වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ගල්ගමුව දුර හින්දා රස්සාවත් නැතිවුණා

ගල්ගමුව දුර හින්දා රස්සාවත් නැතිවුණා

අමාවි දනන්සූරිය

අමාවී දනන්සූරිය එකම ටෙලි සිතුවමක චරිත කිහිපයක්ම රඟමින් අප හමුවට පැමිණෙයි. දෙරණ නාලිකාවේ විකාශයවන මෙහෙමත් සමයං එම ටෙලි සිතුවමයි. එයට අමතරව ගජමුතුයාය, ආටක නාටක වැනි නිර්මාණ ඔස්සේද අමාවිගෙ දස්කම් දැකිය හැකිය. පසුගියදා නිමාව දුටු මිහිදුම් තරණය ටෙලි සිතුවමේ ඇය ප්‍රධාන භූමිකාවක නිරූපණය කළාය. මේ ඒ අමාවිගේ තවත් තතු සොයා කළ කතාබහකි.

* අමාවි මෙහෙම රඟපෑවාට හිටියට ඔබ ක්ෂේත්‍රයට පිවිසියේ ගුවන් විදුලි ශිල්පිණියක් ලෙස.

ඔව්. මට වයස අවුරුදු හතරෙදි විතර මං ගුවන්විදුලියේ ළමා පිටියට එකතුවුණා. එහෙම කාලයක් මං එහි විවිධ වැඩසටහන්වලට හඬ මුසු කරමින් හිටියා. නමුත් අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක මට දිගින් දිගටම ගුවන් විදුලියට යන්න එන්න බැරිවුණා. පසුකාලීනව මම මෝස්තර නිරූපණයට යොමුවෙන්න අවස්ථාව ලැබුණා. එතැනින් පසුවයි මං රංගනයට එකතුවෙන්නේ.

* මේ වන විට ඔබ නාට්‍ය කීයක විතර රඟපාලා තියෙනවද?

මගෙ පළමු නාට්‍ය තමයි මහේන්ද්‍ර පෙරේරාගෙ එස්. එස්. එල්. හිස්තැනක්. එයින් පසුව මේ වන විට මං නාට්‍ය විස්සක විතර රඟපාලා තියෙනවා.

* අමාවි කොයි කාලෙ වගේද ක්ෂේත්‍රයට එන්නෙ?

දෙදහස් දහහතරේ. බොහොම කෙටි කාලයයි මං ක්ෂේත්‍රයට ඇවිත්.

* මේ කාලය අතරතුරදි ඔබ ලැබූ ජනප්‍රියත්වය ගැන මොකද කියන්න තියෙන්නෙ?

සතුටුවෙන්න පුළුවන්. සමහර තැන්වලදී මිනිස්සු මාව හඳුනගෙන මගෙත් එක්ක කතා කරනවා. හැබැයි මං වැඩිපුරම ජනප්‍රිය ටෙලිනාට්‍ය හින්දා නොවෙයි. මගෙ වෙළෙඳ දැන්වීම් කිහිපයක් මේදිනවල විකාශය වෙනවා. ඒවා දැකලයි ගොඩක් දෙනෙක් මාව අමතන්නෙ.

* නිළියක්වීම ගැන මොකද හිතෙන්නේ?

නිළියක්වීම නිසා මට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. ඒ ලැබීම් වෙනත් වෘත්තියක් කළා නම් ලැබෙන්නෙ නැහැ. අද වනවිට මං වෘත්තිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ඒ ගැන මං තෘප්තිමත්.

* ඔබගෙ ගම බදුල්ල. කොළඹින් ටිකක් දුර බැහැර නිසා මුලදි මුලදි ඔබට අවස්ථාවන් අහිමිවෙන්න ඇති?

මට එහෙම වුණා. ගම බදුල්ල වීම සහ මගෙ විශ්ව විද්‍යාලීය අධ්‍යාපන කටයුතු නිසා මට සෑහෙන අවස්ථාවන් ගිළිහුණා. ඒවාට සම්බන්ධවෙන්න ලැබුණා නම් අද වන විට මං මීට වඩා දුර ගමනක් යන්න තිබුණා.

* ඔබේ පරපුරේ ඇතැම් නිළියන් ජනප්‍රියත්වය තකා සමාජයේ අවධානය ගන්න නොයෙක් දේ කරනවා. ඔබට අදහසක් නැතිද ඒවගේ වෙන්න?

කොහෙත්ම නැහැ. ඒ අයට මං මුකුත් කියන්නෙත් නෑ. එයාලා සේරම මගෙ යාළුවොනෙ. මං හිතන්නෙ මේ ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් ගියානම් ඇති. එතකොට ඉබේම ජනප්‍රියත්වය ලැබෙනවා.

* ඔබට වැඩිපුරම දායකවීමට ලැබුණෙ මෙගා නාට්‍යවලට. ඒවාට දායකවීමෙන් හැකියාව මොටවෙනවා කියලා හිතෙන්නේ නැතිද?

මේ කාලයේ වැඩිපුරම හැදෙන්නෙ මෙගා නාට්‍ය. ඒවට කතා කළාම බෑ කියන්නත් බැහැ. මොකද අපට ප්‍රතික්ෂේප කරන්න තරම් අවුල් සහගත චරිත නොවෙයිනෙ ඒවයේ අපට නිරූපණය කරන්න තියෙන්නෙ. මෙගාවලට හොඳ හෝ නරක මම කියන්නේ නැහැ. ඒ දෙස මං බලන්නෙ සාපේක්ෂව.

* ඔබ වැඩිපුරම කැමැති කුමන අන්දමේ චරිත රඟපාන්නද?

ඇත්තම කිව්වොත් මට කොමඩි චරිත තමයි වැඩිපුරම කරන්න පුළුවන්. අපේ පරපුරේ කොමඩි කරන නිළියො අඩුයිනෙ. නමුත් ලැබෙන චරිත මං හොඳට රඟපානවා. එහෙත් වඩාත් ප්‍රිය කොමඩි චරිතවලට.

* ටෙලි නාට්‍ය කරන්න ගිහින් අපහසුතාවයට පත්වූ අවස්ථා තිබෙනවාද?

අපොයි ඔව්. කිහිපයක්ම තියෙනවා. ගජමුතු යාය ටෙලි නාට්‍ය රූගත කළේ ගල්ගමුව වගේ කොළඹින් ගොඩක් දුර ඈත ප්‍රදේශවල. එහිදී අපමණ දුක් විඳින්න සිදුවුණා. මං ඒ නාට්‍ය රූගත කරද්දී රැකියාවක් කරමින් හිටියෙ. මට රැකියාව පවා අහිමි වුණා. එහෙ ඉඳන් කොළඹ එද්දි.

* යොවුන් නිළියක් විදිහට ක්ෂේත්‍රය තුළ ඇති අඩුපාඩු කෙසේද ඔබ දකින්නේ?

ඔබ ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. ක්ෂේත්‍රය තුළ මං දකින්නෙ එකම එක අඩුපාඩුවයි. ඒ සමහර ප්‍රඩක්ෂන්වල නළුනිළියන්ට ආරක්ෂාව නොමැතිවීම. මම දන්නෙ නැහැ ඔවුන් මොන අරමුණින් නිර්මාණ කරනවද කියලා. ක්ෂේත්‍රය තුළ මං දකින එකම සහ ලොකුම අඩුපාඩුව ඒකයි.

* අමාවිට ගැලපෙන තරුණ නළුවා කවුද?

එහෙම නළුවෙක් නැහැ. මේ රටේ නොවේ ලොවෙත් නැහැ.

* ඔබට ඔබේ පෙම්වතා ගැන විස්තර කියන්න පුළුවන්ද?

පෙම්වතෙක් ඉන්නවා.

* ඔහුගේ නම.

දැනට නම කියන්න බැහැ.

* ඔහු කියන්නෙ නැතිද දැන් රඟපෑවා ඇති කියලා?

ඔහු මට එහෙම කියන එකක් නැහැ. මොකද ක්ෂේත්‍රය තුළ සැරිසරද්දියි ඔහුව මට හමුවන්නෙ.

* අමාවි විලාසිතාවලට බර චරිතයක්ද?

ඔව්. මං ගොඩක් විලාසිතා කරනවා.

* නිර්මාණයක් වෙනුවෙන් කෙටි ඇඳුම් වුණත් අඳිනව?

ඒකටත් කියන්න තියෙන්නෙ ඔව් කියලා. ඇඳුම්වලදි වාරණයක් නැහැ මට.