වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




කොළඹ = ජාතික, ගම = ප්‍රාදේශීය රටේ කලාව බෙදන හැටි ජයතිස්ස අතුලසිරි කියයි

කොළඹ = ජාතික, ගම = ප්‍රාදේශීය රටේ කලාව බෙදන හැටි ජයතිස්ස අතුලසිරි කියයි

මේ දිනවල තිරගත වන ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ භාවනුයෝගීව වැඩ වෙසෙද්දී සතුරු ප්‍රහාරයකට ලක්වන භික්ෂූන් වහන්සේ ඔහුයි. සමනල සන්ධ්වනි චිත්‍රපටයේ තරුණිය දෙස රහසින් බලා විඳින පුද්ගලයා ද ඔහුයි. දෙඅන්තයක චරිත දෙකක් මවන ඔහු ජයතිස්ස අතුලසිරිය.

නො: 11, පාසල් මාවත, පොතානෙගම, අනුරාධපුරය පදිංචි ජයතිස්ස හා කතාබස් කරමු.

මේ දවස්වල ඔබ රිදී තිරයේ හිමි නමක් ලෙසින් ප්‍රේක්ෂක නෙතට ආකර්ෂණය වෙලා?

චත්‍ර වීරමන්ගේ ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ සොලීන් අතින් මරණයට පත්වන නායක හිමි නමගේ චරිතය කරන්නේ මම. චිත්‍රපටයේ ට්‍රේලර් එකේ පවා තියෙන්නේ මගේ රංගන අවස්ථාව.

මේ දිනවල ඔබේ කලා කටයුතු කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?

බන්ධන, ආදරණීය රිකී, ඩී. එස්. සේනානායක ශ්‍රීමතාණන් චිත්‍රපටල රංගන කටයුතුවලත් මුතුමාලි, හෙයියන්කඩ, සිකුරු මාරුව ටෙලි නාට්‍යවල රංගන කටයුතුවලත් නියැළී ඉන්නවා.

ඔබ නළුවකු ලෙස කලඑළි බහින්නේ ඔබගේම නාටය්‍යක් නිෂ්පාදනය කරමින්?

මගේ නාට්‍ය ජීවිතයේ ආරම්භය වේදිකාව. නුවරඑළියේ ජයතිලක විදුහල, ශාන්ත ක්ෂේවියර් විද්‍යාලය තමයි මගේ කලා ජීවිතයේ තිඹිරිගෙය. මම පාසලේදී නාට්‍යයක් කළා රෙදි හෝදන මහත්වරු කියලා. මේ නාට්‍යය රචනා කළේ නිර්මාණය කළේත් මම. ඒ නාට්‍ය පාසල් අතර නාට්‍ය තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුවා වගේම මම එහි රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම නළුවා ලෙසත් සම්මානයට පාත්‍ර වුණා.

පාසල් වේදිකාවේ අත්පොත් තබන ඔබ ප්‍රසිද්ධ වේදිකාවට පය තබන්නේ ප්‍රසිද්ධ කලාකරුවකුගේ හමුවීමක් සමඟ?

නුවරඑළියේදි මට ජයසේකර අපොන්සු හමු වෙනවා. එහිදී අප අතර ඇතිවන මිත්‍රකමක් මත මාව ඔහු එඩ්වින් පීරිස් රචනා කළ 'මඟුල් සක්වල' කියන වේදිකා නාට්‍යයට සම්බන්ධ කරගත්තා. ඒ තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට රංගන ශිල්පියෙක් ලෙසින් පැමිණි මුල්ම අඩිතාලම.

ඔබේ රංගනයන් එක් වූ මුද්‍රා නාට්‍ය අතර ඔබ වඩාත් ඇලුම් කරන චරිත මොනවාද?

දියමංකඩ නාට්‍යයේ අත්අප්පු, භවාන්තරය අශෝක රජු, හද විමනට ගිය ගමනක් ෆාහියන් භික්ෂුව.

නාට්‍ය හා රංග කලාව පිළිබඳ ඔබ හැදෑරීමක් සිද්ධ කළාද?

දිර්ඝ වශයෙන් විෂයක් වශයෙන් මම හැදෑරීමක් කළා. නෙදර්ලන්ත ජාතික හාන්ස් කියන මහත්මයකු යටතේත් ලංකාවේදී, සවුදි රටට ගිය අවස්ථාවේ ජර්මන් ජාතික රයල් නැමැති ආචාර්යවරයෙක්ගෙන් හා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙන්, ජන කරළියේ ගුරුවරුන්ගෙන් මම මේ පිළිබඳ හැදෑරීමක් සිදු කළා.

ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් අතරත් ඔබ නිතර රැඳී සිටින කෙනෙක්?

