වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




රමණය, දමනය, මරණය අතර දෝලනය වන භාවමය කම්පනය සුළඟ ගිනි අරන්

චිත්‍රපට විචාරය

රමණය, දමනය, මරණය අතර දෝලනය වන භාවමය කම්පනය සුළඟ ගිනි අරන්

හොඳ නරක හමුවේ පරමාර්ථය විනිවිද දකින අන්ත දෙකක් සියුම් තලයක රඳවා සිනමා භාෂාව පර්යේෂණයට ලක් කළ මරණය, බය, කුතුහලය තුළ යටි අරුත පසක් කරන්නට සමත් සිනමා කෘතියක් ලෙස 'සුළඟ ගිනි අරන්' විවිධ මාන ඔස්සේ සාකච්ඡාවට බඳුන් විය යුතු යැයි සැලකිය හැකි නිර්මාණයකි.

අඳුුරේ දකින ශ්වේතාලෝකය ආලෝකයේ එළියට විද්‍යාමානව විමුක්ති ජයසුන්දර ලබා දෙන්නට උත්සාහ ගන්නේ 'සුළඟ ගිනි අරන්' නම් වු අපූරු තේමාවකි. මෙම සිනමා ව්‍යායාමය හරහා විමුක්ති ලැබූ හෝ ලබන විමුක්තිය ප්‍රේක්ෂක ග්‍රහණයට කොතරම් ලක් වේද යන්න තවදුරටත් විමසා බැලිම වටී.

කැමරාවට හසු කරගත් ස්වභාවික දීර්ඝ රූප චාරිකාවකින් විමුක්ති ජයසුන්දර ප්‍රේක්ෂකයාට සමීප වෙන්නට උත්සාහ දරා තිබේ. නිහඬ තලයක දෘශ්‍යමාන වන රූපාවලිය සාගර රළ හඬන ස්වභාවයක් ඒත්තු ගන්වයි. එය මුහුදු රළක්ම බව පසක් කරවමින් ක්‍රමයෙන් දිය රැල්ලේ තරම වැඩි දියුණු වී පෙන පිරී ශ්වේත වර්ණයකින් දිස්වෙයි. නැඟුණු පෙන දෑසට පෙනි පෙනී තුනී වී යයි. ගල්පර හිඩැස් මත ඉතිරියක් රැඳෙයි. සිහින් රාවයක් ඒ අතරින් සවනට මුසු වෙයි.

මෙම භාවාත්මක අත්දැකීම සමීප රූප තලයක නිර්මිත, කියමන වියමනක් බවට පත් වෙයි. ඒ අවසන් වසරේ සිට සියල්ල අත්හල වෛද්‍ය ශිෂ්‍යයාගේ රූපමය භූමිකාව මතිනි. මැරෙන මිනිස්සු බේරා ගැනීමේ අදිටනින් වෛද්‍ය පීඨයට ගියත් මරණය ගැන බය කුතුහලය සේම මරණය ගැන කිසිම දැනුමක් නැත යන පුරෝකථනය රඳවන්නේ වෛද්‍ය ශිෂ්‍යයා සසුනට සම්ප්‍රාප්තවීමත් සමඟිනි. තප්පරයෙන් තප්පරයට අප මරණයට ලං වෙන බව නම් වූ සදාතනික සත්‍යය දීර්ඝ රූපාවලියකින් ඒත්තු ගන්වමිණි. ජීවිතයට අරුතක් දීමට හෝ කසාවතින් සැරසී භාවනාව ප්‍රගුණ කරන සංකේතය ඉන් හුවා දක්වයි. සියලු සත්වයින්ට අදටත් අමතකව තිබෙන 'මාරයා ගැන අවතක්සේරු කරන්න එපා තීරණය එතැන බව' ප්‍රකාශය මෙහි එක් අන්තයකි.

