වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සඳ මඬල වී ගුවනේ දිලෙයි

සඳ මඬල වී ගුවනේ දිලෙයි

සරසවිය හොඳම ගීත රචනය ගැන පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි සමඟ සංවාදයක්...

මෙවර සරසවිය සම්මාන උලෙළේ හොඳම ගීත රචනයට හිමි සම්මානය පිරිනැමුණේ පුජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන්ටය.

අප්‍රකාශිත ප්‍රේමයක චමත්කාරය කුළුගැන්වෙන අයුරින් අර්ථපූර්ණ හා ධ්වනි පූර්ණ ගුණයෙන් යුතුව රචනා කරන ලද අපූර්ව ගේය පද සංකල්පනාව උදෙසා යනුවෙන් ඒ හේතු පාඨයේ ලියැවිණි. ඒ මහරජ ගැමුණු චිත්‍රපටය උදෙසාය. ගීය ගැයූ ගායිකාව නිරෝෂා විරාජිනී ඒ උදෙසා හොඳම ගායිකාව ද වූවාය.

නුවර කලාවියේ ප්‍රධාන සංඝ නායක ධුරය මෙන්ම රුවන්වැලි මහ සෑ විහාරාධිපති ධුරය ද උන් වහන්සේ දරති.

මේ උන්වහන්සේ සමඟ කළ පිළිසඳරකි.

මේ අයුරින් සරසවිය සම්මානයට පාත්‍ර වීම ගැන ඔබ වහන්සේට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

සරසවිය සම්මාන උලෙළ කියන්නේ මේ සිනමා ක්ෂේත්‍රයේ ඉතා වැදගත් ප්‍රාමාණික මිනුම් දණ්ඩක් ලෙස තමයි ගෞරවයට පාත්‍ර වී තියෙන්නේ. එබඳු මිනුම් දඬුවකින් සම්මානයක් ලැබෙනවා කියන්නේ ප්‍රමිතියෙන් ඉහළ නිර්දේශයකින් ලබාදෙන සම්මානයක්. ඒ ගැන සැබැවින්ම සතුටක් තියෙනවා. සම්මාන කියන දේ අද හැම තැනකින් ලබාගන්න පුළුවන් සුලබ දෙයක් බවට පත් වී ඇති කාල පරිච්ඡේදයක්. එනමුත් මේ සරසවිය සම්මානය මේ රටේ උසස් ආයතනයකින් ඇගැයීමක් සිදු කොට ලබා දෙන නිසාවෙන් එහි විශාල වටිනාකමක් තියෙනවා. මේ සම්මානය ප්‍රමිතිගත වී ලබා තිබෙන කීර්තිය ගැන දැනෙන කොට ඇත්තෙන්ම සතුටට කරුණක් මටත් එවැනි ඇගැයුමක් ලැබුණානේද කියලා.

කවදා හෝ ඔබ වහන්සේ තුළ සිතුවිල්ලක් තිබුණා ද ගීත රචනය ඔස්සේ සම්මානයට පාත්‍ර විය යුතුයි කියලා?

අනේ නෑ කවදාවත් නැහැ.

මෙවර සම්මානයට තරඟ වැදුණු චිත්‍රපට දිහා බැලුවහමවත් ඔබ වහන්සේ්ට හිතුණේ නැද්ද සඳමඬල වී ගීතය ගැන බලාපොරොත්තුවක්වත්?

මේ ගීතය චිත්‍රපටයේ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා අන්තර් ජාලයට මුදා හරින අවස්ථාවේ මට කතා කරලා කිව්වා මේ ගීතය විශිෂ්ට ගණයේ ගීතයක් කියා. එතුමාට දැනෙනවා මේක යම් ආකාරයක සම්මානයට පාත්‍ර වෙයි කියන දේ. ඒ වගේම මේ ගීතය සංගීතවත් කරපු නදීක ගුරුගේත් මට කතා කරලා කිව්වා එයත් හිතුවට වැඩිය පරිසමාප්ත අර්ථයෙන්ම මේ ගීතය හොඳින් නිර්මාණය වුණා කියලා. මම ගීතය ලියලා දුන්නත් මට මේ ගීතය බොහොම නිස්කලංකව අහන්න වුණත් එහෙම අවස්ථාවක් ලැබිලා තිබුණෙත් නැහැ. චිත්‍රපටය ප්‍රචාරය වන අවස්ථාවේදී මාව දන්න කියන කීප දෙනෙක්ම කතා කරලා කිව්වා චිත්‍රපටයේ නාමාවලිය දැකලා මොකක්ද ස්වාමීන් වහන්සේ රචනා කරපු ගීයත කියලා. ඊට පස්සේ මට බොහෝ අය කතා කරලා කිව්වේ ඒ ගීතය බොහොම ආශාවෙන් විඳින්න පුළුවන් ගීතයක් කියලා. නිරෝෂා විරාජිනි වුණත් ඒ ගීතය අවස්ථානුකුලව හොඳට ගායනා කරලා තියෙනවා කියලා මට කිව්වා.

මහරජ ගැමුණු චිත්‍රපටයේ ගීත රචනය සඳහා ඔබ වහන්සේට කොයි ආකාරයෙන් ද ආරාධනාව ලැබෙන්නේ?

මේ චිත්‍රපටය මුලින්ම ජයන්ත කරන්න උත්සාහ ගත්තා. නමුත් කෙරුණේ නැහැ. මොන යම් හෝ හේතුවක් නිසාවෙන් පසුව ජයන්ත මෙහි තිර පිටපත නවකතාවක් ලෙසින් එළි දැක්වීම සිද්ධ කළා. ඒ උත්සවයට මටත් ආරාධනා කරලා තිබුණා. මුලින්ම ජයන්ත මේ චිත්‍රපටය ආරම්භ කරන්න මුහුරත් අවස්ථාව පවා සංවිධානය කළේ මේ රුවන්වැලි සෑ පරිශ්‍රයේ. ඒ වෙන කොටත් මට මෙවැන්නකට ආරාධනයක් කරලා තිබුණේ නැහැ. පොත දොරට වඩින උත්සවයේ මිනිත්තු පහක කෙටි අනුශාසනාවකට මට ජයන්ත ආරාධනය කළා. එයට සහභාගි වූ මට චිත්‍රපටයේ තිර පිටපතත් පොතකුත් ප්‍රදානය කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ජයන්ත කිව්වා ස්වාමීන් වහන්ස මේ තිර පිටපත අසංශෝධිත පිටපතක්. මේක කියවලා ඉතිහාසය යම් අයුරකින් ගැටෙන තැනක් තියෙනවද ඒ තැන් පෙන්නලා සංශෝධනය කරලත් දෙන්න කියන ඉල්ලීමත් කළා. කෙසේ හෝ දෙවන වරටත් චිත්‍රපටයේ නිෂ්පාදනය සඳහා කෙනකු සොයාගෙන එහි ආරම්භයත් මේ රුවන්වැලි සෑ පරිශ්‍රයේ සිදු කරන්න ජයන්ත රංගන ශිල්පී දිමුතු චින්තකට භාර කළා මාත් සමඟ එකතු වෙලා කරන්න කියලා. ඔය අතරේ තිර පිටපතේ ජයන්ත ලියලා තිබුණා එළාර රජුගේ දියණියක් නොදුටු දුටුගැමුණු කුමාරයාට සිතින් පෙම් බඳින අවස්ථාවක් ගැන. මේ අවස්ථාවට උචිත දේ ජයන්ත අදහස් කළා පාලි ගාථාවක් හැටියට එතනට උචිත අයුරින් නිර්මාණය කරන්න. ඒත් මම කිව්වා ඒ දේ මට කරන්න බැහැ. මම ප්‍රාමාණි පුද්ගලයෙක් ලවා ඒ දේ කරලා දෙන්නම් කියලා. අපි ඒ සඳහා පාලි ගාථා දෙකක් ලිව්වා විශ්ව විද්‍යාලයේ ඒ සම්බන්ධයෙන් ඉන්න විශාරද හිමිනමක් සමඟ. කොහොම හරි මා හමුවට ආපු ජයන්තට මම කිව්වා ඔයාගේ අදහසට අපි මේක පාලියෙන් ලිව්වහම තිර පිටපතට එය ආලෝකයක් වුණත් චිත්‍රපටයට නම් ආලෝයක් එක් වෙන්නේ නැහැ කියලා. මගේ අදහස ජයන්තට කිව්වා.

ප්‍රේක්ෂකයා ඇද බැඳ ගන්න නම් ගීතයක් හැටියට මෙම අවස්ථාව එළි දක්වනවා නම් ඒක හොඳයි කියලා මගේ අදහස ජයන්තට පැහැදිලි කළා. ඔහුත් පසුව එය බොහොම සතුටින් අනුමත කළා.

අද ඔබ වහන්සේ සම්මානයට පාත්‍ර වූ මේ ගීතය ජයන්ත චන්ද්‍රසිරි බලහත්කාරයෙන් ඔබ වහන්සේ ලවා ලියවා ගත් ගීතයක් බවයි දැනගන්න තියෙන්නේ?

