වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




කුසපබා වංශයේ Beauty and the Beast

කුසපබා වංශයේ Beauty and the Beast

එකමත් එක රටක ධනවත් සිටුවරයෙක් සිටියා. ඔහුට සිටියේ සිය පණ වන් දූවරු තිදෙනා පමණයි. ව්‍යාපාර කටයුත්තකට මේ සිටුවරයාට වෙනත් රටකට යාමට සිදු වුණා. සිය දූවරුන් තිදෙනා කැඳවා මේ බව සැල කළ සිටුවරයා තමා නැවත පැමිණෙන විට තෑගි වශයෙන් ගෙන ඒමට අවශ්‍ය කුමක් දැයි එකිනෙකාගෙන් විමසුවා.

වැඩිමහල් දියණිය මැණික් එබ්බවූ රන් ආභරණයකුත්, දෙවන දියණිය තම රුව සැමවිටම තරුණ ලෙස පෙනෙන කණ්ණාඩියකුත් තෑගී වශයෙන් ඉල්ලුවා. කණිටු දියණිය ‘නස්ටෙන්කා’ තමන් පෙරදා සිහිනෙන් දුටු, ලොව ලස්සනම ස්කාලට් (රතු සහ තැඹිලි අතර වර්ණයක්) මල ඉල්ලා සිටියා. දුරුරට ගොස් ව්‍යාපාර කටයුතු අවසන් කළ සිටුවරයා සිය ගම රට බලා ඒමට පිටත් වුණා. තෑගී සියල්ලම සොයා ගත්තත් නස්ටෙන්කා දියණිය ඉල්ලා සිටි ලොව ලස්සනම ස්කාලට් මල සොයා ගැනීමට සිටුවරයාට හැකි වුණේ නැහැ. ගමට එන අතරතුර සිටුවරයා මංකොල්ලකරුවන් පිරිසකට ගොදුරු වුණා. සිටුවරයාට පහර දී වස්තුව සොරාගත් මංකොල්ලකරුවන් සිහිසුන් වූ සිටුවරයාව කැලයක සැඟවූවා.

පසුදා අවදිවන සිටුවරයාගේ ඇස ගැටුනේ අතිශය අලංකාර මාලිගාවක්. සිටුවරයා මාලිගාවට ඇතුලු වුණා. මාලිගාවේ කිසිවෙකුත් නොසිටියත්, එහි කෑම මේසය ප්‍රණීත ආහාර භෝජන රැසකින් පිරී තිබුණා. මහත් කුසගින්නේ සිටි සිටුවරයා ඒ ප්‍රණීත ආහාරවලින් කුස පුරවා ගත්තා. මාලිගාවේ මල් උයනට පියමං කළ සිටුවරයාට එහිදී ලොව ලස්සනම ස්කාලට් මල ඇස ගැටුණා. සිටුවරයා ඒ මල නෙළාගත් විගස බලවත් මෘගයෙක් පැන ඔහුව අල්ලා ගත්තා. තම ජීවිතයේ එකම සතුට වන ස්කාලට් මල නෙලා ගත්තේ මන්දැයි යක්ෂයා විමසුවා. සිටුවරයා කරුණු පැහැදිලි කරමින් තම දියණියන් වෙතට යාමට දෙන මෙන් යක්ෂයාට කන්නලව් කළා. යක්ෂයා ඒ ඉල්ලීමට ඉඩ දුන්නේ, දින තුනක් ඇතුලත සිය දියණියන්ගෙන් එක් අයෙක් තමා වෙත සිරභාරයට එවන බවට පොරොන්දු කරවාගෙනයි.

