වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




කපිල සිගේරා වාරියපොළදී දරුණු රිය අනතුරක උකුල් ඇටයත් කැඩිලා

කපිල සිගේරා වාරියපොළදී දරුණු රිය අනතුරක උකුල් ඇටයත් කැඩිලා

වන්දි මුදලක් තියා මම අද වෙනකන් ඒ පුද්ගලයා ඇහැටවත් දැකලා නැහැ. මනුස්සකමක් තියෙනවානේ මොකද වුණේ කියලවත් හොයලා බලන්න. ටිපර් රථය පොලීසියට ගෙනිච්චා කියලා නම් දැනගන්න ලැබුණා. වාරියපොල පොලීසියෙන් ඇවිත් මගෙන් කට උත්තරයක් අරන් ගියා. මගේ ලක්ෂ හතර හමාරක් වටිනා මෝටර් සයිකලයටත් රුපියල් හැට හැත්තෑ දාහක අලාභයක් වෙලා කියලයි මට දැනගන්න ලැබුණේ. මගේ බයිසිකලය නම් මම කොළඹට ගෙන්වා ගත්තා.

කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ෂෙල්ටන් ලෙස රඟපාමින් මේ දිනවල වඩාත් ජනප්‍රිය වී සිටින රංගන ශිල්පී කපිල සිගේරා දරුණු රිය අනතුරකට මුහුණ පාලා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හැත්තෑ හය වන වාට්ටුවේ අටවෙනි ඇඳේ ප්‍රතිකාර ලබන බව අපට දුරකතන ඇමතුමකින් දන්වා සිටියේ කීර්ති රංජිත් පීරිස් කලා ශිල්පියා. මේ ලද ආරංචියත් සමඟ අපි ගියා කොළඹ ජාතික මහ රෝහලේ හදිසි අනතුරු අංශයට.

රෝහල් කාර්ය මණ්ඩලයේ ලද අවසරයකින් අපිට හැකි වුණා කපිල සිගේරා හා කතාබස් කරන්නට. දකුණු පාදය, දකුණු අත හා උකුල් ප්‍රදේශය දරුණු ලෙස අස්ථි බිඳීමකට ලක්ව රෝහලේ ඇඳ මත උඩුකුරුව වැතිර සිටින කපිල සිගේරා හැඟුම්බරව අපිත් සමඟ කතාබහට මුල පිරුවේ අනතුර සිදු වූ ආකාරය ගැන පවසමින්.

ඉකුත් දහතුන් වෙනිදාත් දාහතර වෙනිදාත් මම ටෙලි නාට්‍යයක වාරියපොල හිරිපිටියේ රූපගත කිරීම් වගයකට සහභාගි වී සිටියා. පසුදා පහළොස් වෙනිදා මට ටෙලි නාට්‍යයක ෂූටිං වගයකට කොළඹ එන්න සිදු වුණා. උදේ පාන්දරින්ම මම නතර වෙලා හිටිය තැනින් පිටත් වුණා කොළඹ එන්න. මේ දවස්වල ටිකක් කාර්යබහුල නිසාවෙන් ඒ ඒ තැන්වලට යාමේ පහසුව සඳහා මම ෂූටින්වලට ගියෙත් මගේ අලුත්ම යතුරු පැදියෙන්. මේ ටෙලි නාට්‍යයේ රඟපෑ නිළියක වූ ෂාරෝෂිනී අබේවර්ධනත් මාත් එක්ක පැමිණියා. ඇය පදිංචි අනුරාධපුරයට යන්න වාරියපොලින් බස් එකට නගින්න. අපි දෙන්නා බයිසිකලයේ එන කොට වාරියපොල ටවුන් එක පෙනි පෙනී වගේ මම එන පැත්තෙන්ම ඉස්සරහට වැලි පස් ප්‍රවාහනය කරන ලොරියකුත් වේගයෙන් ඉස්සරහට එනවා. ලොරියේ හරියට ලයිට් වුණත් නැහැ. මම එන විධිය හොඳ නැති නිසා පාරේ ඒ පැත්තෙන් අයින් කරලා මගේ මෝටර් සයිකලය නැවැත්තුවා. ඒ එක්කම මේ වැලි ට්‍රිපර් ලොරිය මාවත් හප්පගෙන ඉස්සරහට ඇදිලා ගියා. ඒ වෙලාව උදේ පහ මාරත් හයත් අතර වගේ. එළිය වැටීගෙන එන වෙලාව.

