වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




විශ්වගේ චරිතය රඟන්න පෙර මා මානසික රෝහලටත් ගියා

විශ්වගේ චරිතය රඟන්න පෙර මා මානසික රෝහලටත් ගියා

නව පරපුරේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු

ශ්‍යාම් ප්‍රනාන්දු මේ දවස්වල ඔබ හමුවට පිවිසෙන්නේ තරුණ අධ්‍යක්ෂවරුන් දෙපළක් වන වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශගේ ‘ප්‍රේමය නම්’ සිනමාපටයේ විශ්වගේ චරිතයට පණ පොවමිනි. ඔහුගේ රුව රිදී තිරයට ආධුනික නොවන්නේ ඔහු පළමුව චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ සරත්සිරි ලෙසින් බැවිනි. ඒ චිත්‍රපටය නැරැඹූ සිනමා ප්‍රේක්ෂකයන්ට සරත්සිරිගේ චරිතය කිසි දිනෙක අමතක නොවන චරිතයක් බව රහසක් නොවේ. සරත්සිරිගේ චරිතය මෙන්ම අනාගතයේදී ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ විශ්වගේ චරිතයද සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතේ වඩාත් මතක සිටින චරිතයක් බවට පත්වනු නොඅනුමාන ය. මේ ඒ චිත්‍රපටය පිළිබඳ ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ කළ කතාබහකි.

“යස සුබ දෙස බලා

බොහොම කඩවසම් රූප ස්වභාවයෙන් යුක්ත තරුණයෙක්. තා මා වාගේ යැයි මිනිස්සු පවසනවාලු නේද තරුණය?

සුබ - නෑ ස්වාමිනි, මිනිසුන් පවසන්නේ මා තමුන්නාන්සේ වාගේ කියායි.

යස - හරි බුද්ධිමත් තරුණයෙක්. තගේ නම.

සුබ - සුබ

යස - සුබ නමක්”

වෙන්නප්පුව රඟහලේ වේදිකා ගතවුණු ‘සුබ සහ යස’ වේදිකා නාට්‍යයේ මේ දෙබස් ටික පුංචි ශ්‍යාම්ට කටපාඩම් ය. ඔහු වේදිකාවේ රඟන නළු නිළියන් දෙස බලා සිටියේ ඇසිපිය නොසොල්වමිනි. එහි යසලාල තිස්සගේ චරිතය රඟන සයිමන් නවගත්තේගම අසල මේ කොලුගැටයාගේ සිත නතර වූයේ ඉබේටම ය. ඒ වනවිටත් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ඉගෙන ගත්ත ශ්‍යාම් ඒ රඟහලට පැමිණෙන ‘ධවල භීෂණ’, ‘විකෘති’, ‘හිට්ලර්’, ‘අබුද්දස්ස කෝලම’, ‘අන්දරේලා’, ‘තලමල පිපිලා’ ආදි වේදිකා නාට්‍ය රැසක් ම නැරැඹීමට ඉටාගෙන සිටියේ ය. ඔහුගේ නාට්‍ය නැරැඹීමේ ආසාව කොතරම් වී ද යත් පසු කාලයේ කොළොම්පුරවරයට පිවිස නාට්‍ය නැරැඹීමට තරම් එය හේ පුරුද්දක් කර ගත්තේ ය. ඒ ශ්‍යාම් පුහුණු ගුරුවරයකු විදියට පත්වීමක් ලබා සිටි කාලයේ ය.

“වෙන්නපුවට කිලෝමීටර පහක් දුරින් පිහිටලා තිබුණු කටුනේරිය මගේ ගමයි. අර්ධ නාගරික ගමක් වුණු කටුනේරියේ අපේ පවුල්වල නෑදෑයන් හිටියේ එක ළඟ. ඒ නිසා අපේ පවුල්වල සෑම කටයුත්තකදි ම පවුලේ සියල්ලන් ම එක ම නිවෙසකට එකතු වීමේ පුරුද්දක් අපට තිබුණා. ඒ එකතු වුණු සමහර දවසකට සංගීත සාජ්ජයක් නම් නොවැරැදුණු තරම්. ඔවුන් කලාවට කෙතරම් ආදරය කළා ද කිව්වොත් ඔවුන්ගෙන් පසු පරපුරට ඒ සියලු කලා හැකියාවන් උරුම කරදීමේ අරමුණකිනුයි ඔවුන් කටයුතු කළේ. ඒ සඳහා ඔවුන් සියල්ලන් ම ඒකරාශි වෙලා ඒ කාලයේ වෙන්නප්පුවට ආව චිත්‍රපට, වේදිකා නාට්‍ය නැරැඹීමට පුරුද්දක් කරගෙන සිටි බව මට අද වගේ ම මතකයි. පසු කාලයේ මගේ සිතේ නාට්‍ය, චිත්‍රපට නැරැඹීමේ ආසාව වඩ වඩාත් වර්ධනය කරන්නේ නිවෙසියන්ගෙන් කුඩා කාලයේ මේ ලැබුණු හුරුව බව මට හැඟෙන්නේ දැන් තමයි. එය තව තවත් වර්ධනය වන්නේ පුහුණු ගුරුවරයෙක් විදියට මා පත්වීමක් ලබලා ඉන්න කාලේ. කොළඹ ඇවිත් ඒ විදියට නැරැඹුව රාජිත දිසානායකගේ ‘මට වෙඩි තියන් නැද්ද’ කියන්නේ අදත් මම බෙහෙවින් ම ආදරය කරන නාට්‍යයක්.”

