වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා අඹරේ තාරකාවක් කඩා වැටෙයි

සිනමා අඹරේ තාරකාවක් කඩා වැටෙයි

රේඛාවට තෝරාගන්න සිටි අශෝකා පුෂ්පා ජෙනට්

දේශීය සිනමාවේ කාන්තා ප්‍රවේශය පිළිබඳ සටහනක් තබනවිට එය අපට නිහඬ යුගයෙන්ම පටන් ගැනීමට ලැබිම ඉමහත් භාග්‍යයකි. එම වාසනාව ඉන්දියාව සතුව නැත. ඔවුන්ගේ ආරම්භක සිනමාවේ නිළි වෙස් ගත්තේ පිරිමින්ය. අපේ 1925 සිට මේ දක්වා සිනමාව තුළින් බිහිවූ රංගන ශිල්පිනියන්ගේ සංඛ්‍යාව අප්‍රමාණය. ඔවුන්ව නරඹන්නන් හැඳින්වූයේ කෙල්ල කියාය. මාධ්‍ය ක්ෂේත්‍රයට ඔවුන් තාරකාවන් වූහ.

මෙවන් එක් පැරණි තාරකාවක් ඉකුත් 16 වැනිදා කඩා වැටුණාය. එනම් මිය ගියාය. ඇය ඔබ හොඳින් හඳුනන අසෝකාය. නැතිනම් පුෂ්පා ජෙනට් වූවාය. එහෙත් ඇගේ උප්පත්ති නාමය එය නොවේ. ජැනට් සිල්වියා හියුස්ය. 1933 ජූනි 11 වෙනි දින කන්ද උඩරට මහනුවර වටපලුව ග්‍රාමයේ උපන් ඇයගේ පියා නමින් හිල්ටන් එඩ්වර්ඩ් හියුස් විය. ඔහු බටහිර ආසියානු සම්භවයකින් පැවත ආ ඇන්ග්ලිකානු සභාවට අයත් භක්තිවන්තයෙකි. ඒ වගේම ගමේ නාට්‍යකරුවෙකි. මව ගාල්ලේ බෞද්ධ වටපිටාවක හැදුණු රොසලින් ගුණවර්ධන නමැත්තියකි. වටපලුව සී. එම්. එස්. විදුහලෙන් අධ්‍යාපනය ලැබූ පුෂ්පා ජෙනට්ට වැඩිමහල් සහෝදරියක්, බාල සොහොයුරෙක් හා වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සිටියාය.

පියා නාට්‍ය නිෂ්පාදනය කළත් පවුලේ කිසිම දරුවකු ඊට දායක නොවූහ. පුෂ්පා ජෙනට් පමණක් පාසල් නාට්‍ය කිහිපයක රඟපෑවාය. ඇගේ බලවත් ආශාව වුයේ ඉන්දියාවට ගොස් භරත නැටුම් පුහුණුවීමට හෝ සාත්තු සේවිකාවක් වැනි අසරණ සරණ සේවයකටය. දෛවය එය උඩු යටිකුරු කළේ ඇයටවත් ඉඟියක් පළ නොකොටය. ගමේ යම් පුද්ගලයකු විසින් පුවත්පතක පළ වූ නිළියන් සොයන දැන්වීමකට ඇගේ විස්තර යවන ලද නිසා නොසිතූ ආකාරයකට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට වරම් ලැබූ නිළියකි පුෂ්පා ජෙනට්.

1953 දෙසැම්බර් මස රූපගත කිරීම් ඇරඹූ අසෝකා චිත්‍රපටය 1955 තිරගත විය. සීෂා හින්දි චිත්‍රපටය ඇසුරු කොට නිපදවූ එහි නර්ගීස් නිරූපිත භූමිකාව අසෝකා නමින් රඟපෑවේ පුෂ්පා ජෙනට්ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සිරිසේන විමලවීර විය. ඔහු දර්ශන තල තුළදී ඇයව ඇමතුවේ සුදු නෝනා නැතිනම් නුවර වැවේ කිරි ඉබ්බි කියාය. චිත්‍රපටය රූපගත කරන කාලයේ දැන හැඳිනගත් චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු වූ ධර්මදාස කුලතුංග පසුව ඇගේ සැමියා විය. අසෝකා චිත්‍රපටයේ එන තනිවයි උපන්නේ ගීතය සඳහා යාචක වෙස් ගත් ඔහු 1955 සිනමාදීප නමින් සඟරාවක්ද ප්‍රකාශයට පත් කළ අතර කාලයක් සුලලිත නමින් ගීත පොත් ප්‍රකාශකයකු ලෙස කීර්තියක් දැරුවේය.

අසෝකා චිත්‍රපටයට පසුව පුෂ්පා ජෙනට් රඟපෑ පොඩි පුතා ඇගේ දෙවන හා අවසන් චිත්‍රපටයයි. දේශීය සම්මාන උළෙලකදී හොඳම චිත්‍රපටය වශයෙන් පිළිගත් එහි රේඛා නම් ප්‍රධාන චරිතය ඇය රඟපෑවාය. එම චරිතය මා නම් හින්දි චිත්‍රපටයේ ලීලා චිට්නිස් නිරූපිත චරිතයේ ප්‍රති නිර්මාණයකි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා ඇය තෝරා ගැනීමට සිටි අවස්ථාව පුෂ්පාගෙන් ගිලිහී ගියේ විවාහවී සිටි නිසාය. කෙසේ වෙතත් චිත්‍රපට දෙකක කතා නායිකාව වී දිගු කාල පරාසයක් සිනමා ලෝලීන්ගේ මතකයේ නිදන් ගතව සිටි පුෂ්පා ජෙනට් කිසිදු ඇගැයීමකට ලක් නොවී මිය යෑම සිංහල සිනමාවේ තවත් එක් ශෝචනීය පුවතක් පමණි.