වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




31 දා සවස මහරගම දී හම්බ වෙමු ද?

31 දා සවස මහරගම දී හම්බ වෙමු ද?

“මම මේ ප්‍රසංගය ගැන අනුග්‍රාහකත්වයක් ගන්න අපේ රටේ නම ගිය ආයතන කිහිපයකට ම ගියා. ඒත් ඒ ආයතනවලින් කිසිම උදවුවක් මට ලැබුණේ නැහැ. ලාෆ් ආයතනය අයිති වැගපිටිය මහත්තයා පෞද්ගලික ප්‍රයෝජනයකින් තොරව ලොකු උදවුවක් කළා. කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ම සිටින මට ආදරය කරන අය කළ උදවු මා මෙහිදි සිහිපත් කරනවා. මගේ වියදමෙන් මා ප්‍රසංගය කරනවා. ඒ මොන දේ නොලැබුණත් එදිනට මගේ රසිකයන් ප්‍රසංගය නරඹන්නට පැමිණේවි කියන විශ්වාසය මට තිබෙනවා.”

‘කුමාරයා මං’

පසුගිය දවස්වල හැමතැනම දකින්නට ලැබුණු දැන්වීම් කිහිපයක ම සටහන් වී තිබුණේ එහෙම.

“ කවුද මේ කුමාරයා?”

දක්ෂ කුසලතා පූර්ණ රංගන ශිල්පියකු විදියට ඔබ හමුවට එන මේ කුමාරයා කාලයකට පස්සේ අලුත් ම කටයුත්තකට මුල පුරලා.

“කවුද ඒ?”

මේ වගේ ප්‍රශ්නයක් ඔබගේ සිතේ නළියන බව මා දන්නවා.

‘කුමාර තිරිමාදුර’

එහෙමත් නැත්නම් කලා ලෝකයේ කාගෙත් ආදරණීය ‘තිරී’ගෙන් ‘කුමාරයා මං’ ගැන මා විමසුවා.

“මොකක් ද ඒ?”

“කාලයකට ඉස්සර මගේ සිතේ තිබුණ සිහිනයකුයි මේ හැබෑ වෙන්නේ. මේකයි මගේ දෙවැනි මංගල්ලය.”

තිරිමාදුර කිව්වා. මගේ සිතේ කුහුලක් ඉපදුණා.

“තිරිමාදුර ආයෙත් විවාහ වෙනවා ද?”

ඒ වෙලාවෙයි ඔහු මේ මංගල්ලය ගැන තොරතුරු කියන්න පටන් ගත්තේ.

“මඟුලක් ගන්න විට අප කරන්නේ හෝල් එක බුක් කරලා සරසන එකයි. ඒ වගේ ම මමත් හෝල් එකක් බුක් කරලා, සරසලා, සංගීත කණ්ඩායමත් ගෙනැවිත් මගේ දෙවැනි මංගල්ලයයි මේ ගන්නේ. ඒ ‘කුමාරයා මං’ නමින් මගේ ගීත ඇතුළත් ප්‍රසංගයක්.”

“මේ මංගල්ලය තිබෙන්නේ කවදද? කොහේද?”

“මේ මස 31 වැනිදා පස්වරු 7.00ට මහරගම තරුණ සේවා සභා ශාලාවේදියි එය පැවැත්වෙන්නේ.”

“එදිනට ‘කුමාරයා මං’ පැවැත්වෙන්නේ කුමන ආකාරයකට ද?”

“එදාට වෙනස් විදියකටයි මේ කටයුත්ත සිදුවන්නේ. ගිරිරාජ් හා ගිහානුයි මේ ප්‍රසංගය මෙහෙය වන්නේ. එතැනදි මගේ පැටිකිරිය, සින්දු කියන්න ගිහින් සිදුවුණු ඇබැද්දි ඇතුළු බොහෝ දේවල් බොහොම රසවත් ව මේ ඔවුන් හෙළි කරාවි. ප්‍රසංගාත්මක විදියට සිදු වන මේ කටයුත්තේදි නාට්‍ය ගීත වගේ ම සරල ගීතත් ගයන්නට මා සූදානම්. මට සංගීතයෙන් සහය වන්නේ බ්‍රිග් බ්‍රදර්ස් සංගීත කණ්ඩායමයි.”

“ඒ වගේ ම ‘කුමාරයා මං’ ප්‍රසංගයේදි රංගනයකුත් ඉදිරිපත් වෙනවා”

“රොඩ්නි වර්ණකුල, විමල් ජී. දොඹගහවත්ත, ගිහාන් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞශල්‍ය, සරත් කොතලාවල, අනූෂා දමයන්ති, හේමන්ත ඊරියගම, චින්තක පීරිස්, ජනක රණසිංහ, පුබුදු චතුරංග ඇතුළු රංගන ශිල්පීන් දාසයක් පමණ එදිනට රංගනයෙන් සහය වෙනවා.”

“මේ මංගල්ලය තියන්න හේතු වන කාරණා කුමන විදියට ද පෙළ ගැසුණේ?”

“මෙතෙක් මා ගැයූ පැරැණි හා අලුත් ගීත අතරින් ගීත දාහතක් තෝරා ගනිමින්, සරත් ද අල්විස්ගේ සංගීත සංයෝජනයක් යටතේ ‘ඈ මට ආදරෙයි’ නමින් සංගත තැටියක් එදිනට එළිදැක්වීමට නියමිතයි. එයයි මේ කටයුත්තේ ප්‍රධාන නිමිත්ත වන්නේ.”