‘සර්ගෙයි අක්සකොව්’ නම් රුසියානු ලේඛකයෙකු අතින් 19 වන සියවසේ මුල් භාගයේ ‘The Scarlet Flower’ නමින් ලියැවුණු, කුඩා කල අප අසා ඇති ‘රතු රෝස මලේ කතාව‘ නොහොත් ‘වන වදුලේ රෝසකුසුම’ මෙසේ ඇරඹෙයි. කෙසේ නමුත් මෙම කතාවේ මූලාරම්භය මීටත් වඩා ඈත අතීතයකට දිවෙයි. ‘ගේබ්‍රියෙල් සුසේන් බාබෝට් දී විලෙනුවේ’ නම් ලේඛිකාව විසින් 1740 වර්ෂයේ ලියන ලද ‘ලා බ්ලේ එට් ලා බේට්’ - La Belle et la Bête (Beauty and the Beast - රූමතිය සහ මෘගයා) නම් ප්‍රංශ සමිප්‍රදායික ජනකතාව මෙහි මූලාරම්භය බව පොදු පිළිගැනීම වේ. මෙම කෘතියද ඊට බොහෝ කලකට පෙර ‘ප්ලේටෝනිකස්’ නම් ග්‍රීක ලේඛකයා අතින් රචනා වුණු ‘කියුපිඩ් ඇන්ඩ් සයික්’ (ක්‍රි.ව. 2 වන ශත වර්ෂය) නම් කතාවත්, ‘ජ්යෝවානි ෆ්‍රැන්සේස්කෝ ස්ට්රිපරෝලා’ නම් ඉතාලි ලේඛකයා අතින් ලියවුණු ‘ද පිග් කිංග්’ (ක්‍රි. ව. 1550 - 1555) නම් කතාවත් පාදක කරගනිමින් ගොඩ නැගුනක් බව කියවේ. ගෙබ්රියල් සුසේන් ගේ කතාවේ ව්‍යුහය එලෙසම පවත්වා ගනිමින් පසුව එය බොහෝ සංස්කරණයන්ට ලක්වෙමින් දේශාන්තරයෙහි විහිදී ගිය අතර, ‘The Scarlet Flower’ එලෙස සංස්කරණය වූවකි. සුසේන් ගේ මුල් කතාව ඉතා දිගු එකක් වන අතර, ‘ජීන් මේරි ලෙප්‍රින්ස් ඩි බියුමොන්ට්’ නම් ප්‍රංශ ලේඛිකාව විසින් කළ මෙහි සංක්ෂිප්ත අනුවාදය ද එහි තවත් සංස්කරණයකි.

යමෙකුගේ බාහිර පෙනුම ගැන නොතකා ඇතුලාන්තය සොයා ගැනීම මෙම කතාවේ හරය බව විචාරකයෝ පෙන්වා දෙති. මෙම කතා පුවත කුස ජාතකයට සමීප සබඳකමක් පෙන්වන්නේය. කැවුම් මුහුණක් ඇති විරූපි කුස රජු හා සුරූපි පබාවතිය ගැන කියන කුස ජාතකය ඇසුරින් සිංහල සාහිත්‍ය නිර්මාණ රැසක් බිහි විය. සිංහල සාහිත්‍ය ග්‍රන්ථ අතරේ මහා කාව්‍ය සේ සැළකෙන කව්සිළුමිණට කතා වස්තුව වූයේද කුස ජාතකය යි. අලගියවන්න මුකවැටි පඬිතුමා විසින් කුස ජාතක කාව්‍යය ද රචනා වූයේ කුස ජාතකය ඇසුරිණි. Beauty and the Beast කතා සාරය ගත් කල එයද කුස ජාතකයේ පරිදි විරූපි පුද්ගලයෙකුහට සුරූපි රුව ඇති කුමාරිකාවක හමුවීමයි. ප්‍රංශ සිනමා නිර්මාණයක් වන සිරානෝ දි බර්ග්රක් (Cyrano de Bergerac) හි එන කතාපුවතද හරයාත්මක අතින් මෙයට සමානකමක් දක්වයි.

