වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




අරුණ ධමිමිකට ඉහළ සම්මානයක්

අරුණ ධමිමිකට ඉහළ සම්මානයක්

අරුණ ධම්මික රංගන ශිල්පියෙක්. වේදිකා, ටෙලි මෙන්ම සිනමාව ද ජයගත් හෙතෙම මෙරට ඉහළ නිලයක් දරන තැනැත්තෙකු බව වැඩිදෙනෙකු දන්නෙ නැහැ. අරුණගෙ නමට ඉදිරියෙන් ආචාර්ය නාමය ද තියෙනවා. එහෙත් ඔහු එය පාවිච්චි කරන්නේම නැති තරම්. අප ඔහු ගැන මෙලෙස පුංචි සටහනක් තැබීමට අපේක්ෂා කළේ අරුණගේ රංගනය හින්දාම නෙමෙයි. ඒ ගඅන අප ඔහුගෙන්ම අසා දැන ගනිමු.

ලෝක මානව සම්පත් සංවර්ධන සම්මාන උළෙලේ දකුණු ආසියාතික සම්මාන උළෙල මෙවර පැවත් වූයේ කොළඹ බත්තරමුල්ල වෝටර්ස්එජ්හිදී. එය අවුරුදු හයකට පසුවයි. එම උළෙල සංවිධානය කරලා තිබුණෙ එහිදී මා හොඳම අධ්‍යාපන නායකත්වයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. එය මා ජීවිතයේ ලද ඉහළම සම්මානයක් මෙන්ම අප රටට අත් කරදුන් කීර්තියක් හැටියට සලකනවා. ඒත් සමඟම මගෙ කලා ජීවිතය ගැන කතා කරන්න කැමැතියි. මං ඉගෙන ගත් රාජකීය විදුහලෙන් තමයි මගේ කලා ජීවිතය ආරම්භ කළේ. මනෝ අභිෂේක සහ බහුරු කෝලම් කියන වේදිකා නාට්‍ය ද්විත්වයට සම්බන්ධ වුණා. පසුව සත්සර රංගන නාට්‍යහි දිගටම රඟපෑවා. ලේ කිරි කඳුළු, පරාවර්ථනය සහ ප්‍රවේගය මං රඟපෑ සිනමාපට අතරවනවා. ඉන් පරාවර්ථනයෙහි පොලිස් චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. පිපෙන මල් රිදී පහන් තමයි මං මෑතකදී රඟපෑ ටෙලිනාට්‍ය අතර තිබෙන්නේ. වර්තමානයෙදි මං ජාතික අවදානම් කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ හැටියට සේවය කරනවා. වෘත්තිය ජිවිතය එලෙස හොඳින් සිදු කරමින් රටට කීර්තියක් ගෙන එන ගමන් කලාවේ නියැලෙන්නයි මගේ අපේක්ෂාව


සිනමා සමාරම්භක සින්දු එළිදකී

පොතක් වන තැටියක්

සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් සම්පාදිත සිංහල සිනමාවේ සමාරම්භක සින්දු නමැති ග්‍රන්ථය පසුගියදා එළි දැක්විණ. මෙරට ප්‍රථම කථානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ සිට සිංහල සිනමාවේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ රේඛාව සිනමාපටය දක්වා තිරගත වූ චිත්‍රපට දහයක ගීත එකසිය තුනක් මෙයට ඇතුළත්ය. එමෙන්ම ග්‍රන්ථය තුළින් සිංහල සිනමාවේ උප්පත්ති කතාව සහ සිංහල සිනමාවේ සමාරම්භකයෝ හඳුන්වාදීම ද සිදු වේ. මෙම ග්‍රන්ථය සමඟින් එම ගීත අඩංගු සංයුක්ත තැටියක් ද ලබා දේ. එහි අන්තර්ගත වනුයේ එම චිත්‍රපට ගීතයන්හී මුල් නිර්මාණ වීම ද විශේෂත්වයකි.


කඩවුණු පොරොන්දුව මීගමුවේදී එළි දකී

බර්නාඩ් ශ්‍රීකාන්ත විසින් රචනා කළ නවතම ග්‍රන්ථය 70 වසරක කඩවුණු පොරොන්දුව ග්‍රන්ථය පසුගියදා එළි දැක්විණ. කඩවුණු පොරොන්දුව සිනමාටයට දායක වූ මිගමු පුරවරයේ කලාකරුවන් වන බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න, එඩී ජයමාන්න, රුක්මණී දේවි සහ හියුගෝ ප්‍රනාන්දු ආදි කලාකරුවන්ගේ විස්තරයන් මෙයට ඇතුළත් වේ. එමෙන්ම කඩවුණු පෙරොන්දුව පිළිබඳ සියලුම තොරතුරු ද ග්‍රන්ථයට අන්තර්ගතය. පුවත්පත් ඡායාරූප ශිල්පියකු ලෙස ද සේවය කරන බර්නාඩ් සිනමාව පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කොට ඇත.


බී. එස්. හා පුතු සුනිල්ගේ සංගීත ප්‍රසංගය 31

වැඩිම සිංහල චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑමෙන් වාර්තා තැබූ ජනප්‍රිය විකට නළු බී. එස්. පෙරේරාගේ 90 වයැනි ජන්ම දිනයත් ඔහුගේ පුතු සුනිල් වෙස්ලි පෙරේරා ගේ 62 වැනි ජන්ම දිනයත් නිමිති කොට උපහාර ගී පිදුම සංගීත ප්‍රසංගය මෙම මස 31 වැනිදා සවස 3.00 ට මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේදී පැවැත්වේ.


කරපිංචා ඕනෑ

සංජය ලීලාරත්නගේ කරපිංචා ඕනෑ වේ ෙවිදිකා නාට්‍යය එළඹෙන අප්‍රේල් මස 02 වනදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියෙට්ර්හි දී වේදිකාගත වේ. රාජසිංහ ලෝලුවාගොඩ, ලක්ෂ්මන් අමරසේකර, රොෂාන් ඔන්ඩච්චි, රත්නශීලා පෙරේරා ආදී නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙති.