වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි

සුබ උපන්දිනයක් වේවා ඇදුරුතුමනි

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්

ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරුවා වෙයි

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියානන්ගේ අනූ අට වැනි ජන්ම දිනය ලබන අප්‍රේල් මස පස් වැනි දිනට යෙදෙයි.එතුමන් ජන්ම ලාබය ලද්දේ 1919 වසෙර්ය.වර්තමානයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු ලොව ජිවමාන ජ්‍යෙෂ්ටතම සිනමාවේදියානන්ය.

ලොව ජිවත් වන ජ්‍යෙෂ්ටතම සිනමාවේදින් දස දෙනා පිළිබඳ පසුගිය වසරේ දී බ්‍රිතාන්‍යය සිනමා ආයතනය මගින් නිකුත් කරන ලද වාර්තාවේ ආචාර්ය ලෙස්ටර් පිළිබඳ සදහන් වනුයේ තුන් වැන්නා හැටියටය.එහි ජීවත් වන වැඩිමහල්ම සිනමවේදියා ලෙස සඳහන් වූයේ ඉන්දියාවේ කේරළ සිනමාකරුවකු වන ඇන්ටනි මිත්‍රදාස්ය.මිත්‍රදාස් දුප්පතාගේ දුක චිත්‍රපටයේ ද අධ්‍යක්ෂවරයා විය.වසර 103 ක් ආයු වැළඳු මිත්‍රදාස් පසුගිය පෙබරවාරි විසි වැනි දින අභාවප්‍රාප්ත විය.එමෙන්ම ලොව ජිවමාන සිනමාවේදින් ගේ ලැයිස්තුවට අනුව දෙවැනි ස්ථානය අත්පත් කරගෙන සිටි ලෙස්ලි මාර්ටින්සන් එයට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේ දී අභාවප්‍රාප්ත විය.ඒ අනුව ආචාර්ය ලෙස්ටර් ලොව ජීවමාන වැඩිමහල් සිනමාකරුවා වනු ඇත.වර්තමානයේ ලොව ජ්‍යෙෂ්ටත්වයෙන් දෙවැනි ස්ථානය ගන්නා බ්‍රිතාන්‍යයේ මයිකල් ඇන්ඩර්සන් උපත ලද්දේ 1920 වසරේ වන අතර ප්‍රංශයේ කාල් රේනර් උපත ලද්දේ 1922 වසෙර්ය.

කෙසේ වෙතත් මේ කිසිදු සිනමාකරුවකු ආචාර්ය ලෙස්ටර් මෙන් රටක සිනමා කලාව හා සිතුවිලි වෙනස් කිරිමේ කටයුත්තේ හෝ සම්භාවනාවට හෝ පාත්‍රවූයේ නැත.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියානන්ට නිදුක් නීරෝගී චිර ජීවනය පතමු


වැලිකතර රජදැක්මට අවසරද?

ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද, ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ 'වැලිකතර' සිනමා පටය අප්‍රේල් මස 04 දා චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී නැවත ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත.

කතානායක කරු ජයසූරිය, ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් මෙම අවස්ථාවේදී ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ලෙස වාර්තා පොතට එක්වූ 'වැලිකතර' මෙදින ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද මුල්ම සිනමා පටය ලෙස වාර්තාපොතට එක්වෙයි.

ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති, සමන් අතාවුදහෙට්ටි, ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ, ප්‍රේම් දිසානායක සහ ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහත්වරුන්ගෙන් සැදුම් ලත් 'ෆෝ ඉන් වන්' සංසදය 'වැලිකතර' සිනමා පටය නැවත ප්‍රදර්ශනය කිරීමේ සද්කාර්යයට මූලිකත්වය ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා වූ හමුවක් ඊයේ (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ බිරිඳවූ වෛද්‍ය කල්‍යාණි නිහාල්සිංහ මහත්මිය පැවැසුවේ 'වැලිකතර' ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කර යළි ප්‍රදර්ශනය කිරීම සිය සැමියාගේ මෙන්ම තමාගේත් සිහිනයක් සැබෑ වීමක් බවයි.

