වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මම ණයත් නෑ බයත් නෑ

මම ණයත් නෑ බයත් නෑ

සුදත්ත තිලක්සිරි

 

ටෙලි නාට්‍යවලදි සිදු වන යම් යම් දේ සම්බන්ධයෙන් මගේ සිතට පිවිසෙන සිතුවිල්ලකුයි ඒ. ඒ සමහර කටයුතු සමඟ පෑහෙන්න සිතට එකඟව මට නොහැකි වෙනවා. ඒ නිසා මා ප්‍රසිද්ධියේ ම පවසා තිබෙන අදහසක් නම් ලංකාවේ නිෂ්පාදකවරයකු හෝ අධ්‍යක්ෂවරයකු ඔවුන්ගේ කිසිම නිර්මාණයක මට රඟපෑමට අවස්ථාවක් ලබාදීමට වුවමනා නොවන බවයි.

නිෂ්පාදකවරයකු, අධ්‍යක්ෂවරයෙකු, නළුවකු ලෙස ඔබ හමුවට පැමිණෙන සුදත්ත තිලක්සිරි මෙවර ඔබ හමුවට පැමිණෙන්නේ ‘දෙබිඩි බ්‍රෝ’ වේදිකා නාට්‍යයත් සමඟ ය. ඔහුගේ නවතම වේදිකා නිර්මාණය වන ‘දෙබිඩි බ්‍රෝ’ වේදිකා නාට්‍යයේ මංගල දැක්ම අප්‍රේල් මස 2 වැනිදා සවස 6.30ට හැව්ලොක් ටවුන් හි පිහිටි ලුම්බිණි රඟහලේ දී වේදිකා ගතවෙයි. සුදත්ත ඔහුගේ නවතම නිර්මාණයත් කලා ජීවිතයත් පිළිබඳ සරසවියට ගෙනහැර පෑවේ මෙසේ ය.

මේ දවස්වල ඔබ කටයුතු කරන්නේ වේදිකා නාට්‍යයත් සමඟද?

ඔව්. මේ දවස්වල මගේ සම්පූර්ණම කාලය වැය වෙන්නේ වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වලටයි, එහි ප්‍රචාරණ කටයුතුවලටයි.

‘දෙබිඩි බ්‍රෝ’ වේදිකා නාට්‍යය පරිවර්තනයක් ද? ස්වතන්ත්‍රයක් ද?

මේ නාට්‍යය ස්වතන්ත්‍රයක්. මෙහි පිටපත ලිව්වේ ජනප්‍රිය ජයසිංහ.

‘දෙබිඩි බ්‍රෝ’ කියන්නේ වෙනස් ම නාට්‍යයක් ද?

තරුණ වයසේ ඉන්න දෙබිඩි තරුණයන් දෙදෙනෙකු වටායි කතාව ගෙතෙන්නේ. ඔවුන් දෙදෙනා විවාහ වී මංගල රාත්‍රිය ගත කිරීමට යන සිදුවීම හරහායි මේ කතාව ඉදිරියට ගලාගෙන යන්නේ.

‘දෙබිඩි බ්‍රෝ’ හැඩ කරන නළු නිළියන් කවුරුන්ද?

ජගත් චමිල, ජනක කුඹුකගේ, ජනිත් වික්‍රමගේ, දිලිනි ලක්මාලි, අයේෂා දිසානායක, ආලෝක සම්පත් මෙහි රඟපානවා.

සංගීතය නිර්මාණය කළේ කවුද?

සංගීතය ජානක ෆොන්සේකා. ගීත රචනයෙන් ජානක සිරිවර්ධනත් ගීත ගායනයෙන් මමත්, දොඹගහවත්තත්, දෙරණ ඩ්‍රීම්ස්ටාර්වලින් පැමිණි චලනි සහ එරංග යන අයයි මේ නිර්මාණයට දායක වෙන්නේ. ඊට අමතරව පසුතල නිර්මාණයෙන් හා වේදිකා පසුතල ප්‍රදීප් චන්ද්‍රසිරියි. වේදිකා පරිපාලනයෙන් ආලෝක සම්පත්, අලෝකකරණයෙන් ප්‍රභාත් සහය වෙනවා.

ටෙලි නාට්‍ය කරලා එක්වර ම වේදිකාවට පිවිසුණේ ඇයි?

මම වේදිකාවෙන් එළියට බැහැලයි සිටියේ. අවසන් වතාවට මා රඟපෑවේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘මානසවිල’ ඔපෙරාවේ. ඒ 1990 වසරේ. මේ වනවිට මගේ වේදිකා ජීවිතයට අවුරුදු විසි හතක්. මීට වසර තුනකට පෙරයි වේදිකා නාට්‍යයක් කරන අදහස මගේ සිතට නැගුණේ.

ඒ අදහසට මොකද වුණේ?