“ඊට අමතරව”

“මේ සංගත තැටියේ තිබෙන විශේෂත්වය වන්නේ මගේ දුව වැඩිවියට පැමිණුනු දවසේ ලියන ලද ගීතයක් ඇතුළත් කර තිබීමයි. ඒ ගීතය දර්ශන රුවන් දිසානායකගේ සංගීතයට, ගැයුවේ ප්‍රවීණ ගායක එඩ්වඩ් ජයකොඩියි. එඩ්වඩ් ජයකොඩි ගැයූ ගීතය ඔහු ලංකාවේ නොමැති නිසා එදිනට ගයන්නේ රොහාන් ශාන්ත බුලේගොඩයි. මෙහිදි මේඛලා ගමගේ සමඟත් මා යුග ගීතයක් ගයනවා. ඒ වගේ ම මගේ යහළුවකු වන අසේල ජයකොඩිට මගේ සිතේ තිබෙන ආදරය නිසා ම මා ඔහුගේ දුවත් සමඟත් ගීතයක් ගැයීමටත් එදිනට සූදානම්. එය සිදුවන්නේ ඔහුට උපහාරයක් පිණිසයි.”

“මීට අමතරව”

“මගේ කලා ජීවිතයට වසර තිහක්. ඒ කාරණයත් එදිනට සමරනවා.”

“දිනෙක ඔබගේ ම කියලා ගීතයක් ගයන්නේ”

“1991 වසරේ. ඒ ජාතික රූපවාහිනියේ තිබුණු ස්වතන්ත්‍ර ගී නිර්මාණ තරගයක් කියන වැඩසටහනටයි. ධර්මරත්න පෙරේරා ගී පද රචනය කළ නවරත්න ගමගේ සංගීතය නිර්මාණය කළ මේ ගීතය ‘තල් වැට අයිනේ...’යි.

‘මහරගමදි හමුබ වුණේ මේ උඩැක්කි කෝලම’

මේ ගීතය බොහෝදෙනා අතර බොහොම ජනප්‍රියයි”

“විමල් ජී. දොඹගහවත්ත පදරචනය කළ මේ ගීතය පුදුම විදියට රසිකයන් වැලඳ ගත්තා. සුනෙත් කැලුම් සංගීතය නිර්මාණය කළ මා පදරචනය කළ ‘මං බොරැල්ලේ ඈ බදුල්ලේ...’ගීතයත්, ‘ඈ මට ආදරෙයි’ ගීතයත් ඒ වගේ ම කා අතරත් ජනප්‍රියත්වයට පත්වුණු ගීත දෙකක්.”

“මේ ගී ගයන ආසාව ඔබගේ සිතේ පිළිසිඳ ගන්නේ කුඩා කලයේමයි”?

“මම කලාවට පිවිසෙන්නේ ගී ගයන්න ආසාව හිතේ තියාගෙනයි. වේල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගනිද්දි මාත් සමඟ අසංග ප්‍රියමන්තත් සිටි බව මට මතකයි. මගේ මුල් ම ගායන ගුරුවරිය වුණේ ශාන්ත රමණී ඩයස්. ඈත් සමඟ මුතුහර ළමා සමාජයට වගේ ම වෙසක් භක්ති ගීත ගයන්නත් මා ගියා.”

“සංගීතය ඉගෙන ගන්න ඔබ ලයනල් රන්වල මහත්තයා ළඟටත් යනවා”

“ඒත් වැඩි කාලයක් ඔහුගෙන් සංගීතය ඉගෙන ගන්න ලැබෙන්නේ නැත්තේ භීෂණය ආව නිසා. එතැනින් ම මගේ සංගීතය ඉගෙන ගැනිල්ල මග හැරෙනවා.”

“ඒත් ඔබ ඒ අදහස ලෙහෙසියෙන් අතහරින්නේ නැහැ.”

“ගීත ගැයීමට පුළුවන් නිසා ම මා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වගේ ම ධම්ම ජාගොඩ මහත්තයාගේ ගායක කණ්ඩායම්වලට බැඳෙනවා. ඒ අතර මා රඟපානවා.”

“‘කුමාරයා මං’ ප්‍රසංගය ප්‍රසංගාත්මකව ඉදිරිපත් කිරීමේදි බරපැන කොහොම ද දැරුවේ?”

“මම මේ ප්‍රසංගය ගැන අනුග්‍රාහකත්වයක් ගන්න අපේ රටේ නම ගිය ආයතන කිහිපයකට ම ගියා. ඒත් ඒ ආයතනවලින් කිසිම උදවුවක් මට ලැබුණේ නැහැ. ලාෆ් ආයතනය අයිති වැගපිටිය මහත්තයා පෞද්ගලික ප්‍රයෝජනයකින් තොරව ලොකු උදවුවක් කළා. කුරුණෑගල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ම සිටින මට ආදරය කරන අය කළ උදවු මා මෙහිදි සිහිපත් කරනවා. මගේ වියදමෙන් මා ප්‍රසංගය කරනවා. ඒ මොන දේ නොලැබුණත් එදිනට මගේ රසිකයන් ප්‍රසංගය නරඹන්නට පැමිණේවි කියන විශ්වාසය මට තිබෙනවා.”

කුමාර තිරිමාදුර පැවසුවේ බොහොම විශ්වාසයෙන්.

එන්න, ඔබත් ‘කුමාරයා මං’ නරඹන්න මහරගම තරුණ සේවා සභා රඟහලට. අප ආරාධනා කරන්නේ ඔබටයි. එදිනට කුමාරාගේ මේ උඩැක්කි කෝලම ගැන දැන ගන්නට ඔබට හැකියාව ලැබේවි.