වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න

ඉම්පීරියල් අද “පහ සමත්” හදයි සිවගුරුනාදන් ගේ තුන්වැන්න

මෙරට පැරණිතම චිත්‍රපට ප්‍රදර්ශන සමාගමක් වන නිව් ඉම්පීරිල් ටෝකීස් සමාගම අති සාර්ථක සිකුරු හතේ චිත්‍රපටයෙන් පසු නිපදවන දෙවැනි චිත්‍රපටය. පහ සමන් මුගුරන් උළෙල අද කොළඹ බේබෲක් පෙදෙසේ ඉම්පීරිල් කාර්යාලයේ පැවැත්වේ.

එය ජයප්‍රකාශ්සිවගුරුනාදන්ගේ තෙවැනි අධ්‍යක්ෂණයයි.

අයිරාංගනී සේරසිංහ, ගිරිරාජ් කෞශල්‍ය, පි‍්‍රයන්ත සෙනෙවිරත්න, උද්දික පේ‍්‍රමරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, ශ්‍යාමි ප්‍රනාන්දු, උදාරි වර්ණකුලසූරිය, සද්ධා මංගල සූරිය බණ්ඩාර, දයාදේව එදිරිසිංහ, මැල්කම් මචාචෝ, සරත් චන්ද්‍රසිරි, මල්කාන්ති ජයසිංහ, දයානන්ද හේවගේ සමඟ උපතිස්ස බාලසූරිය මෙහි චරිත රංගනයේ යෙදෙයි. 5 සමත් සමඟින් අමිරු කෝරලගේ, සේජාන් හංසන තත්ත්‍රිමුදල්, කවිඳු කසුන්දරා, ෂරාඩ් චන්ද්‍රම් සහ ඔහාෂිත කාන්ගරාග් යන ළමා නළුනිළියන් තිරයට හඳුන්වා දෙයි. මෙම සිනමාපටයේ කතාව දෙබස් තිර රචනය රසික සුරවීර ආරච්චිගෙනි. තුසිත අනුරාධ කුමාර අධ්‍යක්ෂවරයාය. සංගිත අධ්‍යක්ෂණයෙයන් ආචාර්ය රෝහිත වීරසිංහ දායක වේ. මනෝජ් වික්‍රමසිංහ කලා අධ්‍යක්ෂකයෙකි, රවීන්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්ද, රුචිර සංජීව අංග රචනයෙන් ද ශ්‍රී ලාල් වික්‍රමසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් ද 5 සමත් සඳහා දායක වේ. රසික සූරවීරආරච්චි, බන්දුල නානායක්කාර වසම් සහ නන්දන වික්‍රමගේ ගීපද රචකයෙකි.

ගී තනු නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහ මහේෂ් දෙනිපිටිය සහ කපිල සුගල ආරච්චිගෙනි. අනුරාධ බී රැකව සහ සුසිල් ජයසේකර 5 සමත් හි විධායක නිෂ්පාදකවරුන්ය.


ඇන්ටන් අල්විස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන පුවත්පතේ කලාවේදියෙකු චිත්‍රපට තිරනාටක රචකයකු ගීත රචකයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ ඇන්ටන් අල්විස් පසුගිය 26 වැනිදා අභාවප්‍රාප්ත විය. කලක් ටයිම්ස් ලංකාදීප පුවත්පතෙහි සේවය කළ ඔහු පසුව පෙරමග සඟරාවේ කතුවරයා ලෙස ද දිගුකලක් කටයුතු කළේය. චිත්‍රපට තිරනාටක රචකයෙකු ලෙස මධුසිහින, දෙව්දුව, චිත්‍රපට රැසක තිර නාටක රචකයා විය. ඡායා ඔහුගේ එකම සිනමා නිෂ්පාදනයයි. ඇන්ටන් අල්විස් මහතා විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ දයාබර ස්වාමි පුරුෂයා ද වෙයි.


ඉස්කෝලෙට මං ආවා රූ ගැන්වීම් නිම වේ

සඳුන් දොළමුල්ල නිෂ්පාදනය කළ ඉස්කෝලෙට මං ආවා ළමා සිනමා චිත්‍රපටයේ රූගත් කිරීම් පසුගියදා නිම විය. එය මේ වනවිට සංස්කණය වෙමින් පවතියි. පාසල් යාමට ආසාවෙන් පසුවන දූගී එනමුත් ඥානවන්ත ළමයකු වටා ගෙතුන කතා පුවතක් ඔස්සේ නිර්මාණය වූ ඉස්කෝලෙට මං ආවා සිනමාපටයේ කුමාර මදුරැස්ස, එඩ්නා සුගතපාල, රොෂානා ඔන්ඩච්චි , උදිත් අබේරත්න, රාජිත හිරාන්, චාමිකර (පිංපෙං) උපුල් විරසිංහ (උපුල් මාමා), ජයතිස්ස අතුලසිරි, තේජා නදීශානි, විරාජ් මධුශාන්, ජගත් ඇපලදෙනිය ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. සුමිත් කුමාරගේ කැමරා අධ්‍යක්ෂවරයාය, ප්‍රසන්ත විජේසිංහ සහය අධ්‍යක්ෂණයෙන් ද, අශෝක චාමින්ද වාස් කලා අධ්‍යක්ෂණයෙන්ද, රසික තෙන්නකෝන් අග රචනයෙන් ද මෙයට දායක විය. ඉස්කෝලෙට මං ආවා හි නිෂ්පාදන සම්බන්ධීකරණය රන්ජන් ප්‍රසන්නගෙනි. සංස්කරණය ශාන් අල්විස් විසින් සිදු කරයි. මෙම සිනමාපටයේ කතා සංකල්පය සඳුන් දොලමුල්ලගෙනි.


