වර්ෂ 2016 ක්වූ මාර්තු 30 වැනිදා බ්‍රහස්පතින්දා




මම ණයත් නෑ බයත් නෑ

ගයන්ත මං හිතුවටත් වැඩිය හොඳ කෙනෙක්

සන්දේශ් ද හැකි අයුරින් රෝද පුටුවෙන් මිතුරන් අතරට යමින් ඔවුන් හා සුහදව කතාබහ කළේය. ආහාර සැපයුම් කළ ස්ථානයෙන් පැමිණි සේවකයින් තිදෙනා නිසා ඒ ගැන සොයා බලන්නට සන්දේශ්ගේ අම්මාට වැඩි වෙහෙසක් දරන්නට අවශ්‍ය නොවීය. ඇය ද වරින්වර සන්දේශ්ගේ මිතුරන් අතරට ගොස් ඔවුන් හා සුහදව කතා කළාය.

ගයන්ත සන්දේශ්ගේ මිතුරන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඔවුන් හා කතාබහක වැටී සිටියේය. තවත් තැනෙක සිටි මිහිරි වෙත සමීප වන්නට සන්දේශ්ට අවස්ථාවක් ලැබිණ. සන්දේශ්ට සෙනෙහසින් සමීප වූ නතාශා ගැනත් ඇය ඔහුගෙන් අසා සිටියාය.

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට “ඩවුන් සින්ඩ්‍රොම්” නැමැති බුද්ධි හින ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. මෙම හේතුව මත සන්දේශ් ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට කැමැත්තක් නොදක්වති.

සන්දේශ් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යයි. එහිදී ඔහු නතාශා නැමැති රූමත් ලාංකික යුවතියක් හඳුනාගෙන ඇය හා ආදරෙන් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳුඇටපෙළට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා වේ. මෙම හේතුව නිසා නතාශගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාවට පැමිණේ.

සන්දේශ්ගේ ජීවිතය මවගේ රැකවරණය හා සිසිර නැමැති සේවකයාගේ ඇසුර සමඟ ගෙවි යන අතරේ දිනක් මව ඔහුගේ උපන් දින සාදය වෙනුවෙන් උත්සවයක් පිළියෙල කරයි. එහිදී පැමිණි පෙර පෙම්වතිය වූ මිහිරි දැක සන්දේශ් විමතියට පත් වේ. මිහිරි තම පෙම්වතා වූ ගයන්ත සන්දේහ්ට හඳුන්වා දෙයි

(අද එතැන් සිට)

රාත්‍රී හතට පමණ උපන්දින සාදය ඇරඹිණ. කාලයකට ‍පෙර ඇසුරු කළ මිතුරු මිතුරියන් රැසක් යළිත් දැක ගන්නට ලැබීම සන්දේශ්ට විශාල සතුටක් ගෙන දුන්නේය. මිහිරි හා ගයන්තත් සාදයට පැමිණ සිටියහ. අම්මා ආහාර ඇතුළුව සියලු දේ මනා ලෙස පිළියෙල කර තිබුණි. මිහිරිත් පැත්තක සිට ඇයට උදව් කරන්නට ඇතැයි සන්දේශ්ට සිතිණ.

පෙර කලෙක තමන් ඇසුරු කළ, ජවසම්පන්නව හැසිරුණු තම මිතුරා රෝද පුටුවකට සීමා වී සිටිනු දැකීම සන්දේශ්ගේ මිතුරන් තුළ ඇති කළේ දැඩි දොම්නසකි. සන්දේශ්ට මෙවැනි කරදරයක් සිදු වීමත් බොහෝදෙනෙකු දැන ගත්තේ මෙදිනය. එහෙත් සැවොම ඔහුගේ සිතට සතුටක් ගෙනෙන පරිද්දෙන් වඩාත් විනෝදයෙන් හා සතුටින් හැසිරෙමින් සිටියහ.

