වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




විජිත මල්ලිකා රුව රැගෙන 18 දා ‘දවසක් ඒවි’

විජිත මල්ලිකා රුව රැගෙන 18 දා ‘දවසක් ඒවි’

දියණිය ප්‍රියා අත්තනායක

සිනමා විජිතයේ විජිත මල්ලිකාව මිලින වී වසර විසි පහක්ම ගෙවී ගොස් අවසන්ය. සරසවිය පුවත්පතේ මුල්ම කවර සැරසූ නිළිය, 1966 වසරේ සරසවිය සම්මාන උළෙලේ අසීමිත ජනප්‍රියත්වය උදෙසා 'ප්‍රියතම චරිතය' නම් විශේෂ සම්මානයකින් පිදුම් ලද නිළිය, මේ සුවිශේෂී විසිපස් වසරේදී සරසවිය පිටු අතරින් ගිලිහී යන්නේ කෙසේ ද?

සන්ධ්‍යා කුමාරි, ජීවරාණි කුරුකුලසූරිය සහ විජිත මල්ලිකා යනු හැටේ දශකයේ මෙරට සිනමාවේ රජ කළ රැජනන් තිදෙනායි.

විජිත ද සිල්වාට කලාව උරුම වුණේ උපතින්මය. නැන්දණියක වූ මිලිසිනා සහ බෙන්ජමින් ප්‍රනාන්දු මාමා එකල වේදිකා නළු නිළියන්ය. මේ නෑකමේ උරුමය නිසාමදෝ මීගමුවේ කුඩා කුසුම් බාලිකාවේ ඉගෙනුම ලබද්දී ඇය පාසල් වේදිකාවේ නැටුමින්, රැඟුමින් කැපී පෙනෙන දස්කම් පාන පුංචි තාරකාවක වූවාය. එක් වසරකදී පාසලේ ළමා නාට්‍යවල ජයග්‍රාහිකාවන්ට තෑගි බෙදාදීමේ උත්සවයට පැමිණියේ අපේ පළමු නිළි රැජන රුක්මණී දේවිය හා එඩී ජයමාන්නයි. දෙදෙනා තෑගි දී වාහනයට ගොඩ වෙද්දී දුවගොස් රුක්මණී දේවියගේ අතේ විජිතා එල්ලුණාය. මේ පුංචි කෙල්ලගේ අත් දෙක දෝතින්ම අල්ලාගත් රුක්මණී දේවිය පවසා ඇත්තේ ඔයා නම් කවරදා හෝ සිනමා නිළියක් වෙන බවය.

රුක්මණී දේවියගේ ආදරණීය පුංචි රසිකාවට නිළියක වීමේ ආශාව තදින්ම ඇති වූයේ එදිනය. වයස අවුරුදු දාහතරක, පහළොවක නව යෞවනයේදීම විජිතාට පියාගේ යාළුවකු වූ හියුගෝ ප්‍රනාන්දු මාර්ගයෙන් 'සූරයා' සිනමාපටයේ සුළු චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබිණි. විජිතා සිනමාවේදී විජිත මල්ලිකා ලෙසින් නම් ලැබීය. එතැන් සිට ඇයට රංගනයෙන් විරාමයක් ලැබුණේ නම් නැත. මේ කටකාර, දඟකාර ගැටවරියට චිත්‍රපටවලට ආරාධනා ගලා එන්නට පටන් ගත්තේය. 1956 වසරේ 'සූරයා' සිනමාපටයේ රංගනයෙන් පසු සහාය නිළියක, විකට නිළියක ලෙසින් ජනප්‍රිය වූ විජිත මල්ලිකාට ප්‍රධාන චරිතයක් ලැබුණේ 'සුවිනීත ලාලනී' සිනමාපටයෙනි. ඇයට ඔරලෝසුවේ කටුවලට ලැබෙන තත්පරයක විරාමයක් ලබන්නවත් අධ්‍යක්ෂවරුන්ගෙන් ඉඩක් නොලැබිණි.

'හඳපාන', 'රෑන ගිරව්' සිනමාපටවල අහිංසක තරුණිය, 'ධීවරයෝ' සිනමාපටයේ කටකාරිය, 'සැඟවුණු මැණික' සලරුවේ තැන්පත් පාසල් ගුරුවරිය, 'ස්වීප් ටිකට්', 'සැඟවෙන සෙවණැල්ල' සිනමාපටයේ කෙළිලොල් සරාගිනිය ලෙස ඇය කළ චරිත අදටත් ප්‍රේක්ෂක හද රැඳි මතකයන්ය.