මගේ අදහස කියන ගමන් මට ජයන්ත කිව්වා තිර පිටපත ලියලා මේ ගැන හොඳ අවබෝධයකින් කටයුතු කරලා ඉතිහාසය ගැන හොඳ අධ්‍යයනයක් කරලා ඉන්න නිසාවෙන් ඔබම මේ ගීය ලියන එක හොඳයි කියලා. ඒ අවස්ථාවේ දිමුතු චින්තකත්, ජයන්තත් මේ භූමියට සම්බන්ධ මේ කතාව නිසාවෙන් මේ ගීතය ඔබ වහන්සේ අතින්ම ලිය විය යුතුයි කියන දැඩි ඉල්ලීම ඔවුන් දෙපලම මට ඉදිරිපත් කළා.

ඒ ඉල්ලීමෙන් ගැලවෙන්න ඔබ වහන්සේට නොහැකි වුණා?

මම අදටත් දකිනවා අපේ ජාතිය අදටත් දුටුගැමුණු කියන චරිතය නිවැරැදිව වටහාගෙන නැහැ යැයි කියලා. රාජ්‍ය පාලකයෝ වුණත් මේ චරිතයෙන් උකහා ගත යුතු දේ අදටත් ලබා ගැනීමට අසමත් වෙලා තියෙනවා.

ගීතයේ අවස්ථාව ඔබ වහන්සේ විග්‍රහ කරන කොට?

මෙතනදි සිද්ධ වෙන්නේ ඒක පාර්ශික ප්‍රේමයක්. එළාරගේ දියණිය තමන්ට ලැබෙන තොරතුරු මත දැකලා නැති කතා බහ කරලා නැති ජීවිතේට මුණ ගැහිලා නැති තමන්ගේ පියා මරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක් එක්ක ප්‍රේමයෙන් වෙලෙනවා. ප්‍රේමය පිළිබඳ ඕලාරික හා ශෘංගාරාත්මක කියන සීමාවන්ට නොයා යමක් ලියන්න පුළුවන් කියලා මට හිතුණ නිසා ජාති ආගම් කුල මල භේදයෙන් ඈතට ගිය වීරයෙකුට කෙනෙකුගේ හිතේ තියෙන භක්තිය ප්‍රේමයකට එහා ගිය සම්භාවනීය ගෞරවය තියෙන්නේ ඒ වගේම ශ්‍රේෂ්ඨයෙකුට දක්වන ගෞරවාන්විත ආදරයක් තමයි මෙතනදි දකින්න තියෙන්නේ.

එළාරට දුවෙක් හිටියා කියලා බොහෝ දෙනෙක් දැනගන්නේ ඇත්තටම මේ චිත්‍රපටය හරහා. ඒක සැබැවින්ම සත්‍යයක්ද නැතහොත් අතිශෝක්තියක්ද?

ඉතිහාසයේ යම් යම් සිද්ධි නැතුවා නෙවෙයි. නමුත් ඒ කාලේ ජීවත් වූ අයත් අද නැහැ. ඒ වගේම ඒ අවධිය පිළිබඳ වාර්තා චිත්‍රපටත් නෑ. නමුත් ඒ වගේ ප්‍රවෘත්ති නිර්මාණය වෙලා ජනප්‍රවාදයේ තියෙනවා. මගේ පෞද්ගලික අදහස නම් යුද්ධයේදී වීරයෙක් බිහිවෙන්න බෑ. ඒ යුද්ධය නොකරන තැනට කටයුතු කරන පුද්ගලයයි මම දකින්නේ වීරයා කියලා. එහිදී ආත්මාර්ථයෙන් තොර පරාර්ථය වෙනුවෙන් එවැනි වීරත්වයට හතුරන්ගේ වුණත් ගෞරවයට පාත්‍ර වන චරිතයක් තමයි දුටුගැමුණු.

ඔබ වහන්සේට මේ ගේය පද රචනය කරන්න මුල් වෙන්නේ පාලි ගාථාවක්?

නෑ මෙහෙමයි. එතනදි ජයන්ත අදහස් කරලා තිබුණේ මට ඔබ නෙළා ගන්න ඕනෑ නෑ. මම ඔබව දුර ඉඳලා දකිනවා කියන අදහස ඇති කරන්න. මට විඳින්න ඕනෙත් නැහැ, කඩාගන්න ඕනෙත් නැහැ, දුර ඉඳලා සතුටු වෙනවා කියන අදහස තමයි ඒ පදරචනය හරහා මම නිර්මාණය කළේ.