විටෙක වෙහෙසකර වුවත් බලා සිටිය යුතු දීර්ඝ රූපාවලියකින් අනතුරුව, අනතුරක් හා භික්ෂුව දැකීම හරහා දෙවෙනි අන්තයට සිනමා කෘතිය පිවිසෙන්නේ දන් පිණිස උදව්වක් සේ සළකා වකුගඩු දෙකෙන් 'එකක් දන් දීම' යහපතක් බව කියැවෙන සංලාපයකිනි. ඔහු (මහේන්ද්‍ර පෙරේරා) මෙම ව්‍යාපෘතියේ අතරමැදියෙකි. රංගන සොබාව ධනාත්මක මුසුවකි.

මේ සියල්ලේ සමස්තය කැටිකොට මුඛ්‍ය භූමිකාව අනතුරුව ආදේශ වෙයි. වෛද්‍යවරයාගේ චරිතය (ස්ටීව් ලා ද සිල්වා) මාන කීපයකින් අධ්‍යයනය විය යුතු, සාකච්ඡාවට ලක් විය යුතු දෘශ්‍යමය පථයකි. හේ අමානුෂික සිතිවිලිවලින් පෝෂණය වූවෙකි. දන් දෙන්නා මිය යාම ඔහුට සරල සිතිවිල්ලක් වැනිය. තරුණියක් නම් ශල්‍යකර්මයට පෙර හෝ පසුව හෝ රමණයකට අකාරුණිකව හෝ පොළඹවා ගනියි. රුපියල් සත මත පමණක් යැපෙන ව්‍යාධියකින් පෙළෙන බව හැසිරීම් භාවිතාවෙන් ඒත්තූ ගැන්වෙයි.

රියදුරා, වෛද්‍යවරයා අතර ගමන් හා බැඳුණු රූප සම්බන්ධය තුළ විලෝමයක් දැකගත හැකිය. එහි පරස්පරතා ඇති සේය. බොහෝ රූප එකම මානයක දීර්ඝ ලෙස දෘශ්‍යමාන වීම විටෙක වෙහෙසකර බවක් හඟවයි.

ගස් දෙබලක සමීප රූපය, එළිය වර්ධනය වීම, ආලෝකයේ ප්‍රභාව, කටුස්සාගේ අති සමීප රූපය, භික්ෂුවගේ හිස මත සිටින වන්දාගේ දර්ශනය, භික්ෂුවගේ පසු කථනය, ශරීරය පස අතරට පිවිසීම හා බැඳුණු පසුබිම් ප්‍රකාශනය, මුලාව හා ජීවිතය - දහම හා නිර්වාණය පිළිබඳ රූ පෙරළිය ද අපූරුවකි.

ස්වීඩන සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් තම සිනමා භාවිතාව තුළින් ගැඹුරු රූපමය ශෛලීන්, අර්ථකථන අභ්‍යාසයන්, මනස ගැඹුරින් විග්‍රහ කෙරුණු රූප අවකාශ විනිවිද දුටු අන්දම අතීයේ විවිධ අයුරින් සංවාදයට ලක් වී තිබේ. එහි හරස් කඩකින් එහා ගිය වත්මන් මානයක නවමු ගති සොබා විමුක්ති ජයසුන්දර තම ඇසට හසුකර ගෙන තිබෙන බවට සාධක මෙම සිනමා කෘතිය තුළින් ඉස්මතු වෙයි.

මානසික පීඩනයකින් පෙළෙන තරුණිය (සුරංගා රණවක) මුහුණ දෙන වියවුල ඛේදයකි. වෛද්‍යවරයාගේ හස්තයට හසුවන ඈ විඳින තත්ත්වයන් ජුගුප්සාජනකය. ඇය වෛද්‍යවරයාගේ කාම පිපාසිත ක්‍රියාකාරකම් සඳහා අධම ලෙස අපහරණයට ලක්වේ. අපහරණයෙන් වෛද්‍යවරයා බලාපොරොත්තු වූ සංතුෂ්ටිය, සැබෑම අසංතුෂ්ටියක් බව අධ්‍යක්ෂවරයා විසින් ඒත්තු ගන්වයි. සිහිසුන් කරන ලද තරුණියගේ සිරුර මත වැතිර රමණයෙහි යෙදීම, හැඬීම, කෑගැසීම ඉන් අරුත් ගන්වයි. ආවේගය අවස්ථා කීපයකදීම මෙසේ වෛද්‍යවරයාගේ මුවින් පුපුරා පිටාර ගලන්න පටන් ගන්නේ අනතුරුවය.