Beauty and the Beast, බොහෝ වේදිකා නාට්‍ය , චිත්‍රපට, ටෙලි නාට්‍යයන්ට සහ සංගීත ප්‍රසංගයන්ට පාදක වුණු කෘතියකි. 1934 වර්ෂයේ මුල්වරට කාටූන් චිත්‍රපටයක් ලෙස තිරයට නැගුණු මෙම කතාව, 1946, 1962, 1976, 1983, 1987, 1991, 1992, 2005, 2009 සහ 2014 වර්ෂයන්හිදී ඉංග්‍රීසි, ප්‍රංශ සහ ඩෙන්මාර්ක භාෂා වලින් නැවත නැවතත් රිදී තිරයට නැගුණි.

හෙට (17) සිට Beauty and the Beast නමින් ම, සජීව -ක්‍රියාදාම, සුරංගනා, සංගීතමය, ප්‍රේමාන්විත චිත්‍රපටයක් ලෙසින් තිරයට නැඟෙන්නේ මෙම විකාශනයේ නවතම ප්‍රතිනිර්මාණයයි. වෝල්ට් ඩිස්නි සමාගම විසින් ම නිර්මිත 1991 කාටූන් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන මෙය ජීන් මේරි ලේප්‍රින්ස් ගේ සංස්කරණය පාදක කරගෙන නිර්මාණය වූවකි. සුරංගනා චිත්‍රපට නිර්මාණකරණයේ ප්‍රමුඛතාවක් උසුලන වෝල්ට් ඩිස්නි පික්චර්ස් සහ මැන්ඩවිල් ෆිල්ම්ස් එක්ව නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය විනාඩි 129 ක ධාවන කාලයකින් යුක්ත වන අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමූහයකගේ දායකත්වයෙන් සැකසී ඇත.

ඇමෙරිකානු තිර රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන බිල් කොන්ඩන් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත. විචාරක පැසසුම් ලත්, ‘Gods and Monsters’,’ Kinsey’ සහ ‘ Dreamgirls’ සේම බිල්ගේ තිරරචන සහ අධ්‍යක්ෂණ වන අතර, Twilight චිත්‍රපට මාලාවේ ‘Breaking Dawn‘ 1 සහ 2 කොටස් ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරිණි. ‘Gods and Monsters’ චිත්‍රපටයේ තිර රචනය සඳහා බිල් කොන්ඩන් ඇකඩමි සම්මාන දිනා ගැනීමට සමත් විය.

මැන්ඩවිල් ෆිල්ම්ස් නිර්මාතෘන් වන ඩේවිඩ් හොබර්මාන් සහ ටොඩ් ලිබර්මාන් මෙම චිත්‍රපටයේ සම-නිෂ්පාදකවරු වෙති. බොහෝ චිත්‍රපට නිෂ්පාදන ආයතන සමඟ නිෂ්පාදන දායකත්වය සපයා ඇති මැන්ඩවිල් ආයතනය වෝල්ට් ඩිස්නි සමාගම හා එක්ව ‘Eight Below’, ‘Beverly Hills Chihuahua’, ‘George of the Jungle’ ආදී චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කළේය. ජනප්‍රිය යොවුන් නවකතාකරු ස්ටීවන් ච්බොව්ස්කි (The Perks of Being a Wallflower) සහ තිරරචක ඊවන් ස්පිලටොපොලස් (Hercules, Tinker Bell and the Lost Treasure, The Huntsman: Winter’s War) යන අය විසින් චිත්‍රපටයේ තිරරචනය වී ඇත.