ජන හද බැඳගත් ගීත රචනා කලාවක නියැලී සිටින ඔබ වහන්සේ අතින් මෙවැනි ගීත මොන වගේ පරිසරයක් තුළ ද නිර්මාණය වන්නේ?

ඒකට මට හරියට උත්තර දෙන්න අමාරු දෙයක්. බොහෝ විට නොහිතන වේලාවල්වල තමයි මෙවැනි පදවැල් ලියවෙන්නේ. නිර්මාණයක් එක විට ලියා අවසන්වීමක් වෙන්නේ නැහැ මට තියෙන අවිවේකී පරිසරයත් එක්ක.

හොඳම ගීත රචනය ලෙසින් සම්මාන ලැබූ සඳමඬල වී ගුවනේ දිලෙයි ගීතය වුවත් එක පාර ලියපු දෙයක් නොවෙයි?

නැහැ. අදහස ඔළුවේ තිබුණත් ඒක කීප විටක් සංස්කරණය වෙමින් තමයි කොලයේ ලියවෙන්නේ. මේ ගීතයත් මා අතින් සෑහෙන්න සංස්කරණය වෙලා තමයි මේ අයුරින් ලියවුණේ. ගමන් බිමන් යන කොට වුණත් මේ ගීතය මම සංස්කරණය කළ අවස්ථා තිබුණා. මේ ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළ නදීකටත් පහසු වෙන්න ගීතයේ පද වැල් නොගැලපීම් වෙතොත් ඒ සඳහා විකල්ප වචනත් ඒ සඳහා ලබාදීමක් කළා. නමුත් නදීක වුණත් මගේ විකල්ප අදහස් වෙත ගියේ නැහැ. මුල් නිර්මාණයම හොඳයි කියන තැන රැඳිලා හිටියා.

මෙම ගීත රචනය අංශ තුනක් ඔස්සේ සාර්ථකභාවය ප්‍රකට කළා?

ඔව්. ගීත රචනය අතින් මම සම්මානනීය වන කොට මේ ගීතය සංගීතවත් කරපු නදීක ගුරුගේ හොඳම සංගීත අධ්‍යක්ණය වෙනුවෙන් සම්මාන ලැබුවා. ඒ වගේම මේ ගීතය ගායනා කළ නිරෝෂා විරාජිනිත් හොඳම ගායිකාව ලෙසින් සම්මානයට පාත්‍ර වුණා. තවත් විශේෂයෙන් කියන්න ඕනෑ මේ ගීතය ගායනා කීරිම උදෙසා නිරෝෂා හිරු ගොල්ඩන්, ඕ සී අයි සී, වගේම සරසවිය යන සම්මාන උළෙල තුනෙන්ම හොඳම ගායනය සඳහා ඇය සම්මානය දිනාගනු ලැබුවා.

ඔබවහන්සේත් මේ ගීපද රචනය වෙනුවෙන් සම්මානනීය ත්‍රිත්වයකින්ම පිදුම් ලබනවා.

හිරු ගෝල්ඩන්, ඕසීඅයිසී, වගේම සරසවිය සම්මාන තුනම හොඳම ගීත රචනය වෙනුවෙන් හිමිවෙනවා. මෙවර පැවති සරසවිය සම්මාන උළෙලේදී ඒ බව සනාථ වුණා. හොඳම පද රචනය, හොඳම ගායනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය කියන මේ සම්මාන තුනම මේ ගීතය වෙනුවෙන් ලැබීමත් සමඟ හිරු ගෝල්ඩන් ඕසීඅයිසී සම්මාන උළෙලවලදි හොඳම පද රචනයටත්, හොඳම ගායනයටත් පමණක් මේ ගීතය වෙනුවෙන් සම්මාන ලැබුවා.

භික්ෂූන් වහන්සේ නමකට මේ අයුරින් ගීත රචනා කලාවේ නියැලීම සුදුසු දෙයක් කියලද ඔබවහන්සේ සිතන්නේ?