මට දැනගන්න ලැබුණේ ඔය අනතුර සිදුවුණු ප්‍රදේශයට කියන්නේ ඉස්පිරිතාල හංදිය කියලා. මේ අනතුරින් මගේ දකුණු කකුල හතර පොලකින් විතර කැඩිලා ගියා. දකුණු අත මැණික් කටුවෙන් කඩල ගියා. ඒ අතේම ඇඟිලි දෙකකුත් කැඩිලා ගියා. උකුල් ඇටය කැඩිලා ගියා. මාත් එක්ක ආපු ෂාරෝෂිනිගෙත් දකුණු කකුලත් දකුණු අතත් මගේ වගේම කැඩිලා ගිහින් තිබුණා. ඒ අනතුර වුණ වෙලාවේ ඒ ප්‍රදේශයේ තරුණ පිරිස් අපිට ගොඩක් උදව් කළා. මුලින්ම ළඟම තිබුණු හිරිපිටිය රෝහලට අපිව රැගෙන ගියා. එතනින් අපිව කුරුණෑගල රෝහලට රැගෙන ගියා. ඊට පස්සේ මාව කොළඹ ජාතික මහ රෝහලට මාරු කරලා එව්වා. ෂාරෝෂිනී අනුරාධපුරයේ මහ රෝහලට මාරු කර යැව්වා.

මාව කොළඹට ගෙනාවට පස්සේ වෛද්‍යවරු ලොකු ඔපරේෂන් එකක් කළා මගේ කකුලේ කැඩිලා තිබුණු අස්ථි කොටස් එකට බද්ධ කරන්න. කැඩිලා තිබුණු උකුල් ඇටය සම්බන්ධ කරන්න. මේ වෙන කොට මගේ දකුණු කකුලට රුපියල් 67,000 ක් වටිනා ප්ලේට් එකක් සම්බන්ධ කරලා තමයි කකුලට ඔපරේෂන් එක කරලා තියෙන්නේ. වෛද්‍යවරු නම් කියලා තියෙන්නේ මේ විදියට මාස දෙක තුනක් ඇඳට වෙලා විතරක් ඉන්න වෙයි කියලා. මේ වෙන කොට මම ගොඩක් අසරණ වෙලා. මට මගේ වැඩක්වත් තනියෙන් කරගන්න බෑ. කන බොන එක පවා අද කරගන්න වෙලා තියෙන්නේ වෙන කෙනෙකුගේ උදව්වෙන්. එකම ඉරියව්වෙන් ඇඳ මත උඩුකුරුව ඉන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ.

මගේ එකම ආදායම් මාර්ගය වුණේ රඟපෑම. අද ඒදේත් මට නැතිව ගියා. කවදා ආයේ රඟපාන්න යන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ. හැම දෙයක්ම සල්ලි මත නිසාවෙන් අපි වගේ දුප්පත් කලාකාරයෙක්ට ඒ මුදල් අපහසුතා තදින් දැනෙනවා.

අනතුර සිදු කළ ට්‍රිපර් රථ රියදුරා ඔබට වන්දි මුදලක් දෙන්න කතා කළේ නැද්ද?

වන්දි මුදලක් තියා මම අද වෙනකන් ඒ පුද්ගලයා ඇහැටවත් දැකලා නැහැ. මනුස්සකමක් තියෙනවානේ මොකද වුණේ කියලවත් හොයලා බලන්න. ටිපර් රථය පොලීසියට ගෙනිච්චා කියලා නම් දැනගන්න ලැබුණා. වාරියපොල පොලීසියෙන් ඇවිත් මගෙන් කට උත්තරයක් අරන් ගියා. මගේ ලක්ෂ හතර හමාරක් වටිනා මෝටර් සයිකලයටත් රුපියල් හැට හැත්තෑ දාහක අලාභයක් වෙලා කියලයි මට දැනගන්න ලැබුණේ. මගේ බයිසිකලය නම් මම කොළඹට ගෙන්වා ගත්තා.

භාර ගත්තු නිර්මාණත් තියෙන්න ඇති නේද?

ගැමුණු මහරජ, සෙලීනාගේ දෝංකාරය නිෂ්පාදන මම භාරගෙන තිබුණා. මගේ ෂූටින් පටන් ගන්න තිබුණේ තව දවස් කීපයකින්. අද ඒ හැම දෙයක්ම මට නැති වුණා. ආයේ මට කවදා රඟපාන්න පුළුවන් වෙයි ද දන්නේ නැහැ. මාව තෝරගෙන හිටිය චරිත වෙන කවුරු හරි රඟපායි. ඒක මට සතුටක්. මටත් වැඩිය හොඳට ඒ චරිතය කවුරු හරි රඟපාලා ඒ නිර්මාණයන්ට සාධාරණයක් ඉටු කරනවා නම් ඒ ගැන මගේ හිතේ කිසිම කහටක් නැහැ.

ඔබේ සහෝදර කලා ශිල්පීන් එහෙම දන්නවද මේ ආකාරයෙන් ඔබ අනතුරකට මුහුණපාලා ඉන්නවා කියලා?

මේ වෙන කොට නම් නොදන්න කෙනෙක් නැති තරම්. මගේ කෝපි කඩේ සහෝදර කලා ශිල්පීන් සියලු දෙනාම වගේ මාව බලන්න ආවා. දන්න දන්න ගොඩක් අය ආවා. ගියා. සමහරු නම් දුරකතනයෙන් කතා කළා හැරෙන්න මාව බලන්න නම් ආවේ නැහැ. මට ගොඩක් සතුටුයි මාව බලන්න කවුරු හරි එනව නම්. මනෝ ගනේෂන් අමාත්‍යවරයාත් මාව බලන්න ඇවිත් ගියා.