ඉංග්‍රීසි පුහුණු ගුරුවරයකු විදියට හා හා පුරා කියමින් ශ්‍යාම් ප්‍රනාන්දු පිවිසෙන්නේ දුෂ්කර පාසලක් වූ නාගමඩුව කනිෂ්ඨ විද්‍යාලයට ය. බොහොම දුප්පත් ළමයි පිරිසකගෙන් සමන්විත ඒ පාසලේ වාර අවසානයේ පැවැත්වුණු විවිධ ප්‍රසංගය ඔහුගේ නාට්‍යවලට තිබුණු උනන්දුව වර්ධනය කළේ ය. මේ නිසා ම ශ්‍යාම්, සෝමලතා සුබසිංහ ප්‍රවීණ නාට්‍යවේදිණියගේ යොවුන් හා කලා රංග පීඨයට පිවිසෙන්නේ ළමා නාට්‍ය පිළිබඳ හැදෑරීමේ අදහස පෙරදැරිව ය. තමා සතු රංගන කුසලතාව හඳුනා ගැනීමට ශ්‍යාම් ප්‍රනාන්දු තරුණයාට හැකියාව ලැබෙන්නේද මෙහිදී ය.

“රංගනයෙන් දිගු ගමනකට මුල පුරන්නේ ඒ හඳුනා ගැනීම ද?”

“මගේ රංගනයට තිබෙන ශක්‍යතාව ගැන දැන ගැනීමෙන් පසුවයි මට රාජිතගේ නාට්‍යවලට සහභාගි වීමට ආරාධනා ලැබෙන්නේ. මා රංගනයේ විවිධ දේ අත්හදා බැලීමට පෙලඹෙන්නේ රාජිතගේ නාට්‍යවලට සහභාගිවීමත් සමඟයි. මේ අතරදි ඉගැන්වීමට පැමි‍ණෙන ශාන්ත රීටා විද්‍යාලයේදියි මා පාසල් නාට්‍ය විධිමත් විදියට නිෂ්පාදනය කරන්න පටන් ගන්නේ. ඒ නිෂ්පාදන සඳහා අවස්ථා කිහිපයකදි ම රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ දි සම්මාන ලබා ගැනීමටත් අපට හැකි වෙනවා. ඒ වගේ ම මේ පාසලෙන් නාට්‍ය හා රංග කලාව කියන විෂයයත් සමඟ සම්බන්ධ වෙලා වැඩ කරන්න කියලත් මට ආරාධනා ලැබෙන්නේ ඉන්පසුවයි. එතැනින් පසුව කටුනේරිය විද්‍යාලයේත් ටික කාලයක් සේවය කරන මා මේ දක්වා ම ගුරුවරයකු ලෙස ලෙස සේවය කරන්නේ කඳාන පමුණුගම විද්‍යාලයේයි. විශේෂයෙන් මා එහි පිවිසෙන්නේ නිර්මාණවලට දායක වීමේදී කොළඹ යන්න එන්න තිබෙන පහසුව පිළිබඳ සලකලයි.”

‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරං’, ‘ආපසු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදි බසී’, ‘ආදර වස්තුව’, ‘සිරිවර්ධන පවුල’, ‘නැතුවම බැරි මිනිහෙක්’ ශ්‍යාම් රංගනයෙන් සහභාගි වන රාජිතගේ වේදිකා නාට්‍යවලින් සමහරෙකි. ඔහු රංගනය පිළිබඳ අත්හදා බැලීම් කළේ, රංගනය පිළිබඳ ඉගෙන ගත්තේ මේ නිර්මාණ හරහා ය. වසර පහළොවක් ම එහි සැරිසරන ශ්‍යාම් ප්‍රනාන්දු සිනමාවට පිවිසෙන්නේ 2000 ද වසරේදී ය. ඒ සත්‍යජිත් මාඉටිපේගේ ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ බෞද්ධ භික්ෂුවගේ චරිතයට පණ පොවමිනි.