සන්දේශ් ද හැකි අයුරින් රෝද පුටුවෙන් මිතුරන් අතරට යමින් ඔවුන් හා සුහදව කතාබහ කළේය. ආහාර සැපයුම් කළ ස්ථානයෙන් පැමිණි සේවකයින් තිදෙනා නිසා ඒ ගැන සොයා බලන්නට සන්දේශ්ගේ අම්මාට වැඩි වෙහෙසක් දරන්නට අවශ්‍ය නොවීය. ඇය ද වරින්වර සන්දේශ්ගේ මිතුරන් අතරට ගොස් ඔවුන් හා සුහදව කතා කළාය.

ගයන්ත සන්දේශ්ගේ මිතුරන් කිහිපදෙනෙකු හඳුනාගෙන ඔවුන් හා කතාබහක වැටී සිටියේය. තවත් තැනෙක සිටි මිහිරි වෙත සමීප වන්නට සන්දේශ්ට අවස්ථාවක් ලැබිණ. සන්දේශ්ට සෙනෙහසින් සමීප වූ නතාශා ගැනත් ඇය ඔහුගෙන් අසා සිටියාය.

"......... එදා අපේ අම්මල තාත්තල ගත්ත තීරණේ තමයි මෙදා නතාශලගෙ අම්මල තාත්තල ගත්තෙත්. ඒකෙ වැරැද්දක් කියන්නත් බෑ. ඒ දෙමව්පියො තමන්ගෙ දරුවො ගැන හිතන විදිය"

සන්දේශ්ගේ කතාව මිහිරි අසා සිටියේ හැඟුම්බර මුහුණින් යුතුව ය.

"නතාශා ගැන මට තාම දුකයි. ඔයා හින්දා කැඩිල තිබිච්ච මගෙ හිත හැදුවෙ නතාශා. පුදුම සතුටකින් මං ඒ දවස්වල හිටියෙ. ඒ වුණාට ඉතිං මට වෙච්ච දේත් එක්ක ඒ ඔක්කොම වෙනස් වුණා....... පව් ඒ කෙල්ල. එයාගෙ කිසි වැරැද්දක් නෑ "

මිහිරිට කතා කරනවාට වඩා සිතන්නට බොහෝ දේවල් තිබිණ. හුස්මක් පිට කළ සන්දේශ් හිස ඔසවා අවට බැලුවේය. ගයන්ත තම මිතුරන් කිහිපදෙනෙකු සමඟ උස්හඩින් කතාබහක යෙදෙමින් සිටින අයුරු ඔහුට පෙනෙයි.

"ගයන්තත් හොඳ කෙනෙක් විත්තිය පේනවා. කොහොමද ඔයාට ගයන්තව හම්බවුණේ?"

ගයන්ත දෙස බැලූ මිහිරි ඉන්පසු යළිත් සන්දේශ් දෙසට හැරුණේය.

"දවසක් පන්සලක බණ අහන්න ගිය වෙලාවක තමයි මං ඉස්සෙල්ලම ගයන්තව දැක්කෙ"

"හොඳ තැනකදි එහෙනං මුලින්ම දැකලා තියෙන්නෙ"

"අඳුනගත්තට පස්සෙ දවස් කීපයක්ම අපි හම්බ වුණා. එයාගෙයි මගෙයි අදහසුත් ගොඩක් ගැළපුණා"

සන්දේශ් මිහිරිගේ වදන් අසා සිටියේ සතුටිනි.

"ගයන්තම තමයි අම්මගෙන් කැමැත්ත ඇහුවෙ. හමුදාවක වැඩ කරන හින්දා මුලින් ටිකක් බය වුණත් එක්ක. ඒ වුණාට ගයන්ත මං හිතුවටත් වැඩිය හොඳ කෙනෙක්"

සුන්දර අනාගතයක් පිළිබඳව ඇගේ ප්‍රර්ථනා ඉටුවෙමින් තිබෙයි. නමට සරිලන අයුරින් ඇගේ සියල්ලක්ම මිහිරිය. එමෙන්ම ඇය අධිෂ්ඨානශීලිය. අවසානයේ දී ඇය හොඳ සහකාරයෙකු ලබන්නට ද වාසනාවන්ත වී ඇත.