නාට්‍ය පිටපතක් සොය සොය සිටියත් හිතට හරියන පිටපතක් කාලයක් යනතුරු ලැබුණේ නැහැ. ඒත් පසුගිය මාස කිහිපයේ දී තමයි මට හරියන පිටපත ලැබුණේ. දෙපාරක් හිතන්නේ නැතිව මම ඒ පිටපතට කැමැති වුණා.

මින් අදහස් කෙරෙන්නේ ඔබ වඩාත් කැමැති රඟපෑමට වඩා අධ්‍යක්ෂණයට වගෙයි?

දැන් මම රඟපාන්න අකැමැතියි.

ඒ ඇයි?

මා වඩාත් කැමැත්තක් දක්වන්නේ අධ්‍යක්ෂණයටයි.

එහෙම වුණොත් ඔබව රූපවාහිනි නරඹන්නන්ට අමතක වේවි නේද?

ඒකමයි මටත් තිබෙන ප්‍රශ්නය වන්නේ. රඟපෑමෙන් ඈත් වෙලා සිටියොත් ඔවුන්ට මාව අමතක වේවි.

පසුගිය දිනවල ඔබ දකින්නට ලැබු‍ණේ නැත්තේ කුමන හේතුවක් නිසා ද?

මේ වනවිට මා වැඩිපුර ම ඉන්නේ ඕස්ට්‍රෙලියාවේ. එහියි දැනට පදිංචි වී සිටින්නේ. ඒත් මාස කිහිපයක් එහි සිටින මා තවත් මාස කිහිපයක් මගේ මවුරටේත් ඉන්න අමතක කරන්නේ නැහැ.

මෙහෙම වුණොත් ඔබ දිගට ම ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාවිද?

කලාවට තිබෙන කැමැත්තයි අපේ රටට මාව රැගෙන එන්නේ.

මුලින් ම ගායකයකු විදියට රසිකයන් ඉදිරියට පිවිසෙන ඔබ පසුව ද රංගන ශිල්පියකු බවට පත්වන්නේ?

මා සංගීතය හදාරන්නේ ‘කලාභූමි’ කලායතනයේ සංගීතය ඉගෙන ගැනීමෙන් පසුව මා ගීත තිහක් පමණ ගායනා කරනවා. ඒ නිසා ම කලක් දිගට ම මා සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා.

එකල ඔබ ගැයූ ගීත බොහොම ජනප්‍රියයි ද?

ඔව්. ‘මල් පොහොට්ටුවක් ද මේ රඟ මඬලේ’ කියන ගීතය ඒ විදියට බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණු ගීතයක්. සංගීත ප්‍රසංගවලට සහභාගි වීම නිසා ඇති වුණු තෙහෙට්ටුව මාව රංගනයට යොමු කළා.

ඒත් රංගනය පිළිබඳත් කලකදි ඔබ සෑහීමකට පත්වන්නේ නැහැ. ඒ ඇයි?

ටික කාලයක් ටෙලි නාට්‍යවල රංගන කටයුතු කරන විට මා එක් තීරණයකට පිවිසෙනවා. ඒ මා රංගන කටයුතු කරනවා නම් කරන්නේ මගේ නිර්මාණයක පමණක් බව.

ඔබ එවැනි තීරණයකට පිවිසෙන්නේ ඇයි?

ටෙලි නාට්‍යවලදි සිදු වන යම් යම් දේ සම්බන්ධයෙන් මගේ සිතට පිවිසෙන සිතුවිල්ලකුයි ඒ. ඒ සමහර කටයුතු සමඟ පෑහෙන්න සිතට එකඟව මට නොහැකි වෙනවා. ඒ නිසා මා ප්‍රසිද්ධියේ ම පවසා තිබෙන අදහසක් නම් ලංකාවේ නිෂ්පාදකවරයකු හෝ අධ්‍යක්ෂවරයකු ඔවුන්ගේ කිසිම නිර්මාණයක මට රඟපෑමට අවස්ථාවක් ලබාදීමට වුවමනා නොවන බවයි.

එහෙම නම් ඔබ රඟපාන්නේ කෙසේ ද?

මා මගේ ම නිර්මාණවල රඟපානවා. ඒ රඟපෑම සිදු කරන්නේත් මගේ රසිකයන්ට මාව අමතකව යාවි කියන කාරණය නිසා බවත් සඳහන් කළ යුතුයි.

මුලින් ම නිෂ්පාදනයෙන් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වන ඔබ පසුවයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කිරීමටත් පෙලඹෙන්නේ?

මුලින් ම එහෙම අදහසක් මගේ සිතේ තිබුණේ නැහැ. ඒ සඳහා මූලික වුණේ අධ්‍යක්ෂවරයකු මට කරන ලද කැත වැඩක් නිසයි.

එහිදි සිදු වන අභියෝගයයි ඔබ භාර ගන්නේ?

ඔව්. ඒ අභියෝගය මා භාර ගන්නවා. ඔවුන්ට වඩා හොඳට මා මගේ කණ්ඩායම අරගෙන යනවා.

ඔබ බොහොම තදින් තීරණ ගන්න කෙනෙක් ද?