මෙම කතාවේ එන සිටුවරයාගේ දියණිය, ‘බ්ලේ’ ගේ චරිතය ජනප්‍රිය බ්‍රිතාන්‍ය නිළියක, නිරූපණ ශිල්පිනියක වන එමා වොට්සන් විසින් රඟ දැක්වේ. හැරී පොටර් චිත්‍රපට මාලාවේ (2001 - 2011) ‘රමයිනී ග්‍රේන්ජර්’ ගේ චරිතයට පණ පෙවීමෙන් කුඩා කල සිටම ජනප්‍රිය නිළියක වුණු එමා එම චරිතය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේදී බොහෝ සම්මානයන්ට පාත්‍ර වූවාය. මීට අමතරව  The Perks of Being a Wallflower’ (2012), ‘The Bling Ring’ (2013), Regression (2015) වැනි චිත්‍රපට වලටද එමා රංගනයෙන් දායක වූවාය.

බ්‍රිතාන්‍ය රංගන ශිල්පියෙකු වන ඩැනියෙල් ජොනතන් හෙවත් ඩැන් ස්ටීවන්ස් මෙහි මෘගයාගේ චරිතයට පණ පොවයි. ‘The Guest’, ‘ A Walk Among the Tombstones’ වැනි චිත්‍රපටවල කැපී පෙනෙන චරිත නිරූපණය කළ ඩැන්, ‘Downton Abbey’ නම් ටෙලි නාට්‍ය මාලාවේ එන ‘මැතිව් ක්‍රොව්ලි‘ නම් චරිතයෙන් වඩාත් ජනප්‍රියත්වයට පත් වීය.

බෙලා ගේ අත ගැනීමට, මෘගයා මරා දැමීමට වෙහෙසෙන දුෂ්ට ‘ගැස්ටන්’ නම් දඩයක්කරුවාගේ චරිතය ලූක් එවන්ස් (Fast & Furious 6, Furious 7, High-Rise) විසින් රංග දැක්වෙන අතර, බෙලේ ගේ පියාගේ චරිතය කෙවින් ක්ලයින් (The Big Chill, Silverado) විසින් රඟ දැක්වේ. ජෝෂ් ගැඩ්, ස්ටැන්ලි ටුසි, ඉයන් මැකලන්, එමා තොම්සන් ඇතුළු රංගන ශිල්පීන් රැසක් සෙසු චරිතයන්ට රංගනයෙන් සහ දෙබස් කැවීමෙන් දායක වෙති.

දෙවරක් ඇකඩමි සම්මාන දිනාගත් ප්‍රවීණ සංගීතවේදී ඇලන් මෙන්කෙන් මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකර ඇති අතර Beauty and the Beast - 1991 චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයද ඔහුගේම වේ. ඇලන් විසින් ඩිස්නි චිත්‍රපට බොහොමයක සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇති අතර, ‘The Little Mermaid’, ‘Aladdin’ සහ ‘Pocahonta’ මේ අතර විශේෂ තැනක් ගනී.

අමෙරිකානු ඩොලර් මිලියන 160 ක පිරිවැයකින් තැනී ඇති මෙම නව Beauty and the Beast චිත්‍රපටය පසුගිය පෙබරවාරි 23 වැනිදා ස්පෙන්සර් හවුස්, ලන්ඩන් හිදී සිය මංගල දර්ශනය තිරගැන්වීය. විචාරකයින්ගෙන් පැසසුම් ලත් චිත්‍රපටයක් වන මෙය මේ වනවිට IMDB දර්ශකයේ ලකුණු 6.1/10 ක් සහ රෝටන් ටෝමාටෝස් හි ලකුණු 68% ක් සහ මෙටාක්‍රටික් හි ලකුණු 65% ක් සටහන් කර ඇත. මෙම චිත්‍රපටය ගැන රෝටන් ටෝමාටෝස් හි පොදු විචාරය මෙලෙස පවසයි. “වසඟකරවන සුළු නළු-නිළි කැලක්, සුන්දර සංගීතයත්, අග්‍රගණ්‍ය චිත්‍ර ශිල්පියෙකු විස්තරයන්ට දක්වන සියුම් ඇසත් රැගෙන එන Beauty and the Beast එහි මුල් කෘතියට අවැසි ගෞරවය සපයන විශ්වාසවන්ත නව කියවීමකි.”