වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers

ටෙලිවිෂනයෙන් සිනමාවට පැන්න Power Rangers

බොහෝ අමෙරිකානු සුපිරි වීර චරිත වටා ගෙතුණු කතා නොහොත් චිත්‍රපට, මාවල් කොමික්ස් නොහොත් මාවල් එන්ටර්ටේන්මන්ට් හෝ DC  කොමික්ස් නොහොත් DC  එන්ටර්ටේන්මන්ට් යන සමාගම්වල නිර්මාණයන් වේ. කෙසේ වෙතත් එසේ නොවන සුපිරි වීර චරිත ද අමෙරිකානු චිත්‍රපට ඉතිහාසයේ දක්නට ඇත. 'Power Rangers' ඊට උදාහරණයකි.

1993 වර්ෂයේ පළමු වරට  'Mighty Morphin Power Rangers' යන නමින් ළමා රූපවාහිනී කතා මාලාවක් ලෙස එළිදුටු 'පවර් රේන්ජර්ස්' චරිත, කතා මාලා (Seasons) තුනක් සහ කොටස් 145 ක් ඔස්සේ වසර 3ක් පුරාවට ළමුන් සහ යෞවනයින් අතර ප්‍රසිද්ධියට පත් වූවා. පවර් රේන්ජර්ස් චිත්‍රපට, ටෙලිනාට්‍ය මාලාව පළමුව 'සබන් එන්ටර්ටේන්මන්ට්' විසිනුත්, පසුව බී. වී. එස්. එන්ටර්ටේන්මන්ට් නම් ආයතනය විසිනුත්, මේ වනවිට එස්.සී.ජී.පවර් රේන්ජර්ස් නම් ආයතනය මගිනුත් නිෂ්පාදනය වෙනවා. 1995 වර්ෂයේ පළමු වරට මෙම චරිත අළලා චිත්‍රපටයක් නිර්මාණය වූ අතර එය,  'Mighty Morphin Power Rangers: The Movie' නම් වූවා. 1997 වර්ෂයේ නිර්මාණය වූ දෙවන චිත්‍රපටය  'Turbo: A Power Rangers Movie'  නම් විය. මෙම චිත්‍රපට මාලාවේ තුන් වැන්න 'Power Rangers' නමින් පසුගිය 24 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹුණු අතර, මෙම චිත්‍රපටය හැඳීන්වෙන්නේ, රූපවාහිනී කතා මාලාවේ ප්‍රතිනිර්මාණයක් ලෙසිනි.

Power Rangers  2017 චිත්‍රපටය මෙසේ දිගහැරේ. ජේසන්, කිම්බර්ලි, බිලි, ට්‍රිනී සහ සැක් යන තරුණ තරුණියන් පස් දෙනෙකුට පිටසක්වල යානාවක් හමුවේ. මේ යානාව හේතුවෙන් ඔවුනට සුපිරි ශක්තීන් හිමි වන අතර ඔවුන් 'පවර් රේන්ජර්ස්' ලෙස නම් වෙයි. සිය කුඩා නගරය සේම මුළු ලෝකයම දුෂ්ට පිටසක්වල බලවේගයන්ට ගොදුරු වීමට යන බව දැනගන්නා මොවුන් ලෝකය මේ ව්‍යසනයෙන් බේරාගත හැක්කේද ඔවුනට පමණක්ම බවද දැන ගනියි.

නව චිත්‍රපටය ඩීන් ඉස්‍රාලිට් ගේ අධ්‍යක්ෂණයකි. සාර්ථක ආදායම් ඉපැයූ යොවුන් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන 'Project Almanac'  ඔහුගේ අධ්‍යක්ෂණයකි. 'සබන් එන්ටර්ටේන්මන්ට්' හි මෙන්ම 'පවර් රේන්ජර්ස්' චරිතයන්හිද නිර්මාතෘ වූ 'හයිම් සබන්', වික් ගෝඩ්ෆ්‍රේ ඇතුළු සිවු දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන ආයතන ලයන්ස් ගේට් සහ ටෙම්පල් හිල් එන්ටර්ටේන්මන්ට් වේ. චිත්‍රපටයේ එන මෙම වීර චරිතයන්ට අදාළ සුවිශේෂ වර්ණ ද වේ. ඩක්රේ මොන්ට්ගොමේරි විසින් රතු - පවර් රේන්ජර් චරිතයද, නයෝමි ස්කොට් විසින් රෝස - පවර් රේන්ජර් චරිතයද, ආර්.ජේ. සයිලර් විසින් නිල් - පවර් රේන්ජර් චරිතයද, බෙකි ජී. විසින් කහ - පවර් රේන්ජර් චරිතයද ලුඩී ලින් විසින් කළු - පවර් රේන්ජර් චරිතයද රඟ දක්වනු ලැබේ.

මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ ලකුණු 7.2 / 10 ක් ලබා ඇති අතර, රෝටන් ටෝමාටෝස් දර්ශකයේ ලකුණු සියයට 44ක් සටහන් කරයි. විචාරක ප්‍රතිචාර අතින් පහළ මට්ටමක පවතින මෙම චිත්‍රපටය ගැන රොටන් ටෝමාටෝස් හි පොදු විචාරය මෙලෙස පවසයි. "මෙම චිත්‍රපටය ඊට පාදක වුණු රූපවාහිනී කතා මාලාව තරම් රසවත් වන්නේවත්, අද දින චිත්‍රපට ලෝකයේ ඇති තරගකාරී සුපිරි වීර චිත්‍රපට තරම් සාර්ථක වන්නක්වත් නොවෙයි. ඒ අතින් ගත් විට කනගාටුවට කරුණ නම් මෙහි 'ටර්බෝ' ලක්ෂණයක් නොමැතිවීමයි."