“ඔබට චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට පණ පොවන්නට ලැබෙන්නේ දිගු කාලයකට පසුව නේද?”

“‘බොරදිය පොකුණ’ චිත්‍රපටයෙන් පස්සේ මම රංගනයෙන් දායක වන්නේ උදයකාන්ත වර්ණසූරියගේ ‘ලේ කිරි කඳුළු’, ‘දියයට ගින්දර’ චිත්‍රපටවලටයි. ඒ නිර්මාණවල බොහොම සුළු චරිත රඟපෑ මට ප්‍රධාන චරිතයක් සඳහා ආරාධනා ලැබෙන්නේ 2012 වසරේ ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය සඳහායි. ඉන්පසුවයි මට ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.”

අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයට රේඛීය නිෂ්පාදනයෙන් දායක වන්නේ කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ ය. පළමු වරට ඔවුන් දෙදෙනාව ශ්‍යාම්ට මුණ ගැසෙන්නේ ප්‍රසන්න විතානගේගේ හා කල්පන හා වින්දන අතර තිබුණු හිතවත්කම නිසාම ය. ඒ ඔවුන් දෙදෙනා නිතර එහි දර්ශන තලයට ආගිය බැවිනි. ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයට පිළිබඳ මූලික වස්තුබීජය ශ්‍යාම්ට ඇසීමට ලැබෙන්නේද එහිදි ය.

“කල්පන හා වින්දන කලක සිට සොය සොය සිටින ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ විශ්වගේ චරිතයට ඔබට ආරාධනා ලැබෙන්නේ එහිදි ද?”

“මා සමඟ ඔවුන් දර්ශන තලයේ ඉන්න අවස්ථාවේදියි ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය පිළිබඳ මට පවසන්නේ. ඔවුන් එහි තිබෙන විශ්වගේ චරිතය සඳහා මට ආරාධනා කරන්නේත් එහිදිමයි. ඒ කාලයේදී ම මේ චරිතය ගැන, කතා තේමාව ගැන මට ඔවුන් බොහොම පැහැදිලිව විස්තර කළා. පිටපත ලැබුණාට පස්සේත් මේ චරිතය ගැන කතාබහ කිරීමට මාස කිහිපයක් ම ඉතිරිව තිබුණා. විශ්වගේ චරිතය මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙකුගේ චරිතයක්. ඒ චරිතය නිරූපණය කිරීමේදී සත්‍ය සිදුවීම්, සත්‍ය හැසිරීම, රෝගයේ තිබෙන විද්‍යාත්මක පසුබිම, මනෝ වෛද්‍යවරුන් සමඟ කතා කරමින්, වැඩමුළුවලට සම්බන්ධ වෙමින් චිත්‍රපටය ගැන හා චරිතය ගැන රූ ගත කිරීම්වලට පෙර මනා අවබෝධයක් ඇතිකර ගැනීමට ලැබීම සතුටට කාරණයක්. එවැනි සූදානමකින් යුතුවයි මා චිත්‍රපටයේ විශ්වගේ චරිතය රඟපාන්නේ.”

‘ප්‍රේමය නම්’ චිත්‍රපටයට පාදක වන්නේ සත්‍ය කතාවකි. වින්දන විඳී ග්‍රස්ති නියුරෝසියාව නම් රෝගය ඇසුරින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය වර්තමානය වනවිට පොදු නිර්මාණයක් බවට පත් වී අවසන් ය. එසේ සිදුවන්නේ කුඩාකල පටන් ම චිත්‍රපට රසිකයන් වූ කල්පනගේ හා වින්දනගේ සිතේ චිත්‍රපටයක් කිරීමට පිළිසිඳ ගන්නා වූ කැමැත්ත මූලිකකර ගනිමිනි.

“ග්‍රස්ති නියුරෝසියාව රෝගයට වෙන් වූ රෝග ලක්ෂණ ඔබ බොහොම හොඳීන් නිරූපණය කරන නිසා ම සිනමා ප්‍රේක්ෂකයාට හැඟෙන්නේ ඔබ රෝගියා බවයි. ඒ තරමට ම වඩාත් හොඳීන් රඟපෑමට ඔබ මොන වගේ අධ්‍යයනයක නිරත වූවා ද?”