මේ වෙන කොට විමුක්ති ජයසුන්දර, ජයන්ත චන්ද්‍රසිරි, සුනිල් රත්නායක, අනුරාධ දේශපි‍්‍රය නිර්මාණය කළ වෙළෙඳ දැන්විම අටක විතර මම චරිත නිරූපණය කරලා තියෙනවා. ඒ අතරින් යාල් දේවි වෙළෙඳ දැන්වීමේ මුස්ලිම් මගියා, පළිබෝධ නාශක වෙළෙඳ දැන්විමේ මාමා මට ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර රැගෙන ආවා.

ටෙලි නාට්‍ය රංගනය හරහා ඔබ වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වන්නේ කුමන චරිත ඔස්සේද?

යම පෙරහැර - මලිලා කට්ටඩියා, සුදු මහත්වරු - මුස්ලිම් වෙළෙන්දා, රැජන - බංඩයියා, දියවඩන මළුව - රනා, ටිකිරි හා උන්ගි - අන්දු, ගඟ අද්දර - කපු මහත්තයා, දිය යට ගිනි - විදුහල්පති, රනා - නායක වෙද හාමුදුරුවෝ, සතර දෙනෙක් සෙන්පතියෝ - කමලසාර හාමුදුරුවෝ.

ඔබට භික්ෂුවගේ චරිතය නිතර රඟපාන්න ලැබෙන චරිතය?

මට ඒ දේ විශේෂ නැති වුණත් අධ්‍යක්ෂවරුන්ට මගේ විශේෂත්වයක් ඇති. අහසට බැඳි ඉනිමං, බොරදිය මංකඩ, සතර දෙනාම සෙන්පතියෝ, සිත නිවන කථා, රණා, ඇහැළ මහා නිකිණිය, මෙට්ටය, සංසාර චක්‍ර ටෙලි නාට්‍යවල වගේම පායා එන්න හිරු සේ, ආලෝකෝ උදපාදි චිත්‍රපටවලත් මම භික්ෂුවක් ලෙස රඟපානවා. මේ කොයි නිර්මාණයේ මම භික්ෂුවක් වුණත් ඒ ඒ චරිතය විහිදිලා ගිය ආකාරයෙන් එකිනෙකට වෙනස් වන සේ මා නිරූපණය කළ භික්ෂුවගේ චරිතය එකිනෙකට වෙනස් වූ රංගනයක් කියන දේ මට විශ්වාසයි. ඒ නිසා වෙන්න ඇති ප්‍රේක්ෂකයෝ වුණත් මට මේ නිර්මාණ විකාශය වන විට තිරගත වන විට හොඳ ප්‍රතිචාරයක් දැක් වූයේ.

ඔබ බොහොම ආශාවෙන් වැඩ කරන්න කැමැති අධ්‍යක්ෂවරු තිදෙනෙක් ඉන්නවා කිව්ව නේද?

ඔව්. ජයන්ත චන්ද්‍රසිරි, උදයකාන්ත වර්ණසුරිය, මහාචාර්ය සුනිල් ආරියරත්න. මේ මහත්වරු තුන්දෙනාගෙන්ම මට ගොඩක් දේ ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම තමයි මට ලොකු මුදලක් දීලා මගේ හැකියාව නිර්මාණවලට දායක කරගත්තෙත්, අවශ්‍ය පහසුකම් උපරිමයෙන් දීලා මගේ දායකත්වය ලබා ගත්තෙත් මේ තිදෙනා. ඒ නිසාම ගුරු භක්තියට මේ අය යමක් කරනවා නම් මම අද වුණත් කතා කරලා හරි චරිතයක් ඉල්ලා ගන්න මැළි වෙන්නේ නැහැ.

ජයතිස්ස අතුලසිරිට තට්ටයෙක් වෙන්න වුණෙත් රඟපාන්න ගිහිල්ලා කියලා යාළුවෝ කියන කතාව ඇත්තද?

කතාව ඇත්ත. මගේ ඔලුවේ තැනින් තැන කෙස් තිබුණා. දවසක් නිමල් ඇන්තනිගේ ඉරගල කුඤ්චන ටෙලි නාට්‍ය කරන්න ගිහින් නිමල් කිව්වා ජයතිස්ස ඔහොම නම් බෑ ගානවා තට්ටේ කියලා. ඒ පාර දෙපාරක් හිතුවේ නැහැ එහෙනම් ගාමු කිව්වා.

නිමල් ඇන්තනි කිව්වට තට්ටෙ ගෑව ඔබට වාසනව පෑදුණා?

