චිත්‍රපටයක් ලෙස මට හැඟුනේ එබැවිනි.එය කෘතියක් සර්වකාලින ගුණයට ළංකරන්නකි. වැලිකතර චිත්‍රපටයේ තිර නාටකයේ අවසානය මෙය නොවන බවත් එහි අවසානය යම් බලපෑම් නිසා වෙනස් කළ බැව් ඕපාදූප වල සඳහන්ය..එමෙන්ම ඒ ආකාරයෙන් ගෝරිං අසරණව පලා ගොස් බිය ගුල්ලෙක්ව මරා දැමීමෙන් එම චරිතයට අසාධාරණයක් කළබව ඇතැමුන්ගේ චෝදනාවකි.මේ චිත්‍රපටයට සම්බන්ධ කිසිවකු හෝ බාහිර බලපෑම් නිසා හෝ චිත්‍රපටයේ අවසානය වෙනස් කිරීමක් කළායැයි සිතිම එහි නිර්මාණ කරුවනට කළ බලවත් අසාධාරණයක් වග මෙවර චිත්‍රපටය නැරඹීමේ දී මට ඇති වූ ආකල්පයයි. කවරකු ගේ හෝ බලපෑමක් නිසාවෙන් හෝ එසේ සිදු කළේ නම් ඒ හරහා සිදුවූයේ මිනිස් හැඟීම් පිළිබඳ අඳුරු අහුමුළු අහම්බයෙන් හෝ එලි දැක්විය තරම් දුර්ලභ සිදුවිමකි. මේ ලිපිය ලියන්නේ ගෝරිං පිළිබඳ මගේ ආකල්පය කියාපාන්නටය.

සැබැවින්ම ගෝරිං හෙවත් දිසානයක මුදියන්සේලාගේ සුදු බණ්ඩා ගේ චරිතය විමසද්දී ඔහු ගේ මරණය සිදුවන්නේ අභීතව මුහුණ දීමෙන් නොවේ. එසේ මුහුණ දෙන්නට තරම් සමත් පෞරුෂයක් ගෝරිං චරිතය හරහා විද්‍යාමාන වන්නේ නැත. අනිත් අතට ඔහු කිසි විටෙකත් රන්දෙණිය සොයා ලුහු බදින්නෙක් ද නොවේ. වැලිකතර චිත්‍රපටය පුරා දිවෙන ත්‍රාසය ඉක්මවා ගොඩ නගන චරිත හැසිරීම තිස්ස අබේසේකර ගේ තිර නාටකය හරහා ගොඩ නැගෙනුයේ එතැනිනි.