මෙම චිත්‍රපටය විනාශ නොවී සංරක්ෂණය කළ යුතු යැයි නිහාල්සිංහයන් දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළා. මෙහි නෙගටිව් පටයට හානිවී තිබුණා. නමුත් මෙය නිහාල්සිංහයන්ගේ මෙන්ම ප්‍රවීණ සංස්කරණ ශිල්පි රවීන්ද්‍ර ගුරුගේගේ දායකත්වය නිසා එය ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රතිෂ්ඨාපනය කර ප්‍රදර්ශනය කරන්නට හැකි වී තිබෙනවා. ඇත්තටම මට දැනෙන්නේ කිව නොහැකි තරම් සතුටක්.

ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති, සමන් අතාවුදහෙට්ටි මහතා දේශීය සිනමාව අද ඩිජිටල්කරණය වී තිබෙනවා. මෙය කවරාකාරයෙන් විය යුතුද යන්න ගැන නිහාල්සිංහයන් නිරන්තරව සාකච්ඡා කළා. මෙය තම 'වැලිකතර' චිත්‍රපටයෙන් ඇරඹීමට එතුමා කල්පනා කර එය ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිස්ඨාපනය කර ප්‍රදර්ශනය කරන්නට කටයුතු සලසමින් සිටියදී අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තා. අද එය ඵලදරා තිබෙනවා.

චිත්‍රපට සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා - ඩිජිටල් තාක්ෂණය අප සිනමාව සමඟ ගමන් කළ යුතුය යන බව කලක පටන් තිබූ මතයක්. සිනමා ශාලාවන් මේ සඳහා සූදානම් විය යුතුව තිබුණා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සෑහෙන කාලයක සිට මේ ගැන පැවැසුවා. චිත්‍රපට සංරක්ෂණාගාරයක් තිබිය යුතු බව පෙන්වා දුන්නා. නිහාල්සිංහයන් හොඳ සිනමාකරුවකු මෙන්ම දක්ෂ පරිපාලකයෙක්. එහි පළමු සාමාන්‍යාධිකාරිවරයා මෙන්ම චිත්‍රපට සංස්ථා පනත ගෙන ආවේත් එතුමාගේ කාලයේ. ඒ කාලය චිත්‍රපට සංස්ථාවේ ස්වර්ණමය යුගය වුණා. ඩිජිටල් සත්කාරයෙන් ප්‍රතිෂ්ඨාපනය කරන ලද 'වැලිකතර' ළඟදීම මෙරට සිනමාහල්වල ප්‍රදර්ශනයට අප කටයුතු යොදනවා. වැලිකතර ප්‍රංශයේ සිනමා උළෙලකදී තිරග කිරීමටද පසුගිය දිනක අපට හැකිවුණා. ඉදිරියේදී චිත්‍රපට සංරක්ෂණාගාරයක් බිහිකර ඉතා විශිෂ්ට චිත්‍රපට සංරක්ෂණය කරන්නටත් බිහිකරන්නටත් අප සූදානම්.

ප්‍රවීණ සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහතා - ආචාර්ය නිහාල්සිංහයන්ට අවශ්‍ය වුණේ චිත්‍රපට සංරක්ෂණයේ වැදගත්කම රටට කියන්නටයි. තම 'වැලිකතර' චිත්‍රපටය සංරක්ෂණයට මුල පුරමින් එතුමා එය ආරම්භ කළා. මෙය 70 දශකයේ නිපදවූ සිනමා පටයක්. අද පරපුරට 70 දශකයේ ජන ජීවිතය, සමාජ රටාව, ජනතා සිතුම් පැතුම් භාෂා ශෛලිය ඇතුළු කරුණු බොහෝමයක් මේ චිත්‍රපටය නැරඹීමෙන් දැකත හැකියි. එමෙන්ම තාක්සණික මෙවලම් අඩුවෙන් භාවිත කර පළමු වරට සෑදූ සිනමාස්කෝප් චිත්‍රපටය වන වැලිකතර නරඹන්නට මම ජනතාවට ආරාධනා කරනවා යැයිද කීය.