කාමුක හැසිරීම හා බැඳුණු සංතර්පණය සෘණ විම වින්දනයේ නිස්සාරත්වය ජීවිතය දැකීම හැ¼ඩීම වැස්ස ආලෝකය ආදී රූපන හරහා වචනයෙන් ලොප් වූ බොහෝ කීමට ඇති දේ රූපයෙන් දෑස් කෙවෙනි තුළ කිඳා බසිති. බෞද්ධ සංකල්පය හර පද්ධතීන් සමුදායක් මින් අරුත් ගන්වන්න අධ්‍යක්ෂවරයා සමත් වී ඇති බව හැඟීමයි. අතරමැදියා සහ වෛද්‍යවරයා අතර එක් මානයක් ඔස්සේ දිවෙන දීර්ඝ රූපාවලියක්, වලක් කැපීම, ගිනි තබා ගැනීම අතරට මුසුවන ලොකු හාමුදුරුවන්ගේ අපවත් වීම, භික්ෂූවගේ නික්මීම හරහා ප්‍රතිවිරුද්ධ රූප ඡේදන හා ගැටෙමින් අපූරු රූපාවලියකින් අධ්‍යක්ෂවරයා සිනමා කෘතිය පුරා රැගෙන එන අන්ත දෙක ඡේදනය කරවයි. සුළඟ, ශ්වේත වර්ණ මල් ගොමුව දෘශ්‍යමය ආලෝකයකින් පිරිපුන් දර්ශන තලයක බද්ධ වෙයි. ස්වභාවික පරිසරය තුළින් රූප විඥානය සංකේතවත් කරයි.

වෛද්‍යවරයාගේ පිලිස්සී ගිය විකෘති රූපකාය විරූපී දසුන 'පාපය ගෙවෙන තෙක් පාපයෙහිම ගැලි සිටිය යුතු වේ' යන දහම දෘශ්‍යමාන කරවයි. මරණයට ද ළඟා විය නොහැකිව වේදනා විඳිය යුතු බව කියයි. 'අවබෝධය' මිනිස් සිතිවිලිවලට ග්‍රහණය කරවයි. කුසලය, අකුසලය අතර දෝලනය වන සැබැ සාරවත් වියමනක් මෙහි ගැබ්ව ඇති බව තවදුරටත් අරුත් ගැන්වෙයි.

භික්ෂුව කැලයට වඩියි. විටෙත වෛද්‍යවරයාගේ විකෘති රූප කාය (අවතාරය?) ගමට පිවිසෙයි. යළි යයි. ඉඳහිට වෛද්‍යවරයාගේ ආවේගාත්මක කෑගැසීම කැලයෙන් ඇසෙන බව බල්ලෙකුට වුව ද දරා සිටීමට නොහැකි කම්පනයකි. හාමුදුරුවෝ නිවන් දුටු බව, කැලයට ගිය රෝගී වූ අය සුව වී ආ බව ගමේ ජීවත්වන ගම්මන්ගේ මතය බව කියැවෙයි. එසේම තවත් කතා අතර 'මරණයත් කතාවක්' බව ගම්මුන්ගේ සංවාදයකින් අධ්‍යක්ෂවරයා ඒත්තූ ගන්වන්නට උත්සාහ ගෙන තිබේ.