"ඔයාට වරදින්න විදියක් නෑ මිහිරි. ඔයා සන්තෝසෙන් ඉන්න එක මටත් සතුටක්"

"ඒ වුණාට ඔයාට වෙච්ච දේ ගැන අහල මට නං හරිම දුකක් ඇති වුණේ"

"මොනව කරන්නද, කර්මෙ කියල දේකුත් තියෙනවනෙ"

"ඒ වුණාට ඔයා වගේ කෙනෙකුට මෙහෙම දෙයක් වෙච්ච එක........"

ඉන්පසු සුළු මොහොතක් ගෙවී ගියේ නිහඩවය.

"ඔයා කොහොමද මට වෙච්ච දේ දැන ගත්තෙ? කොහොමද මගෙ බර්ත් ඩේ එක දවසෙ ආවෙ? මට ඒක තාම හිතාගන්න බෑ"

"එකත් අහම්බෙන් වෙච්ච දෙයක්. මේ ළඟදී දවසක සුපර් මාකට් එකකදී මට ඔයාගෙ අම්මව හම්බ වුණා. අම්මා තමයි ඔක්කොම විස්තර කිව්වේ...... ගයන්තත් ඒ වේලාවේ මගේ ළඟ හිටියා. මං ගයන්තවත් අම්මට අඳුන්නලා දුන්නා. එහෙම තමයි ඔක්කොම වුණේ. අම්මා තමයි අපිට කිව්වෙ ඔයාගෙ හිත සන්තෝස කරන්නත් එක්ක ඔයාගෙ උපන්දින දවසෙ ගෙදරට එන්නෙයි කියලා. ගයන්තත් කැමති වුණා"

පසුගිය දිනවල තමා මුහුණ දුන් බොහෝ සිදුවීම් මිහිරි සන්දේශ්ට විස්තර කරන්නට වූවාය.

"ඔයා ගැන මං කලින් ගයන්තට කියල තිබිච්ච හින්ද ප්‍රශ්නයක් වු‍‍ණේ නෑ. එයාම තමයි කිව්වෙ ඔයාට නොකියම අපි ගෙදර යමුයි කියලා. ඔයාව සර්ප්‍රයිස් කරන්නත් එක්ක"

සන්දේශ්ට සිනා නැගෙයි. ඔහු ගයන්ත දෙස බැලීය. ඔහු තමාගේ මිතුරන් සමඟ ලොකු කතාවකි. ඕනෑම කෙනෙකු සමඟ ඉක්මනින් සුහද වීමේ හැකියාවක් ඔහු තුළ ඇතැයි සන්දේශ්ට සිතෙයි.

"ඔයාගෙ යාළුවොත් එක්ක හොඳට සෙට් වෙලා වගෙයි. එයාට ඕන කෙනෙක් එක්ක ඉක්මනට යාළු වෙන්න පුළුවන්. මාර කතාකාරයා"

සන්දේශ් සිතූ දේ නිවැරදිය. ඊළඟට ඔහු මිහිරි දෙස කෙළින්ම බැලුවේය.

"ඒකනෙ ඔයත් එක්කත් ඉක්මනට යාළු වුණේ"

එය බොහෝ අහිංසක ප්‍රකාශයකි. මිහිරි‍ට හොඳ හිතවතෙකු මුණගැසී ඇත. අනාගතයේ දී ඔහු ඇයගේ ආරක්‍ෂාව පතා ද පෙනී සිටිනු ඇත. හොඳ සැමියෙකු යටතේ මිහිරි අනාගතයේ දී සතුටින් ගත කරනු ඇතැයි සන්දේශ්ට සිතෙයි. එමෙන්ම එය ඔහුගේ ප්‍රර්ථනාවක් ද විය.

මිහිරි ගයන්තට අඬ ගැසීය. ඔහු මිතුරන් වෙතින් ඉවත්ව මිහිරි හා සන්දේශ් වෙතට පැමිණ අසල තිබූ පුටුවක වාඩි විය. ඔහුගේ අත්වල මත්පැන් වීදුරුවක් ද පත්තු කරන ලද සිගරුට්ටුවක් ද තිබිණ.