ගිහි අයද පැවිදි අයද කියන කතාව කියනවට වඩා ගිහියෙකුට වුණත් අවර ගණයේ නිර්මාණ කරන්න බෑ. ගිහි අයට තමයි ගීත ලියන්න උරුම කියල ගිහියන් අවර ගණයේ ගීත රචනා කරනවා නම් ඒකත් වැරැදියි. තමන් ලියන්නේ මොනවද ඒක සමාජයට බලපාන්නේ කොහොමද කියල අවබෝධයක් ඇතුව තමයි යම් දෙයක් ලියන්න ඕනේ. අත්හදාබලන්න ඕනේ. නව ඉසව් සොයා යන්න ඕනේ. පර්යේෂණ කරන්න ඕනේ. මේ ක්ෂේත්‍රයේ යහපත උදෙසා එතකොට තමයි ප්‍රසත්ථ මට්ටමේ රචකයන් බවට පත්වෙන්නේ. ගායනය සංගීතය කියන දේටත් මේ දේ පොදුයි. පටු විදියට හිතනවට වඩා පුද්ගල ඉස්මතු වීම්වලට වඩා නිර්මාණ දිහායි බැලිය යුත්තේ. එය ලිව්වේ පැවිදි කෙනෙක්ද ගිහියෙක්ද කියල හොයනවට වඩා නිර්මාණයේ ගුණාත්මක බව පිළිබඳවයි විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ.

අතීතයේ වුණත් භික්ෂූන් වහන්සේ අතින් මෙවැනි හරවත් නිර්මාණ බිහිවූ බවට සාක්කි තිනෙවා නොවේද? පැරණි සම්භාව්‍ය සාහිත්‍ය ගැන බලනකොට වුණත් මේ කලාව මුලින් තිබිල තියෙන්නේ භික්ෂූන් වහන්සේලා අත. සම්භාව්‍ය සාහිත්‍යයයේ බොහෝ දේ තිබිල තියෙන්නේත් භික්ෂූන් අත. ඒත් කාටවත් අකාමකා දමන්න බෑ. පන්හිද භික්ෂූන් වහන්සේට උරුම දේ. ධර්ම සන්නිවේදනය, දහම් සාහිත්‍ය ඔස්සේ ගිහි අය යම් දෙයක් කරල තියෙනවා නම් එහි සාර්ථකත්වය රැඳිලා තිබුණෙත් භික්ෂූන් වහන්සේගේ සෙවනේ වැඩුණු අනුශාසනා ලබාගත් නිසාවෙන්.

අපිට දැනිල තියෙනවා අවරගණයේ දේවල් ඇති වෙලා තියෙන්නේ නිසි දැනුමක් නැති දැනඋගත්කමක් නැති අය හේතුවෙන් කියල. මේවගේ අය තමයි විවිධ මත දරමින් පෙරලි කරන්නේ. සහජ දක්ෂතාවන් තියෙන්න ඕනේ. දැන උගත්කමක් තියෙන්න ඕනේ. භාෂාව පිළිබඳ දැනුමක් අතීතයේ කියපු ලියපුදේ පිළිබඳ හැදෑරීමක් තියෙන්න ඕනේ. නිර්මාණය කරන්නේ කාටද කියල හිතන්න ඕනේ. හැම නිර්මාණකරුවෙකුටම සමාජ වගකීමක් තියෙනවා. තමන්ගේ ක්ෂේත්‍රය මොකක්ද කියල වටහාගෙන තමයි පෑන අතට ගන්න ඕනේ

ඕනෙම නිර්මාණකරුවකුට සමාජ සංශෝධනයක් කළහැකියි කියන තර්කයේ ඔබවහන්සේ පසුවෙනවාද?

ඔව්. අවි දරන්නෙකු ආයුධයකින් එක් කෙනෙක් මරා දැමුවත් නිර්මාණකරුවෙකු තමන්ගේ පෑන අනිසි අයුරින් භාවිත කළොත් එයින් සමාජයේ බොහෝ පිරිසක් විනාශය කරා යොමුවෙන්න පුලුවන්. මම කියන්නේ සමාජය තුළදී අවි දරන්නාට වඩා පෑන අතට ගත් නිර්මාණකරුවා භයානකයි. මොකද තමන් අතට ගත්ත දේ ගැන දෙපාරක් තුන්පාරක් හිතන්න වෙනවා. එදා තිබුණු බැමිත් එක්ක ලියන කියන දේ පෙරිල පිරිපහදුවකට ලක්වෙලා තමයි සමාජගත වුණේ. අද එහෙම නෑ. සංස්කරණයක් නොමැතිව අද ඒවා එළියට එනවා. ඕනෙම දෙයක හොඳට වඩා අප්‍රසන්නභාවය තමයි අද දකින්න තියෙන්නේ. මේ ක්ෂේත්‍රයට සංයමයක් අවශ්‍යයි. මම හිතන්නේ මේ ක්ෂේත්‍රයට භික්ෂූන්වහන්සේලා එනවා නම් හොඳයි කියල. අපි කවදාවත් මුදල, ප්‍රසිද්ධිය තකා මේ කාර්යයේ නියැලෙන්නේ නෑ. මේ ක්ෂේත්‍රයේ අවරගණයට යන්න ප්‍රධාන වශයෙන් බලපාන දෙයක් තමයි මුදල. ප්‍රසිද්ධිය. ඔය දෙක නිසා තමයි මේ ක්ෂේත්‍රය අවභාවිත වෙන්නේ. අපයෝජනය වෙන්නේ. අපේ භාවිතයේ නම් කවදාවත් මේ දෙක ප්‍රධාන සාධක ලෙස සලකා නෑ. සලකන්නෙත් නෑ.