ඔව්. මට වාසනාව උදා වුණා. පිට පිටම භික්ෂුවක් ලෙසින් රඟපාන්න අවස්ථා ගලා ආවා.

සිනමාව තුළත් විශාල චිත්‍රපට ප්‍රමාණයකට ඔබ රංගනයෙන් දායක වෙනවා?

විජය ධර්ම ශ්‍රීගේ සූරිය කාන්ත චිත්‍රපටයේ බස් මගියෙක් ලෙස තමයි මම මුලින්ම චිත්‍රපටයක රංගනයට එක් වුණේ. එදා මෙදාතුර චිත්‍රපට හතළිස් පහක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපට ක්ෂේත්‍රයේ මට සුමින්ද වීරසිංහ කියන ප්‍රවීණ චිත්‍රපට කැමරා ශිල්පියා ගොඩක් උදවු කළා චිත්‍රපට රංගනයේදී අවශ්‍ය කැමරා කෝණ පිළිබඳ දැනුමක් ලබා ගන්න.

මේ ආපු ගමන ගැන මොකද ඔබට ආපසු හැරිලා බලන කොට හිතෙන්නේ?

හුඟක් දුක් විඳලා ආපු ගමනක් මට තියෙන්නේ. 71 කැරැල්ලට මාව අහු වුණා. මගේ තාත්තා වෘත්තීය සංගම් නායකයෙක්. මේ බව දැනගත්තම මට හොඳටම තරවටු කළා. මම ගෙදරින් පැනලා ඇවිත් කොළඹ නැවතුණා. සුදර්ශියට යනවා. නාට්‍ය කරන හැටි බලන් ඉන්නවා. එතනදි බනිස් ගෙඩියක් වඩේ එකක් තමයි කන්න ලැබුණේ. එතනදි මම ගොඩක් දේ ඉගෙන ගත්තා. මම නුවරඑළියේදී ගාමිණී දිසානායක මහත්තයාව හඳුනා ගන්න ලැබුණා. එතුමාට තුන්පත් රෑන කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒක සම්පූර්ණයෙන් සංවිධානය කළේ මම. සුනිල් ජයතිලක තමයි ඒ නාට්‍ය කළේ. එතුමාත් මට මේ ගමන එන්න ගොඩක් උදවු කළා. ඊට පස්සේ මම ඇවිත් නැවතුණේ අනුරාධපුරේ වන්නිය වේදිකාවෙන්. ආනන්ද ගුණවර්ධනගේ වරිග සන්නිය නාට්‍යයෙන් එතනදි මට හැමෝම උදවු කළා. වන්නි වේදිකාවේ මිනිස්සු සත්භාවයෙන් මට නැඟී හිටින්න උදවු කළා. මට ආදරයට බනින මිනිස්සු හැරෙන්න කවුරුවත් හතුරුකම් කළේ නැහැ. දිමුතු චරිත්, සනත්, නිමල්, අතුල, ප්‍රියන්ත, සරත්, සුරංජිත් වන්නිය වේදිකාවේ සහෝදර කලා ශිල්පීන්. එයාලයේ නාට්‍ය ඔස්සේ මට ක්ෂේත්‍රයේ ඉහළට එන්න ඉනිමගක් නිර්මාණය කරලා දුන්නා. (වන්නිය වේදිකාව කියන්නේ ආනුරාධපුරය කේන්ද්‍ර කොට ගත් නිර්මාණශීලී නාට්‍ය කණ්ඩායමක එකමුතුවක්).

ජාතික තලයේ කලාකාරයෝ, ප්‍රාදේශීය කලාකාරයෝයි කියලා අපේ රටේ කලාකාරයෝ දෙකොටසක් ඉන්නවා කියන කතාව මොකක්ද?

එකම කලාකාරයෝ. නමුත් හඳුන්වන කොට වචන දෙකක්. අපි ප්‍රාදේශීය කලාකාරයෝ. කොළඹ ඉන්න අය ජාතික තලයේ කලාකාරයෝ. ඔන්න කෙරුවාව. එයාලයි අපියි අතර මොනවද දන්නේ නැහැ වෙනස්කම. මම කියන්නේ රජරටට අයිති පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට කොළඹ ගිහින් ජනාධිපති වෙන්න පුලුවන් නම් අපිට ඇයි මෙහෙම බෙදීමක්. අපි කාටත් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දීලා තියෙන අයිඩින්ටිය එකයි. එක ක්ෂේත්‍රයේ අය. මේ විධියට අපිව හෑල්ලුවට ලක් කරනවා වගේ දෙයක් කරනවා. කොළඹ ඉන්න අය විතරයි ජාතික තලයේ කලාකාරයෝ කියලා තමයි එයාලා හිතන් ඉන්නේ. නිර්මාණයක් කරලා එළියට ආපුවහම තමයි පේන්නේ අපේ දායකත්වය කොච්චර වැදගත් වෙලාද තිබුණේ කියලා.