1961 වසරේ මුල් වරට තිර ගත වුන ජේ.ලී තොම්සන් අධ්‍යක්ෂනය කරන ලද කේප් ෆියර් චිත්‍රපටයේ ආස්වාදය අනුව හැදුණු චිත්‍රපට රාශියකි. තමා ට සිර බත් කැවීමට යොමු කළ නීතිඥවරයෙක්ට එරෙහිව භීෂණය ගොඩනගණ තැනැත්තෙකු පිළිබඳ එයින් කියැවේ. විශේෂයෙන් එහි ප්‍රතිවීරයාගේ චරිතය නිර්මාණය කළ රොබට් මිචෙම් ගේ චරිත නිරූපණය විශිෂ්ටය.එම විලාසයෙන් මත් වූ රොබට් ඩි නීරෝ එම චරිතය 1991 වසරේ දී යළි ප්‍රතිනිර්මාණය කරන ලද්දේ විශිෂ්ට සිනමාකරුවකු වන මාටින් ස්කොසෙසී මෙහෙයවීම යටතේ අලුත් චිත්‍රපටයක් ගෙන එමිනි. ජී.ඩී.එල් පෙර්රා ගේ චක්‍රායුධ මෙන්ම උදයකාන්ත වර්ණසූරියගේ සෙනසුරු මාරුව ද කේප් ෆියර් ආස්වාදය ලත් චිත්‍රපට වෙයි. වැලිකතර ද එහිම ආභාසය ලබන නමුත් ගෝරිං මුදලාලි ගේ චරිතය ගොඩනැගීමේ දී එය සහමුලින්ම වෙනස් ව යයි. චිත්‍රපටයේ ආස්වාදය පසෙකලා ගෝරිං පිලිබද විමසා බලන්නට නම් ඔහු පිළිබඳ ඇත්ත කතා කළ යුතුය. ගෝරිං යනු සිංහල සිනමාවේ එයට පෙර අප විසින් දක්නා ලද චණ්ඩියා චිත්‍රපටයේ එන චුට්ටේ නම් චණ්ඩි වීරයා නොවේ. චුට්ටේ එක්තරා ආකාරයකට අදටත් චන්ඩි වීරයන්ගේ පුරාවෘතයක් බවට පත්ව ඇති මරදානේ චොප්පේ වැනි ගණංකාරයෙකි. චොප්පේ අතින් පයින් ගසා දහයක් දොළහක් බිම දමන චොප්පේ අද පවා මරදාන පෙදෙසේ පැරැන්නන් ගේ වීරයෙකි.එහෙත් ගෝරිං යනු අද අප නිතර දකින සමයංලාගේ වර්ගයට අයත් තුවක්කුවෙන් මිනීමරණ එකෙකි. ඔහුගේ මුලු ජීවන වෘතාන්තය පුරාම විමසූ කළ එය පැහැදිලි කරුණකි.ගෝරිං නොහොත් දිසානායක මුදියන්සේලාගේ සුදු බණ්ඩා, රන්දෙණිය රටේ මහත්තයාගේ නින්ද ගමක ජීවත් වන්න අහිංසක තරුණයෙක් ව සිටි බව සැබෑය.දිසානායක මුදියන්සේලා ගේ යන වාසගම හිමි නින්ද ගමක ජීවත් වන්නකු හා රන්දෙණිය නම් ප්‍රභූවරයා අතර ඇති වෙනස ඇති නැති පරතරය විනා වෙනත් කාරණයක් නොවන වග පැහැදිලි කරන්නට නම් මෙරට සමාජ විද්‍යාව ගැන අධ්‍යයනයක් ලැබිය යුතුම නැත. සුදු බණ්ඩා ගේ නැගනිය සමග හාද කමට රන්ණෙිය රටේ මහත්තයා විසින් විරෝධය පළ කරනුයේ ඇය තම දියනියක නිසාවෙනි. එය අනාවරණය වීම වික්‍රම ගේ ඇද වැටීමට හේතුවන්නකි. වික්‍රම මෙම යුවතියට අතවර කර පලා යන්නෙක් හෝ බලහත්කාරකම් කරන්නෙක් නොවේ.එයට මග පාදන්නේ සුදුබණ්ඩා හෙවත් පසුකලක ගෝරිංය. අනිත් අතට වික්‍රම සිය නින්දගමට එන්නේ තරුණියක දැලේ දා ගන්නට නොවේ.නිස්කලකව පාඩම් කරන්නටය. ඔහුගේ බියර් බෝතලයේ රස බලන සුදු බණ්ඩා සිය එක කුස උපන් නැගනිය වික්‍රමට පාවා දෙයි. ඔහුට ලැබිය හැකි ලාභය කවරෙක්ද ? තමන්ගේ සොයුරිය විකුනන්නට සමත් සුදු බණ්ඩාට නොකළ හැකි දීන කමක් වන්නේ ද ? වික්‍රම තම සොයුරිය අත් නොහැරියා නම් අනිවාර්යයෙන්ම සුදු බණ්ඩා ඔහුගේ මස්සිනා වෙයි.