සෙමින් ගමනක් තුළ ඔබවහන්සේ අතින් කොපමණ ගීත රචනා ප්‍රමාණයක් මේ වන විට ලියවිලා ඇද්ද?

තුන්සීයක් පමණ.

නිර්මාණ ගොන්නෙන් අදටත් ඔබවහන්සේ ස්වයං ආස්වාදයක් විඳින්නේ මොන ගීත රචනය තුළින්ද?

පළවෙනි එක තමයි කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන උපාලි ජයලත් සංගීතවත් කරන ‘අතීතය සිහිනයක් පමණයි’ ගීතය. මේ ගීතය තමයි පොදුවේ රසිකයන් තුළ මාව මුද්‍රා තැබූ ගීතය. තවත් විශේෂයෙන් කියන්න ඕනේ ගීත රචකයෙක් ලෙස මාත් ගායකයෙක් ලෙස දිවුල්ගනේත් සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස උපාලිත් ඒ වකවානුවේ මේ ක්ෂේත්‍රයට ආධුනිකයන්. මේ ආධුනික තුන් කට්ටුවගේ එකතුවක් ලෙසින් එළිදැක්වූ ‘අතීතය සිහිනයක්’ ගීතය අදටත් එක ලෙසින් එහි ජනප්‍රියත්වය නොනැසී තියෙනවා. පොදු රසිකයා ගීත රචකයකු ලෙස මාව හඳුනා ගත් ගීතය මේක.

ගීත ක්ෂේත්‍රයට යොමුවීම තුළ ඔබවහන්සේට ලැබුණු දේවල් මොනවද?

මම ඉන්න පරිසරයත් එක්ක මට පුළුවන් වුණා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජාවක් කරන්න. පණ්ඩිත් අමරදේවයන් වැනි කෙනකු ගායනා කරන බෝධියට වට බෝපතක් සේ කියන ගීතයෙන් සෝමතිලක ජයමහ කියන මහ බෝසත් කියන ගීතය රුවන්වැලි සෑය ගැන ලියවුණු සුනිල් එදිරිසිංහ කියන නිවන් පුරට යන රුවන් දොරටු ගීතය තුළින් මට පුලුවන් වුණා බෝධීන් වහන්සේට, මහසෑයට ගී නිර්මාණය අතින් දැනෙන පූජාවක් කරන්න. පෞද්ගලිකව මල් පහන් පූජා කරනවා වගේ මේ අයුරින් දුර්ලභ පුජාවක් කරන්න මට අවස්ථාව ලැබුණා. උතුරු මැද පළාත් සභා ගීතය, පළාත් අධ්‍යාපන ගීතය, පළාත් කලා උළෙලේ තේමා ගීතය වැනි නිර්මාණ කරන්න මට ලැබුණා. ඒ තෘප්තිය ඒ භාග්‍ය මට මේ හරහා ලැබිල තියෙනවා. ගීත රචකයකු වශයෙන් මම තෘප්තිමත්. සම්මාන නොලැබුණත් මම කරලා තියෙන නිර්මාණ දැක්කම ඒ නිර්මාණ දෙස ආපසු හැරිල බලනකොට ඒ තෘප්තිය මට මිල කරන්න බෑ. විවිධ අයුරින් මට ගීත රචනය වෙනුවෙන් සම්මාන ලැබීමත් මහා ලොකුවට උදම් ඇනීමට ඒක හේතුවකුත් නොවෙයි කියලයි මට හැඟෙන්නේ.

මේ අයුරින් සම්මාන ලබන කොට හිතට පොඩි බයකුත් දැනෙනවා කියලත් ඔබ වහන්සේ පවසා සිටියා?