විජිතාගේත්, සන්ධ්‍යා කුමාරිගේත් කරටකර තිබූ රංගන හැකියාව හා ජනප්‍රියකම වටහා ගතහැකි දුලබ සාක්ෂියක් ද අපේ සිංහල සිනමා වංශ කතාවේ ඇත. ධීවරයෝ ප්‍රධාන චරිතය වූ 'රොසලින්' විජිතා සහ සන්ධ්‍යා දෙදෙනාගෙන් කෙනකු තෝරා ගැනීම සිනමා අධ්‍යක්ෂ ඇම්. මස්තාන්ට උභතෝකෝටික ගැටලුවක් විය. ඔහු කළේ කාසියේ වාසිය උරගා බැලීමයි. ඒ අනුව සන්ධ්‍යා 'රොසලින්' වූවාය. එහෙත් මේ චරිතයට දෙදෙනාම කෙතරම් රංගනයෙන් ආත්මීයව බද්ධ වී සිටියා ද කිවහොත් සිනමාපටයේ මාළු වෙළෙඳ පොළේ දෙදෙනා කෙස්වලු පටලවාගෙන ඇත්තේ ද තාත්විකවමය. තමන්ට කාසියේ වාසියෙන් අහිමි වූ 'රොසලින්' චරිතයේ අඩුව ඇය පසු කාලයේ පුරවා ගත්තේ ඇයගේ කුළුඳුල් හා එකම සිනමා නිෂ්පාදනය වූ 'සුළි සුළං' සිනමාපටයේ ඒ හා සමාන චරිතයෙන් බවට ද රාවයක් පැවතිණි.

විජිත මල්ලිකා නම් ආරම්භක යුගයේ රිදී තිරය බැබල වු නිළිය සිනමාවට දායාද කළ නිර්මාණ වගේම ඇය ඒ නිර්මාණ සඳහා කළ කැපවීම ද ඇය ජීවත්ව සිටියදී මෙන්ම මියගිය පසුව ද සහෝදර සිනමා කැලගේ වගේම රසික හදවත් හිද නොමියෙන මතක එකතුවක් විය.

'හතර පෙරළිය' සිනමාපටයේ ඇය වැසි සහිත ජවනිකාවකට පෙනී සිටියේ 102 ට උණ වැලඳී තිබියදීය. අධ්‍යක්ෂ ඇල්. ඇම්. පෙරේරා සිනමාපටයේ ජවනිකාවකට කෘත්‍රිම වැස්සක් ඇති කර තිබෙන්නේ ගිනි නිවන හමුදාව මඟිනි. දර්ශනය රූගත කිරීම රාත්‍රී 10.00 ට ඇරැඹුණු අතර එළිවන තුරුම රූගත කිරීම්කර තිබේ. අයිස් මෙන් සීතල වතුරෙන් මිරිකී ගැහෙමින් උණෙන් ද පෙලෙමින් විජිතා රූගත කිරීම්කර තිබෙන්නේ අසනීප තත්ත්වය නිසා හෝ තමන් පසු දිනට රංගනය කල් දැම්මා නම් පසුවදාටත් අධ්‍යක්ෂට විශාල මුදලක් වැය කිරීමට සිදුවන නිසයි.

සැඟවෙන සෙවණැල්ල සිනමාපටයේ විජිතා පිඹුරකු සමඟ කළ ත්‍රාසජනක රංගනය දුටුවන්ට අදට ද එය ලොමු ඩැහැගැන්වෙන අත්දැකීමකි. අඩි විස්සක් දිග රාත්තල් 40 ක් බර දැවැන්ත පිඹුරකු සමඟ විජිතා පුරා පැය දෙකක් කළ සටන 1965 දී පුවත්පත්වල 'විජිත මල්ලිකා පිඹුරෙක් වෙලා ගනී' යන හිසින් පළ විය. ප්‍රේක්ෂකයන් 1966 දී සිනමාපටය තිරගත වනතුරු බලා සිටියේ නොඉවසිල්ලෙනි. තිරගත වු පසු පිඹුරු ජවනිකාව නිසාම සිනමාපටය හත් අට වරක් නැරැඹූ රසිකයෝ සිටියහ. එහෙත් පිඹුරු දර්ශනය නිසා තමන් විඳි පීඩාව, බිය දැන සිටියේ විජිත මල්ලිකාම පමණි. ඇයට ඌ සමඟ පොර බැඳීමේ ජවනිකාව රූගතකර අවසන් වෙද්දී සිහිසුන් වීමට තිබී ඇත්තේ නිමේශයකි. එහිදී කකුල කැපී ඇති වූ තුවලයේ කැළල මියෙන තුරුම තිබිණි.