උන්නතිකාමය ගෝරිං මුදලාලිගේ චරිතය හරහා මනාව ස්ඵුට කරනු ලබයි. එය ජෝ අබේවික්‍රම විසින් කදිමට ගෙන හැර පාන්නේ අවන් හල ඇතුලේදීය. මෙබඳු චරිතයක දැකිය හැකි හීනමාන ස්වරූපය ත් උද්ධච්ච භාවයත් එකවර ග්‍රහණය කරන්නට ජෝ අබෙිවික්‍රම සමත් වෙයි.එය වහා කැපී පෙනෙනුනේ ගෝරිං ගේ චරිතයට සාපේක්ෂව තිර නාටකය අතර ලැබෙන ඉතා සියුම් ඉඩ කඩක් ඇතුළත වික්‍රම ගේ චරිතය ගාමිණී ෆොන්සේකා විසින් ප්‍රතිනිර්මාණය කරන විස්මිත අන්දම මතු වද්දීය. වික්‍රමගේ චරිතයට මතු පිටින් පෙනෙන අපූරු දෙබස් නැත. එහෙත් ඔහු වීරයකුගේ චරිතයේ සිට සියල්ල සඟවා ගත් චරිතයකට මාරු විය යුතුය. ගීතා මේ සියලු චරිත හා සිද්ධින්ට මැදි වන ගැහැනියයි. නැගනිය පාවා දීමෙන් ලබා ගත හැකි ලාභය සුදුබණ්ඩාට අහිමි වනුයේ සමහරවිට ඔහු නොදන්නා කරුණක් නිසාවෙනි.ඒ තම නැගණිය ද රන්දෙණිය රටේ මහත්තයාගේ දියණියක වීමය.සමහර විට සුදු බණ්ඩා හා වික්‍රම ද අර්ධ සහෝදරයන් විය හැක.නැගනිය ගේ මරණය සුදුබණ්ඩාගේ ජීවිතය වෙනස් කරලයි. ඔහු යන්නේ කිසිවක් හෝ නන්නාදුනනා උතුරටය. ඔහු ගොඩ නැගෙන්නේ එහිය. ඔහු චණ්ඩියකු නොවේ. පාතාල නායකයෙකි.ඔවුන්ගේ ගොඩ නැගීම මෙන්ම ඇද වැටීම ද ඉක්මනින් සිදු වන්නකි. පාතාල අධිරාජ්‍යයක් ගොඩ නගා ගන්නා සුදුබණ්ඩා තව දුරටත් හැදින්වෙන්නේ එනමින් නොවේ.ගෝරිං මුදලාලි යන අන්වර්ථ නාමයකිනි.ඔහු ඇසුරු කරනුයේ ඉහළ නිලධාරින්ය.වර්තමානයේ ජීවත්වන පාතාල නායකයන් පවා අනාවරණය වන තුරුම ජීවත්වන්නේ එලෙසමය?

උතුරට මාරු වීමක් නොලැබුණේ නම් වික්‍රම තම රහස රකිමින් ජීවිතය පුරා සිතින් දුක් විඳීමින් ද ගෝරිං හෙවත් සුදු බණ්ඩා පොලීසියට පාන් සපයමින් හා මැර අධිරාජ්‍යයක් ගොඩ නගමින් ද සුවසේ කල් ගෙවනු ඇත.එය වෙනස් වනුයේ වික්‍රම රන්දෙණිය යාපනයට පැමිණ එහි පාතාලය මර්දනය කොට තවත් දවස් ගෙවුන පසුය.ගෝරිං ලාගේ සමාජ පරිනාමය එදාටත් වඩා දිස්වනුයේ අද හා සංසදනය කරද්දිය.ඒ දවස්වල ද උතුරේ හොර බඩු ජාවාරම ජයටම කෙරිණ.එහෙත් ගෝරිං ලා ගැන අසන්නට ලැබුණේ කලාතුරකිනි. එවැනි මැරයකු හා පාදඩයකුට බොහේ විට සිදුවන ඉරණම ගෝරිං වැලඳගනියි. වැලිකතරේ ස්වරූපය අදටත් වඩා ක්‍රියාශිලිය. එහි එන සංත්‍රාසය තවමත් ඉහළය.එහි එන සිනමා ශෛලිය පමණක් නිසාම නොව එහි අන්තර්ගතය ද යලි කියැවිය යුතතේය. ඒ එකිනෙකා පරයන රංග විලාසය නිසාම නොවේ. ගෝරිං ට සහ වික්‍රමට යුක්තිය ඉෂ්ට කරනු පිණිසය.

වැලිකතරට නොගැළපෙන යමකට අද ඇත් නම් එහි ඇත්තේ කිහිපයක් පමණී.එකක් නම් චිත්‍රපටයේ අවසානයයි.පොලිස් නිලධාරින් හමු වී වික්‍රම සමුගෙන යන භාවාතීෂය සිදුවීම් පෙළ එකකි.අනික සෝමදාස ඇල්විටිගලගේ සංගිතයයි.එහෙත් ඒ සියල්ල එසේ පැවැතිම මේ විශිෂ්ට නිර්මාණයට අවැඩක් නොවේ. එය අද නිර්මාණය වුවොත් පමණි.

ඒ හැරෙන්නට අපට සිතෙන්නේ අපට මෙහෙම සිනමාවක් තිබුණා නේ ද යන අතීතකාම මිථ්‍යාචාරයේ සැනසීමය.