මේ දවස්වල ආර්ථික අතිනුත් අමාරුකම් ඇති?

අපි බොහොම අමාරුවෙන් ජීවත් වන කලාකාරයෝ. අපිට එහෙම කියලා සල්ලි භාගය නැහැ. රඟපෑමෙන් ලැබෙන මුදල ගැන කටක් ඇරලා කියන්නත් බැහැ. අද වෙන කොට මම රඟපෑ නාට්‍ය කිහිපයකම මගේ මුදල් මට එන්නත් තියෙනවා. මේ වෙලාවේ මම එකතැන් වෙලා ඉන්න අවස්ථාවේ මට ඒ මුදල්වත් දෙන්න තියෙන අය ලබල දෙනවා නම් ලොකු පිනක්. මට අද මොනවත් තනියෙන් කරගන්න නැගිටින්න බැහැ. අත් උදවුකරුවෙක්ගේ සහයෙන් තමයි හැම දෙයක්ම කර කියා ගන්නේ.

ඒ වෙනුවෙනුත් මුදල් ගෙවන්න ඕනේ. මගේ බේත් හේත්වලටත් අමතරව මුදල් අවශ්‍ය වෙලාවක් මේක. භවතරන ටෙලි නාට්‍යයේ මට ලැබෙන්න තිබුණු ඉතිරි මුදලක් එහි අධ්‍යක්ෂ ජනක චමින්ද මේ ලෙඩ ඇඳ ළඟටම ඇවිත් මට දීලා ගියා. ජීවිතේ කියන්නේ සල්ලි නෙමේ. මම විහිලු තහලු කරලා කා එක්කත් සතුටින් හිටිය කෙනෙක්. කපිල සිගේරා කියන්නේ පුංචි මිනිහෙක්. කලා ක්ෂේත්‍රයේ තෝරෙක් මෝරෙක් නොවෙයි. එහෙම වුණා නම් සමහර විට මාව බලන්න එන අයත් ලැබෙන සැලකිලිත් හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. කලාකාරයෛී කවුරුත් මිනිස්සු. තියෙන කෙනා ද නැති කෙනා ද කියලා නැහැ. සමහර විට මට මින් මතුවට රඟපාන්න බැරි වෙන්නත් පුළුවන්. ඒක ඉතිං දන්නේ දෙවියෝ තමයි.

කලාකාරයෙක් වූ නිසාවෙන් ඔබට සමාජයේ කාගේ කාගෙත් උදවු උපකාර අඩුවක් නැතුව ඇති?

මාව ඇක්සිඩන්ට් වුණ වෙලාවේ ඒ අවට හිටිය තරුණ පිරිස් මට ගොඩක් උපකාර කළා. කුරුණෑගල ඉස්පිරිතාලේ වෛද්‍ය සංජීව මට කළ හැකි උපරිම ප්‍රතිකාර කරලා මාව හැකි ඉක්මනින් කොළඹට එව්වා. මේ රෝහලේ 76 වන වාට්ටුවේ වෛද්‍යවරු, හෙදි කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාම මට දෙවිවරුන්. මට ඔවුන් සලකනවා, බලාගන්නවා. මේ වගේ ජනතා අවධානයක් මට ලැබුණේ මම කලාකාරයෙක් නිසා වෙන්න ඇති. මගේ බිරිය මේනු, දුවලා දෙන්නා සොනාලි, නිවර්තනා, මගේ මල්ලි ලක්ෂ්මන් සිගේරා මාව බලන්න උදේ, දවල්, සවස ඇවිත් යනවා. මම දන්නේ නැහැ තව කොච්චර කාලයක් මේ විදියට මට ලෙඩ ඇඳේ උඩුබැලි අතට ඉන්න වෙයි ද කියලා. මම ඉතිං මේ ඇඳට වෙලා මුළු දවසේම ප්‍රාර්ථනය කරන්නේ මට ඉක්මනින් සුව වෙන්න කියලා.

මම හදවතින්ම මගේ රසිකයන්ගෙන් මගේ සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් නම් මගේ ඉක්මන් සුවය ප්‍රාර්ථනය කරලා බෝධි පූජාවක් පවත්වන්න කියලා. විටෙක හැඟුම්බර වෙමින්, ඉකි ගසමින්, හඬමින්, කඳුළු සලමින් අපත් සමඟ තමන්ගේ දුක වේදනාව පැවසූ කපිල සිගේරා තමන්ගේ අත රැඳි දුරකතනයේ අංකය ද 0715829031 / 0779332127 මේ අයුරින් පවසා සිටියේ තමන්ව බලන්න එන්න බැරි නම් මේ හුදකලා ජීවිතයේ තමන්ට අස්වැසිල්ලක් වන්නට මේ අංකයන්ට කතා කරන ලෙසය.