වෙනත් පිළිසරණක් නොමැති නිසා රැකියාව කරමින් සිටින රියදුරු (රොෂාන් රවීන්ද්‍ර) ගේ භූමිකාව ගුප්තය. මන්ද මානසික තරුණිය (සුරංගා රණවක) ගේ රංගනය රූපමය අර්ථකතනයක් ලෙස රැඳී ඇත්තේ කියමනක් නැති තරමටම එය රූපමය හැසිරීමක් පමණක්ම වන බැවිනි. උසට සරිලන තර නැති සෘජු පෞරුෂයකින් හෙබි වෛද්‍යවරයා (ස්ටීව් ලා ද සිල්වා) ගේ චරිතය තුළින් රංගන කාර්යයක හසුරු කුසලතා අධ්‍යක්ෂවරයා උරාගෙන තිබේ. ඒ උරා ගැනීම මත ප්‍රේක්ෂකයා තුළ පිහිටන්නේ වියරු කෝපයකි. සැබවින්ම නිරුපණය සාරගත වීම එහි අරුත යැයි හැඟේ. ('චී' ප්‍රේක්ෂකාගාරය තුළින් සිනමා දසුන නරඹද්දී එම චරිතයට ලැබුණු සජීවී තත්‍ය ප්‍රතිචාරයකි). හැබෑම කළු චරිතයක නිරූපන එහි ගැබ්ව තිබේ.

ශල්‍යකර්මය අසාර්ථකව රෝගීන් මිය යාම, රුධිරය වැකුණු දෑත්, අතහැර දැමීම, හුදකලා වීම, කිරීම, බත්පත වතුර බෝතලය රැගෙන රැඳී සිටින රියදුරා, මී පැටවෙක් රැඳුණු එල්ලෙන අත් ආවරණයක් වැනි දෙයක්, සමාජ ශාලාවක සිදුවන ගුටිබැට හුවමාරුව, ශරීර කෘත්‍යයට යාම හා ඊම, ළදරු කලලයක සමීප රූපය ආදී වූ රූපමය බද්ධයන් තුළ සංස්කරණයේ ලුහු තැන් ඇත්තේ ද යන කුහුල මතුවන අවස්ථා තිබේ. එහෙත් සිනමා කෘතියට සංස්කරණ ශිල්පී සමන් ඇල්විටිගලගෙන් ලැබී ඇති ආලෝකය ලඝු කොට තැකිය යුතු නොවේ. සීමාසහිතව භාවිත මියුරු විටෙක ගැඹුරු නාද සංයෝජන (ලක්ෂ්මන් ද සේරම්) භාවනාවක් බඳුය, රූප පසුබිමෙහි තූලනය වන සියුම් රේඛාවක් වැනිය.

හසුරු කුසලතා සපිරි චන්න දේශප්‍රියගේ රූප රචනයෙහි ප්‍රශස්ත බව ගැඹුරින් අධ්‍යයනය කිරීම වටී. අංකුර සිනමාකරුවන්ට හොඳ අධ්‍යයනයකි. සිනමා රූපී භාෂාව පිළිබඳ භාවමය අත්දැකීමක්, නිපුණතාවක් ලබන්නට 'සුලඟ ගිනි අරන්' සිනමා කාතිය සජීවි අභ්‍යාසයකි. එසේම යටි පෙළ අරුත වටහා ගන්නට අවශ්‍ය සංකල්ප සිනමා කෘතියෙහි අන්තර්ගතව තිබීම ද සැලකිය යුතු මනාය.

විදෙස් සිනමා උත්සව ගණනාවක් නියෝජනය කරමින් ලෙව පුරා ප්‍රේක්ෂකයන්ට සිනමාස්වාදය ලබන්නට හිමිකම් ලද එහෙත් සිමාසහිත සිංහල සිනමා ප්‍රේක්ෂකයන්ගේ ඇස ගැටෙන 'සුළඟ ගිනි අරන්' සිංහල සිනමා වංශ කථාවෙහි මතු දවස තුළ සමාජමය කතිකාවකට මුල පිරෙන ගිනිදලුවක් වනු නිසැකය.