වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයේ දිගු ගමනක් යෑමට කැමැති ලක්ෂ්මන්

රංගනයේ දිගු ගමනක් යෑමට කැමැති ලක්ෂ්මන්

ලක්ෂ්මන් මාටිනෝ නමැති රංගන ශිල්පියාව හඳුන්වා දෙන්නයි මේ සූදානම් වන්නේ. ඔහුගේ පියා ද කලාවට සම්බන්ධ අයෙකි. මැෂියර් මාටිනෝ නම් වන ඔහු අති දක්ෂ වයලීන වාදකයෙකි. එහෙයින් ලක්ෂ්මන්ට කුඩා කල සිට කලාකරුවන්ගේ ඇසුර ලැබීමට හැකියාව ලැබිණ. පාසල් වියෙහි ඔහු දස්කම් පෑවේ ගායනයටය. ගම් පියසෙහි තිබූ කලා කටයුතුවලදී ගායනයෙන් දායක වූ හෙතෙම පසුකාලීනව රංගනය පිළිබඳ හැදෑරීමට උත්සුක විය. ලක්ෂ්මන්ට රංගනයට පැමිණීමට මඟ විවර කොට දුන්නේ බැප්ටිස්ට් ප්‍රනාන්දුය. ඒ ඔහුගේ අංගුලිමාල චිත්‍රපටයෙනි. අනතුරුව බැප්ටිස්ගේම රජ කෙල්ලො චිත්‍රපටයට රංගනයෙන් දායක වූ ලක්ෂ්මන් ඉන් පසුව මහින්දාගමනය සිනමාපටයෙහි කැපි පෙනුණ චරිතයක් ලැබිණ.

චිත්‍රපටවලට දායක වුණාම මට කාලය ගොඩක් ඒ වෙනුවෙන්ම කැප කරන්නට වෙනවා. ඒ හින්දා මට කාලෙකට පස්සේ හිතුණා ටෙලි නාට්‍ය රංගනයට එන්න. මොකද මං එතකොට රැකියාවක් කරමිනුයි රඟපෑවේ. මට කලාවයි රැකියාවයි දෙකම ඕනෑ. බොඳ මීදුම්, කෝපි කඩේ, සිත නිවන කතා, සබඳ පබිලිස්, සකිසඳ සුවාරිස්, පාරමී, සිකුරු වසන්තය, ආත්මා, රජ දරුවෝ, සිත් අහස වැනි ටෙලි සිතුවම්වල මං රඟපෑවා. මං කලා ලෙවේ දිගු ගමනක් යාමට අපේක්ෂා කරනවා. ඊට රැකියාව කරන බෙස්ට්ලයිෆ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය දමින්ද උපාලි ප්‍රනාන්දු, රුවන් අලුත්ගේ, ශිරන්ත අමරසිංහ යන අය සුවිශේෂී සහායක් දෙනවා. ඒ වගේම මට මේ ගමන යන්න අත හිත දුන් රොජර් සෙනෙවිරත්න, සජීව මල්මාලආරච්චි, සාරංග දිසාසේකර, රෙජිනෝල්ඩ් කුරේ, අරුණ ජයසේකර, නාරද රත්නායක ආදී පිරිසට මං තුති පුදනවා.