මේකයි ලියන්න පෑන අතට ගන්නකොට හිතට දැනෙනවා මගෙන් සමාජයට නොසුදුසු දෙයක් ලියවෙයිද කියලත්. සෑහෙන වගකීමක්. ඊළඟට ලියවෙන දේ මේ ප්‍රමිතියෙන් පහළට නොයන ආකාරයේ නිර්මාණයක් විය යුතුයි කියන මිණුම් දණ්ඩක් නිරායාසයෙන් ඇතිවෙලත් තියෙනවා.

ගීත රචනා කලාවට යොමුවීම තුළ ඔබවහන්සේට ගුරුවරයෙක් වුණේ කවුරුන්ද?

මම 1969 ඉඳල කවි ලියන්න පටන් ගත්තා. රජරට අසිරිය නමින් මා ලියූ කවි පන්තියක් තමයි මුලින්ම පත්තරේ පළ වුණේ. අගනුවර කවි සමාජය සමඟත් මම සම්බන්ධ වුණා. ගීතාංජලී කියන කවි පත්තරයට වගේම වෙනත් පුවත්පත් වලටත් කවි ලිව්වා. මම ශ්‍රී මහා බෝධියේ නේවාසික ආවතේව භාරවත් කටයුතු කරද්දී 1978 ආරම්භ කළ රජරට සේවයේ සේවය කළ ප්‍රේමකීර්තිද අල්විස් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මට හමුවුණා. මේ දෙන්නා නිතර ශ්‍රී මහා බෝධියට ආව ගියා. ඒ නිසාම අපි අතර හිතවත්කමක් ගොඩනැගුණා. රජරට මීබිඳු වැඩසටහනට කවියක් යැව්වා. ප්‍රචාරය වුණේ නෑ. දවසක් මේ ගැන ඇහුවා. ප්‍රේම් අයියා කිව්වා ඒ කවිය සිංදුවකට සමානයි. ඒක සිංදුවකට හැදුවොත් හොඳයි කියලා. ඒපාර බණ්ඩර අයියා කිව්වා පොඩි හාමුදුරුවන්ට තියෙන්නේ සිංදු ලියන්න කියලා. මම ඒ කවිය නැවත සංස්කරණය කළා. දවසක් බණ්ඩාර අයියා මගෙන් ඇහුවා කෝ අර සිංදුව කියලා. මම ඇහුවා මොන සිංදුවද කියලා. ප්‍රේම් කිව්ව මට ඒ සිංදුව ලියල දෙන්න කියලා.

ගීතය බණ්ඩාර අයියාට රජරට සේවයට ගිහින් භාර දුන්නා. ආයෙත් මට කිව්වා තවත් ලියන්න කියලා. ඒ අවදියේ රජරට සේවයේ කැකුළු කියල ආධුනික ගීත වැඩසටහනක් තිබුණා. ඔය කාලයේ සරත් දසනායක මහත්තයා අනුරාධපුරයේ සංගීත අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීම් ලබල ඇවිත් හිටියා. එතුමන් බෝධීන් වහන්සේ වැදපුදා ගන්න ආපු වෙලාවක මම මේ ගීතය ගැන කිව්වා. බණ්ඩාර අයියා තවත් ලියන්න කියල කිව්ව සිද්ධියත් මම කිව්වා. ඊට පස්සේ සරත් අයියාත් මගෙන් මේ ගීතය ඉල්ලා ගත්තා. සති දෙක තුනකට පස්සේ සරත් අයියා මට කතාකරල කිව්වා දවසක් කියල විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සරලගී වැඩසටහන අහවල් දවසේ සවස විකාශය වෙනවා. පොඩි හාමුදුරුවන්ගේ ගීතය එදාට ප්‍රචාරය වෙනවා. අහන්න කියලා. 1979 අග මවගේ උකුලේ නැලවුණු සමයේ කියන මගේ පළවෙනි ගුවන් විදුලි ගීතය ප්‍රචාරය වුණා..

පණ්ඩිත් අමරදේවයන්ගේ පටන් අපේ ගීත ක්ෂේත්‍රයේ පරම්පරා බොහොමයක් වෙනුවෙන් ගීත රචනා කරලා තියෙනවා?

පණ්ඩිත් අමරදේවයන් කියන්නේ මම ඉපදෙන්නටත් ඉස්සෙල්ලා සිංදු කියපු කෙනෙක්. මම කවදාවත් හිතුවේ නැහැ මගේ ගීතයක් ගායනා කරගන්නවත්, මුණගැහිලා කතාබහ කරන්නවත්. ඒ වගේම විවියන් ද සිල්වා බොරලැස්ස මහත්මිය ලවා මගේ බුදු ගුණ ගීයක් කියවා ගන්නවත් මට ලැබෙයි කියලා මම හිතුවේ නැහැ.