මේ දවස්වල තිරගත වෙන චිත්‍රපටයකත් අඩුම තරමේ මගේ නම නැහැ. ඔන්න බලන්න අපිට සලකන විධිය. මේකට හේතුව අපි ප්‍රාදේශීය වුණ නිසාද? දැන් බලන්න කොළඹ නළුවෝ රඟපාන්න ගියහම වැරැදුණොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි අතින් අඩුපාඩුවක් වුණොත් අපිට අම්ම මුත්ත මතක් කරල බලු බැනුම් තමයි.

සමහර සහය අධ්‍යක්ෂවරු චරිත දෙන්නෙත් ඔවුන්ගේ අත මිට සරු කළොත් විතරයි කියලත් කතාවක් තියෙනවා?

සමහරු ඒ වගේ වැඩ කරනවා. අපිට තිබිලා එපායැ උන්ට දෙන්න. සමහරු අපිට චරිතයක් දුන්නොත් බෝතල් බලාපොරොත්තු වෙනවා. මේ අතර හොඳ මහත්වරුත් ඉන්නවා අපි ගැන බලන. සමහරු ටෙලි නාට්‍යවල අපෙන් වැඩ අරගෙනත් නම දාන්නේ නැති අය ඉන්නවා.

ඔබට හැදුණු හෘදයාබාධයකට හොඳම ඔසුව වුණේ රංගනයද?

95' දී මට හාට් ඇටෑක් එකක් ආවා. වෛද්‍යවරුන්ගේ නිර්දේශය වුණේ මට හදවත් සැත්කමක් කළ යුතුයි කියලා. මම නුවරඑළියේ ඉඩකඩම් විකුණලා අනුරාධපුරයේ පදිංචියට ආවා. පාපැදියෙන් ගමන් බිමන් ගියා. නාට්‍යවල රඟපෑවා. අද වෙනකන් හාට් ඇටෑක් එකක් නම් ආයේ ආවේ නැහැ.

විජය කුමාරතුංග ඔබව චිත්‍රපට නළුවෙක් කළේ කොහොමද?

විජය අයියාත් මාත් මිත්‍රයෝ. අපි එකට දේශපාලන වේදිකාවේ වැඩ කළා. දවසක් මම කොළඹදී විජය අයියා හමු වුණා. මම කිව්වා මමත් රඟපාන්න කැමැතියි කියලා. බලමු කිව්වා. කොහොම හරි විජය ධර්ම ශ්‍රී සූරියකාන්ත චිත්‍රපටය කරන්න නුවරඑළියට ආවා. මමත් විජය අයියා එනවා කියලා එතනට ගියා. විජය අයියා කිව්වා මචං විජය මෙන්න මේකා රඟපාන්න කැමැතියිලු. මොකක් හරි සීන් එකක් දීපං කියලා. ඒ කීමට මට චිත්‍රපටයේ බස් එක කැඩිලා වෙලාව බල බල එහෙට මෙහෙට යන සීන් එකක් කරන්න දුන්නා. ඒ තමයි මගේ මුල්ම චිත්‍රපට රංගනය.

රංග ශිල්පියෙකු, ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයකු, කලා අධ්‍යක්ෂ හා නිෂ්පාදකයකු ලෙස ඔබ කලාව වෙනුවෙන් කළ සේවාව සම්මානනීය ඇගැයුම් අතරට එක් වුණා?

කලා භූෂණ, ප්‍රභාෂ්වර අභිනන්දන, කලා කීර්තිධර, කලා නිපුන්, දේශමාමක ලංකා පුත්‍ර ජාතික ගෞරව නාම සම්මාන සන්නස් පත්‍රය ඇතුළු කන්ද උඩරට කලාකරුවන්ගෙන්, නුවර කලාවේ අපි සංධානයෙන්, සසරා වන්නිය වේදිකාවෙන් ආදී සම්මාන බොහොමයක් මට ප්‍රදානය කරනු ලැබුවා.

පවුලේ තොරතුරු කොහොමද?

මගේ බිරිය නන්දා මාම්පිටිය. ඇය දක්ෂ කිවිඳියක්. සමීර, තුසිත කියලා මට පුතාලා දෙන්නෙත් ඉන්නවා. මුනුපුරෝ එක් කෙනෙකුයි, මිනිබිරියෝ දෙන්නෙකුයි ඉන්නවා. පුතාලටත් රඟපැමේ හැකියාවක් තිබුණත් එයාලා ඒ සඳහා යොමුවීමක් සිදු කළේ නැහැ.