"සන්දේශ්ට මං දැන් ඔයා ගැන කියපු ඔක්කොම බොරු වෙනව"

"ඒ මොනවද?"

ගයන්ත එසේ ඇසුවේ සිගරැට්ටුවෙන් දුම් උගුරක් ඉහළට අදිමිනි. "මම කිව්වෙ ඔයා හරිම හොඳ ළමයෙක් කියලා"

"ඉතිං මං හොඳ ළමයෙක්නෙ"

"හොඳ ළමයි ඔහොම නරක දේවල් කරන්නෙ නෑ"

"මොනවද නරක දේවල්?"

"බලන්නකො ඔය අත්දෙකේම තියෙන දේවල්"

"ආ මේවා.......... මේවා ඉතිං හැම තිස්සෙම නෑනෙ. ඉඳල හිටලනෙ"

"ඉඳල හිටල වුණත් නරක වැඩ. ඔයා සිගරැට් නං බොනව වැඩියි"

"පන්සලකදී නේද හම්බ වුණැයි කිව්වේ"

සන්දේශ් ඇසුවේ අතුරු ප්‍රශ්නයකි.

"ඒකනෙ, මටත් පුදුමයි. මටත් පේන්නෙ තාම හරි බණක් අහල නෑ වගෙයි"
"මොකද නැත්තෙ? මට බණ කියන්නත් පුළුවන්. සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමනී........"
"ඔය බණයැ. තව වැරදි කොනකුත් අල්ලගෙන. ටිකක් බිව්වට කමක් නෑ කියල බුදු හාමුදුරුවො කියල නෑ"
කාලය ගෙවී යන්නට වූයේ සතුටු සිනා හා කතා මැදය. සතුටු සාමීචියේ එතෙක් යෙදී සිටි පිරිස ඊළඟට ගීත ගයන්නට පටන් ගත්හ. අයෙක් අත ගිටාරයක් ද විය.තවත් සුළු මොහොතකට පසු සන්දේශ්, මිහිරි හා ගයන්ත ද පිරිස අතරට එක් විය.
"සැනසේන්........... නැලවෙන්න සුදෝ
රසකර ගී........... ගයන වෙලේ.........."
එම සුන්දර ගීත පෙළ නිකුත් වුයේ ගයන්ත‍ගේ මුවිනි. ගයන්තට ගීත ගායනා කරන්නත් හැකියාව තිබීම ගැන මිහිරිට තිබුණෙත් ආඩම්බරයකි. සන්දේශ්ට නම් කෙ‍සේවත්ම ගී කියන්නට නොහැකිය.
යම් තරමකට මත්පැනින් පදම් ව සිටි පිරිසක් ගීතයේ තාලයට අනුව අත්පුඩි ගසන්නට වූ අතර තවත් පිරිසක් නටන්නට ද වූහ. තරුණියන් කිහිපදෙනෙකු ද ඒ අතර විය. සුළු මොහොතක දී සිසිර ද නටන පිරිසට එක් විය. එය තරමක් විකට ස්වරූපයෙන් යුතු අසාමාන්‍ය රැඟුමකි. පිරිස ඔහුගේ නැටුම දෙස බලා ලැබුවේ වෙනස්ම සතුටකි. සිසිර කො‍හෙන් හෝ දෙකක් දාගෙන ඇතැයි සන්දේශ්ට සිතෙයි. වරෙක ගයන්ත, රඟමින් සිටින සිසිරගේ කලිසම පහත හෙලන්නට යම් උත්සාහයක් ගත්තේය. එය මිහිරිගේ නොරිස්සිල්ලට හේතු වූවත් සන්දේශ් නම් එයින් දැඩි වින්දනයක් ලැබුවේය.
තමාත් ඒ කාලයේ බොහෝවිට හැසිරුණේ මෙලෙස ගයන්ත පරිද්දෙන් සරල විනෝදයෙන් නොවේද? කලෙක තමා‍ගේ ඒ ගති පැවතුම් සියල්ලෙන් ලැබූ මිහිර, දැන් මිහිරි ගයන්ත වෙතින් ලබා ගන්නේ යැයි සන්දේශ්ට සිතිණි.
* * *