ඔබ වහන්සේ එච්. ආර්. ජෝතිපාලයන්ටත් ගීතයක් ලියා දුන්නා නේද?

මේක බොහෝ දෙනෙක් නොදන්න දෙයක්. තරුණයා පත්තරයෙන් අසූ ගණන්වල ගී රචනා තරගයක් තියලා අයදුම්පත් දොළොස් දහසකින් හොඳම ගීත රචකයන් තෝරලා කැසට්පටයක් කළා. ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් ලවා සිංදු දොළහක් කළා තරුණයා ගී ගියලා. ඒ සඳහා ගීත රචනා කරපු එක් කෙනෙක් මම. ඒ මම රචනා කරපු සත් පොට මාලේ බැඳිමිණි බොල් වී . . . ගීතය ප්‍රේමසිරි කේමදාස මහත්තයා තමයි ගීතය සංගීතවත් කළේ.

රජරට සේවය ආරම්භයත් සමඟ අපිට හොඳ අතදීමක් කළා ගුණදාස කපුගේ. ඔහුටත් මම ගීත කිහිපයක්ම ලියලා දුන්නා. කපුගේ අපිට දුන්න ඒ අත හිත නිසාම කොළඹදීත් අපිට පිළිගැනීමක් ඇති වුණා. මෙයාගේ සිංදු කපුගේත් කියනවා කියලා මට ක්ෂේත්‍රයේ හොඳ ආලෝකයක් ලැබුණා. අපිට ඉහළ පරම්පරාව, අපේ සමකාලින පරම්පරාව, අපිට පසු පරම්පරාව ගායකයන් ගායිකාවන් වගේම සංගීතඥයන් වෙනුවෙනුත් මට සම්බන්ධ වෙන්න ලැබුණා.

සංගීතඥයන්ගේ ගායකයන්ගේ පිය පුතු සබඳතාවයටත් ඔබ වහන්සේගේ ගීත රචනයෙන් එක් වෙනවා?

සරත් දසනායක රංග දසනායක, වික්ටර් රත්නායක ජයන්ත රත්නායක, ගුණදාස කපුගේ මිත්‍ර කපුගේ, ටී. එම්. ජයරත්න ඉසුරු ජයරත්න පිය පුතු සබඳතාව වෙනුවෙන් පවා මගේ ගීත ගායනා කරනවා. සංගීතවත් කරනවා. මේකත් ඇත්තෙන්ම විශේෂ දෙයක්.

ගීත රචනා පොත් කීපයකුත් සංයුක්ත තැටි කීපයකුත් ඔබ වහන්සේ නිර්මාණ ලෙසින් එළි දැක්කා නේද?

ගීත පොත් තුනක් එළි දැක්කා. 88’ දී පහන නිවී දොලොස් මහේ, 2004 දී අතීතයේ සිහිනයක්, 2009 දී සීතල ගගුල කෘති එළි දැක්වුවා. මේ කෘතිය සඳහා මට විද්‍යේදය සාහිතය සම්මනයක් හිමි වුණා. මගේ මුල්ම ගීත සංයුක්ත තැටිය සඳඑළිය 2004 වසරේදී නිකුත් තළා.

මෙතරම් ගීත ප්‍රමාණයක් රචනා කරලා තිබියදීත් එක් ගීත ඇල්බමයක් පමණක් නිකුත් කළේ?

ඒ නිසාම තමයි මම අදහස් කළේ ගීත සංරක්ෂණ වැඩ පිළිවෙලක් වෙත යොමු වෙන්න. ඒ තුළින් නිවැරැදි තොරතුරු සංරක්ෂණයවිමක් සිදු වෙයි. කොහොමත් දැන් මම වසර තිස් අටක් විතර මේ ක්ෂේත්‍රයේ නියැලී හිටියා. දැන් නම් බොහෝ විට යමෙකුගේ බල කිරීමකට බැරිම තැන ගිත රචනාවක් ලියනවා හැරෙන්න තිබෙන අවිවේකී බවත් එක්ක දැන් මට කාලයක් නැති තරම්. කොහොමත් මගේ කලා ජීවිතයට වසර හතලිහක් සපිරෙන කොට මමත් මේ කටයුතුවලින් සමුගන්න තමයි බලාපොරාත්තුව. විශේෂයෙන් ක්ෂේත්‍රය තුළ තිබෙන කණගාටුදායක හැසිරීමත් එක්ක දුරස් වී යන එක හොඳයි කියලා මට දැන් හිතෙනවා.