1818 ජැක්සන් සූදානම්

1818 ඌව වෙල්ලස්ස විමුක්ති අරගලයට දෙසිය වසරක් පිරෙන ලබන වසරේ දී එළි දැක්වීම සඳහා දැවැන්ත සිනමා නිර්මාණයක් ගෙන ඒමට ජැක්සන් ඇන්තනි සූදානම් වෙයි.1818 නමින් නම් කරන ලද මෙම චිත්‍රපටය පිළිබඳ අනාවරණය කරන ලද්දේ එහි බර පැණ දරනු ලබන බෞද්ධයා නාලිකා කාර්යාලයේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.

වසර හතකට වැඩි කලක් ඉතිහාසය ගවේෂනය කරමින් සහ එකී ඓතිහාසික පසුබිම සොයා බලමින් මෙම දැවැන්ත කාර්යයට තමා අත ගැසූ වග ජැක්සන් එහිදි කියා සිටියේය. එහෙත් මෙතුවක් නිර්මාණය කරන ලද අබා ඇතුළු සියළු ඓතිහාසික නිර්මාණ සඳහා ඇතැම් කල්පිත චරිත යොදා ගත්තාද 1818 චිත්‍රපටය සදහා යොදා ගන්නා සියළු චරිත සත්‍ය වශයෙන්ම එදා සංග්‍රාමයට මුහුණ දුන් චරිත වීම විශේෂයකි. මෙම ඵෙතිහාසික සංග්‍රාමයට සිය වස පිරුණු 1918 වසරේ දි එවකට බ්‍රිතාන්‍ය පාලකයන් එය සමරණ ලද්දේ එහි දී මිය ගිය මුල්ම බ්‍රිතාන්‍ය හමුදා නිළධාරියා වන කපිතාන් විල්සන් සිහි කරමින් අම්පාර බිබිලේ මහා මර්ගයේ සිහිවටන කුළුණක් ගොඩ නගමින් බව ජැක්සන් පෙන්වා දුන්නේය. එහි විමුක්ති අරලය එදා තිරශ්චින අන්දමින් මැඩ ලන ලද බ්‍රිතාන්‍යයන් සියළු ඓතිහාසික සටහන් තබා ඇත්තේ මෙම විමුක්ති අරගලයේ යෙදුණු සියල්ලන් ද්‍රෝහින් ලෙස හංවඩු ගසමින් බව ද ඔහු කියා සිටියේය.එම අරගලයට උර දුන් විර වරයන් ඉතා කෘර අන්දමින් මැඩ පැවැත් වූ ඉංග්‍රීසීන් එම සටනට එක් වූ බොහෝ දෙනා ඝාතනය කරමින් ගම් නියම් ගම් ද විනාශ කර දැමූහ.ඇතැමුන් රටින් ද පිටුවහල් කළහ.සත්‍ය ඉතිහාසය මකා දැමූ ඔවුන් වැරදි ඉතිහාසයක් ස්ථාපිත කළහ.1818 කැරැල්ල පිළිබඳ සියලු සටහන් බ්‍රිතාන්‍යයන් විසින් තබන ලද්දේ ඔවුන්ට රිසි පරිද්දෙන් බැවින් ශත වර්ෂ දෙකකට ආසන්නයේ දී එහි සත්‍ය ගවේෂණය කිරීම සඳහා මහත් වෙහෙසක් දරන්නට සිදු වු බව ජැක්සන් පැවසීය.

චිත්‍රපටයේ කිසිදු නළු නිළියන් පිළබඳ තවමත් අවසන් නිගමනයට එළැඹ නැති වග පැවසූ ජැක්සන් ඇන්තනි ඒ බව යථා කාලයේ දී හෙළිදරවු කරනු ඇත. 1818 බෞද්ධයා රූපවාහිනී නාළිකාව වෙනුවෙන් පූජ්‍ය දරණාගම කුසලධම්ම හිමිපාන් විසින් නිෂ්පාදනය කිරීමට නියමිතය.