ටෙලි නාට්‍යයට කරදරයක් වන, කරදර ගෙනෙන ඕනෑ ම කෙනෙකුව මා ඉවත් කරන්නත් දෙපාරක් සිතන්නේ නැහැ. ඒ විදියට ඉවත් කළ ප්‍රධාන නළු නිළියන් රැසක් ඉන්නවා. වරක් අධ්‍යක්ෂවරයකුට පවා ඒ ඉරණම අත්වෙන්න ගියා.

ඔබ පවසන්නේ අනෙක් නිර්මාණවල සිදු වන ගැටලු ඔබගේ නිර්මාණවල සිදු නොවන බවද?

ක්ෂේත්‍රයේ ඉන්න බහුතරයක් ශිල්පීන් මගේ නිර්මාණවල රඟපානවා. එක් නිර්මාණයක් අවසන් වුණාට පස්සේ ඊළඟ නිර්මාණය කරන්නේ කවදද කියලයි ඔවුන් විමසන්නේ. අනෙක් කාරණය නම් මගේ ළඟ කිසිම ගිවිසුමක් නැහැ.

එවැනි දෙයක් නොකර ඔබ නිර්මාණවල යෙදෙන්නේ කොහොම ද?

ගිවිසුමක් නොගැහුවත් මා මගේ නිර්මාණවලට සම්බන්ධ වන ශිල්පීන්ට ඔවුන්ගේ මුදල් නියම විදියට ගෙවන කෙනෙක්. ඒක ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් දන්න කාරණයක්.

ඔබ භූමිකා කිහිපයක ම නියැළී ම නිසා එසේ කරන්නේ මුදල් කිහිපදෙනෙකුට ම දීමට සිදු වන නිසා කියලා කවුරු හෝ කිව්වොත් ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක් ද?

මේ සියල්ල කිරීමට මට හැකියාව තිබෙනවා නම් එහෙම කළාට මොක ද වෙන්නේ? අනෙක් අය අහන දේවල් මට අදාළ නැහැ. මා ණයත් නැහැ. බයත් නැහැ. උදවුවක් ඉල්ලුව ඕනෑම කෙනෙකුට උදව් කරනවා. අසාධාරණයක් වුණොත් ඊට විරුද්ධව කතා කරන්නත් මා බය නැහැ.

‘දෙබිඩි බ්‍රෝ’ වේදිකා නාට්‍යයෙත් ඔබ රඟපානවා?

ඔව්. ‘දෙබිඩි බ්‍රෝ’ වේදිකා නාට්‍යයේ මා රඟපානවා. ඒත් මා මෙහි රඟපෑමෙන් දායක නොවී සිටීමටයි මුලින් ම සිතාගෙන සිටියේ. වේදිකා නිර්මාණයක් කරන විට යන බර පැන වගේ ම ඒ මඟින් සෙවිය හැකි ආදයමකුත් ඇත්තේ නැතිතරම්. ඒ වගේ ම මෙහි රංගනයෙන් සහභාගි වූ අනෙක් අය විමසා සිටියේ රඟපෑමට හැකියාව තිබෙද්දී රඟපාන්නේ නැත්තේ ඇයි කියලයි. පළමු වේදිකා ගත කිරීමෙන් පසුව විදේශ සංචාර කිහිපයකට ම ආරාධනා ලැබිලා තිබෙන නිසා විශාල නළු නිළියන් පිරිසක් සම්බන්ධ කර ගැනීම එවැනි කාරණයකදි ගැටලුවක් නිසාත් මා මෙහි රඟපෑමට තීරණය කළා.

මේ ඔබ වේදිකාවට අධ්‍යක්ෂවරයකු ලෙස පිවිසෙන පළමු නිර්මාණයයි?

මා මේ ගෙවන්නේ මගේ ජීවිතයේ හාෆ් සෙන්චරියයි. මේ යන විදියට කිසිවකුටත් තමන්ගේ ජීවිතය ගැන කියන්න බැහැ. ඒ නිසා කාලයක පටන් මගේ සිතේ තිබුණ සිහිනයකුයි මේ සැබෑ වෙන්නේ.

ඔබගේ ජීවිතය ගෙවෙන්නේ කුමන ආකාරයෙන්ද?

බොහොම සරලවයි මා ජීවත් වන්නේ. සරලව ගෙවෙන ජීවිතය මට ගෙනෙන්නේ සතුටක්.

පවුලේ විස්තරත් කියමු?

මට ඉන්නේ පුතයි, දූලා දෙන්නයි. මුල් කාලයේදී නම් ඔවුන් තුන්දෙනා ම රඟපෑවා. ඒත් මේ වනවිට නම් පුතා මෙඩිසින් කරනවා. ලොකු දුව ලෝ කරනවා. බාල ම දියණිය නර්තනය ඉගෙන ගන්නවා. ඈ නම් ඉදිරියේදී රඟපෑමටත් සහභාගි වේවි. මගේ කටයුතුවලට සහයෝගය දක්වමින් දරුවන් සියලුදෙනා මත් බලා ගන්නේ බිරියයි.