'මං ඇඳෙන් බහින්න පුළුවන් හැම වෙලාවකම රඟපෑවා' විජිතා පවසා තිබේ. එය සැබෑවකි. අධ්‍යක්ෂවරුන් ඇයට තවදුරටත් වෙහෙසීමට, නිදි මැරීමට බැරි බව දැක පසු දිනකට රූගත කිරීම් කල් දැමූ නමුත්, ඇය තමන්ගේ බැරිකම කිසි කලක නොපැවසූ නිළියක ලෙස ප්‍රකටය. මේ කැපවීම කෙතරම් ද කිවහොත් එය පසුකාලීනව ඇයව පියයුරු පිළිකා රෝගියකු කිරීමට ද හේතු විය. 'සුවිනීත ලාලනී' ජවනිකාවක් ඔරුවක රූගත කරද්දී ඇය සාරිය පැටලීම නිසා මරු දකිමින් ජීවිතය බේරා ගත්තාය. ඒ දෙවැනි දියණිය ප්‍රියන්ති කුසෙහි දරා සිටියදීය. ප්‍රියන්ති (ප්‍රියා) දියණිය ඉපදුණු පසුව එරෙන කිරි වාරුවෙන් ඇය ළමැදේ තෙරපා ගෙන රූගත කිරීම් කර තිබෙන්නේ ද කායිකව මෙන්ම මානසිකව ද දැඩි වේදනාවකිනි. ඊට ඇය ජීවිතයෙන් වන්දි ගෙව්වේ පසුකාලීනව පියයුරු පිළිකාවකට ගොදුරුවීමෙනි. වාත්තීය නිළියක ලෙස ඇය කළ කැපවීම්වලට ඊට වැඩි උදාහරණයක් තවදුරටත් අනවශ්‍යය.

සිනමා විජිතයක් මැවූ වයස අවුරුදු දාහතරෙන් ඇරැඹි විජිතාගේ නිළි භූමිකාව වයස අවුරුදු විසිපහේදී නිමා විය. ඒ පළමු විවාහයේ ද අවසානය ද සටහන් කරමිනි. සංගීත කණ්ඩායමක සර්පිනා වාදකයකු වූ ඇන්තනි ප්‍රනාන්දු (පසුව සිනමා අධ්‍යක්ෂවරයෙක්) සමඟ හාද වී මාපිය විරෝධතා මැද ළාබාල වියේදීම විවාහ වූ විජිතා පසුව දික්කසාද විය.

අනතුරුව ඇය විවාහ වූයේ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ ගාමිණී මුණසිංහ සමඟයි. එතෙක් ගත කළ සැහැල්ලු, දඟකාර විමෝදබර ජීවිතයට සමුදුන් විජිතා ඉන් පසුව දරුවන් සමඟ ගත කළේ හාත්පසින්ම වෙනස් නිහඬ ජීවිතයකි. රඟද්දී මෙන්ම රඟපෑමෙන් සමුගත් පසුව ද ඇය දූ දරුවන්ට යුතුකම් අකුරටම ඉටු කරන ආදරණීය මවක වූවාය. රඟපෑමෙන් සමු ගත්ත ද විජිත මල්ලිකා හඳපාන සිනමාපටයේ ගීත මිමිණීමට අමතක නොකළාය. හඳපාන සහ 'සැඟවුණු සෙවණැල්ල' ඇයගේ ප්‍රියතම සිනමාපටය.

මේ දිරිය රංගන ශිල්පිනියගේ මතකය අවදි කිරීමට දෙවැනි දියණිය ප්‍රියා (ප්‍රියන්ති) අත්තනායක සූදානමින්ය. ඇය මිය ගොස් විසි පස් වසරක් ගතවීමත් 'සුරයා' සිනමාපටය තිරගත වී වසර හැටක් ගතවීමත් නිමිතිකොට ඇය මාර්තු 18 වැනිදා පස්වරු හයට 'දවසක් ඒවී' නමින් සංගීත ප්‍රසංගයක් පානදුර නගර ශාලාවේදී පවත්වනු ලැබේ.

මවගේ කලා ලොවට ප්‍රියා අත්තනායක නෑකම් කියන්නේ ගායනයෙනි.

මේ ප්‍රසංගයේදී විජිත මල්ලිකා රැඟූ හඳපාන, රෑන ගිරව්, ස්වීප් ටිකට්, සීතල වතුර, සුලි සුළං වැනි අතිශය ජනප්‍රිය වූ බොක්ස් ඔෆිස් වාර්තා පිහිට වූ සිනමාපට ගණනාවකම රසාලිප්ත ගීතවලට සවන්දීමට රසික රසිකාවන්ට කලකට පසු දුලබ වරමක් හිමිවේ.