ආචාර්ය අරෝෂගෙන් චිත්‍රපට ද්විත්වයක්

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපට ද්විත්වයක කටයුතු මේ සතියේ ඇරැඹීමට නියමිතය. රවී චන්ද්‍රසිරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන රාක්ෂ සහ අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරනු ලබන එක දවසක අපි එම චිත්‍රපට යුවළයි. අරෝෂගේ 13 වැනි සහ 14 වැනි චිත්‍රපට නිෂ්පාදන ද්විත්වය වන මේවා නුවර, නුවරඑළිය ආදී ප්‍රදේශවල රූගත කිරීමට නියමිතය. රාක්ෂ චිත්‍රපටයේ සම නිෂ්පාදනයෙන් ආර්. පී. තිස්ස දායක වී සිටියි. රාක්ෂ චිත්‍රපටය වෙනුවෙන් නවක නළු නිළියන් තෝරා ගැනීම වෙනුවෙන් තිර පරීක්ෂණයක් අප්‍රේල් මස 02 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථාවේදී පැවැත්වේ.


අනුර මාධව ගෙන් අගනා ග්‍රන්ථයක් 5 දා දොරට වඩී

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ අනුර මාධව ජයසේකර රචනා කළ රූපවාහිනියට 35යි ගුවන්විදුලියට 91යි ග්‍රන්ථය එළඹෙන අපේ‍්‍රල් මස 05 වැනිදා සවස මහවැලි කේන්ද්‍රිය ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. මෙය රූපවාහිනිය සහ ගුවන් විදුලි මාධ්‍ය මෙතෙක් පැමිණි ගමන් මඟ පිළිබඳ විග්‍රහ කෙරෙන ග්‍රන්ථයකි.


කාන් උළෙලේ කෙටි චිත්‍රපට අංශයට දුලංක ගේ ෆේඩඩ් සෝල්

ලොව ඉහළ ගණයේ සිනමා උළෙලක් ලෙස ගැනෙන ප්‍රංශයේ කාන් සිනමා උළෙලෙහි මෙවර කෙටි චිත්‍රපට අංශය සඳහා මෙරට නිර්මාණය වූ කෙටි චිත්‍රපටයක් ඉදිරිපත් විය. ඒ දුලංක දේවේන්ද්‍ර අධ්‍යක්ෂණය කළ ෆේචඩ් සෝල්ය. ළමා අපචාරයන් පිළිබඳ කතාබහ කෙරෙන මෙය දසුන් සුධිර ජයසිංහ නිෂ්පාදනය කොට තිබේ. රුවින් ද සිල්වා, ටුසී ජයසිංහ සහ විශ්වි අංජන මෙහි චරිත රංගනයේ යෙදෙයි. විසිතුන් හැවිරිදි වියේ පසුවන දුලංක කාන් උළෙල සඳහා චිත්‍රපටයක් ඉදිරිපත් කරන ළාබාල තරුණයාය.


වාර්තා චිත්‍රපට දැක්මත් සමඟ ග්‍රන්ථයක් 05 දා

සුමින්ද කිත්සිරි ගුණරත්නගේ දෘශ්‍යාත්ම මානව විද්‍යාව සහ ශ්‍රී ලාංකේය මානව වංශලේඛ චිත්‍රපටය කෘතිය එළි දැක්වීම සහ දෘශ්‍යාත්මක මානව විද්‍යා චිත්‍රපට උළෙල එළඹෙන අපේ‍්‍රල් මස 05 වැනිදා සවස ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදි පැවැත්වේ. චිත්‍රපට උළෙලේ සමාරම්භය එදින සවස 1.30ට රොබට් ජේ. ෆ්ලැහාටි ගේ නැනුක් ඔෆ් ද නොත් සිනාමා කෘතිය තිරගත වීම සමඟ සිදු වේ. සවස 2.30ට බැසිල් රයිට්ගේ ද සෝන්ග් ඔෆ් සිලෝන් සිනමාපටය තිරගත වේ. කෘතිය එළිදැක්වීම සවස 3.30ට සිදු වේ. මහාචාර්ය ගාමිණී සේනානායක මෙදින මුලසුන හොබවනු ලබයි. ප්‍රධාන දේශනය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙනි. කෘතිය හඳුන්වාදිම මහින්ද සෙනරත් ගමගේ විසිනි. මෙදින ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුගතපාල සෙනවිරත්න සහ තිස්ස ලියනසූරිය යන සිනමාවේ විශිෂ්ටයින් මෙදින සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

උළෙල අවසානයේ සුදත් මහාදිවුල්වැවගේ සත්වෙනි සැදැවේ ගීතය චිත්‍රපටය තිරගත වීමට නියමිතය.

මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, ආචාර්ය ජයන්ත වත්තෙවිදාන,ඈෂ්ලි. රත්නාභූෂණ, තුෂාර ලියනගේ මෙම අවස්ථාවට ආරධිතයන් ලෙස සහභාගි වෙති.