“මේ රෝගය පිළිබඳ සම්පූර්ණ විස්තර, ඒ ඒ අවස්ථාවලදි රෝගය වැලඳුණු කෙනෙකු හැසිරෙන ආකාරය පිළිබඳ මට පැවසුවේ වින්දනයි. මේ රෝගය විවිධ පරාසයක දිවෙනවා පමණක් නොව එකිනෙකාගේ රෝග ලක්ෂණත් එකිනෙකාට සමාන වන්නේ නැහැ. ඒ බව අපට වැටහුණේ දින කිහිපයක් ම මානසික රෝහලේදී මේ රෝග තත්ත්වයට ගොදුරු වූ රෝගීන් කිහිපදෙනෙකු ම ඇසුරු කිරීමේදියි. වෛද්‍ය කපිල රණසිංහත් අපට මේ රෝගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේදී බොහෝ සහයෝගය දැක්වූ අයෙක්. ඔහුට උවමනා වී තිබුණේ මානසික රෝගයෙන් පීඬා විඳීන කෙනෙකුගේ නැතිනම් ග්‍රස්ති නියුරෝසියාව නම් රෝගය වැලඳුණු කෙනෙකුගේ චරිතයක් නිරූපණය කිරීමේදී එය නිවැරැදිව ඉදිරිපත් කිරීම සඳහා අපට සහායවීමයි. මොක ද බොහෝ වෙලාවට ලංකාවේ මානසික රෝගයකට ලක් වූ චරිතයක් රඟපෑමේදී එය රඟපාන නළු නිළියන්ගෙන් ඉදිරිපත් වීම සිදු වන්නේ විකෘති ආකාරයෙන් නිසයි ඔහු එලෙස සිදු කළේ. එය රඟපාන නළුවාගේ හෝ නිළියකගේ වරදක් නොව අධ්‍යක්ෂවරුන්ගේ හා තිරරචකයන්ගේ වරද නිසයි එසේ සිදුවන්නේ. ඒ ඔවුන් වෛද්‍යවරයකුගේ මඟ පෙන්වීම නොලබා එවැනි කටයුත්තක් සිදු කිරීම නිසයි.”

ලංකාව වැනි රටක මානසික රෝගයක් පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරන්නේ නැතිතරම් ය. එහෙත් එවැනි කාල වකවානුවක ග්‍රස්ති නියුරෝසියාව වැනි රෝග තත්ත්වය අලළා චිත්‍රපටයක් කිරීමත්, එහි සත්‍ය තොරතුරු සමාජයට අනාවරණය කිරීමත් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එවැනි කාලයකයි කල්පන හා වින්දනගේ පියාණන් වන ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශයන් මේ පිළිබඳ සිනමාපටයක් තැනීමට යෝජනාව ගෙන එන්නේ.

“ ‘ප්‍රේමය නම්’ චිත්‍රපටය මානසික රෝග සම්බන්ධයෙන් ලාංකේය සමාජයේ වෙසෙන්නන්ගේ සිත්වල වෙනස් හැඟීමක් නිර්මාණය කිරීමට සමත් වේද?”

“මානසික රෝගයක් කියන වචනයට සමාජයෙන් ලබාදෙන්නේ වැරැදි අදහසක්. කුමන මානසික රෝගයකින් පෙළුණ ද සමාජය ඊට දෙන අදහස නම් ‘පිස්සු’ යන්නයි. සාමාන්‍ය ආකාරයෙන් අපට වැලඳෙන උණක්, හෙම්බිරිස්සාවක් යන රෝග වෙන වෙන ම හඳුනා ගැනීමට හැකි අයුරින් ම මානසික රෝගයකටත් විවිධ තත්ත්වයන් තිබෙනවා. යමෙකුට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ගැනීමත් සමඟ සුව වීමේ අවස්ථාව උදා වුණත්, එවැනි අදහසක් සමාජයේ වෙසෙන්නන්ගේ සිත්වල ඇත්තේ නැහැ. සුව වී වසර ගණනක් ගත වුවත් නිවෙස්වලින් රැගෙන නොයන අය මානසික රෝහලේ සිටින්නේ මේ නිසයි. ඔවුන් අපටත් වඩා හොඳට එහි කටයුතුවලට සහයෝගය දක්වමින් සිටින අයුරු මා දුටුවා. මේ නිසා සමාජයේ වෙසෙන්නන් වශයෙන් එකිනෙකාට විවෘතව කතාබහ නොකරන සමාජයක මානසික රෝගයක් ගැන විවෘතව කතා නොකරන්නටයි බොහෝදෙනා පෙලඹෙන්නේ. එවැනි සමාජයක මානසික රෝගයක් පිළිබඳ චිත්‍රපටයක් කිරීමෙන් සමාජයේ මානසික සෞඛ්‍ය ගැන කතාබහක්වත් ඇතිවේවි. ඒක යහපත් ප්‍රවණතාවක්.”

‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ සරත්සිරි ඇතුළු හදවතට නැඹුරු වූ චරිත ලක්ෂණ පිළිබිඹු කළ චරිතයකි. ශ්‍යාම් ප්‍රනාන්දු ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ විශ්ව ලෙස රඟපාන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූ චරිතයකි.

“එකිනෙකට වෙනස් වූ චරිත රඟපෑමට නළුවකුට ලැබෙන්නේ අහම්බයෙන්. විශේෂයෙන් ම දෙවැනි නිර්මාණයෙන් ම එවැනි වෙනසක් කරා පිය මැනීමට ඔබට හැකියාව ලැබෙනවා?”

“මාව සිනමා ප්‍රේක්ෂකයන් මීට පෙර දකින්නේ සරත්සිරිගේ චරිතය ඔස්සේයි. සරත්සිරි හැඟීම් සහ සංවේදනා විවෘතව ඉදිරිපත් කරන චරිතයක් නොවෙයි. විවෘත නොවන චරිතයක් විදියට මට ඔහුව නිරාවරණය කිරීමට සිදුවුණේ බොහොම පරිස්සමෙන්. ඒ චරිතය නිරූපණය කිරීමට මට සිදුවුණේ බොහොම සියුම්වයි. රංගන ශිල්පියකු සැමවිට ම කැමැත්තක් දක්වන්නේ නිදහස්ව සිය රංගනය හරහා අදහස් ප්‍රකාශ කරන්නයි. සරත්සිරි නම් චරිතය හරහා මට එවැනි ඉඩකඩක් නිර්මාණය වන්නේ නැහැ. ඒ චරිතයේ ස්වභාවයයි. එහෙත් ‘ප්‍රේමය නම්’ චිත්‍රපටයේ දිගු පරාසයක විහිදුණු සිදුවීම් මාලාවක් ඔස්සේයි ගලාගෙන යන්නේ. මෙවැනි දිගු සිදුවීම් පරාසයක නිරූපණයේ යෙදීමට හැකියාව ලැබෙන නිසා, මේ චරිතය සරත්සිරිගේ චරිතයට වඩා වෙනස් විදියටයි සිනමා ප්‍රේක්ෂකයන් දකින්නේ. සිනමාවට පිවිසුණු විට ම මට මෙලෙස වෙනස් චරිත ඔස්සේ සිනමා ප්‍රේක්ෂකයන් හමුවට පිවිසීමට ලැබීම ඇත්තට ම සතුටට කාරණයක්.”

‘ප්‍රේමය නම්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය වන්නේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු යටතේ ය. ඒ තරුණ අධ්‍යක්ෂවරුන්ගේ පළමු නිර්මාණය වන්නේ ද ‘ප්‍රේමය නම්’ ය.

“අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු යටතේ රඟපෑමට ලැබීම ඔබගේ රංගන ජීවිතයට ගෙනෙන්නේ කුමන අත්දැකීමක් ද?”

“ඒක වෙනස් ම අත්දැකීමක්. ඔවුන් දෙදෙනා සහෝදරයන් නිසාත්, තිරරචනය දෙදෙනාත් සමඟ ම සාකච්ඡා කර ගොඩනඟන ලද නිසාත් මේ දෙදෙනා අතර මතභේද තිබුණේ නැහැ. ඒ වගේ ම ඔවුන් දෙදෙනාට ම තිබුණේ එක ම අදහස්. මේ චිත්‍රපටය කෙරෙන්නේ කොහොම ද? මෙහි තිරරචනය සහ සිනමා රූප භාවිත කරන්නේ කොහොම ද? කියන කාරණා ගැන ඔවුන්ට හොඳ අවබෝධයක් තිබුණා. පළමු සිනමා නිර්මාණයක් කරන අධ්‍යක්ෂවරුන්ව අප දකින්නේ බොහෝ විට පළමු නිර්මාණය කර එහි තිබෙන අඩුපාඩු හදා ගනිමින් දෙවැනි නිර්මාණය කිරීමයි. මේ දෙදෙනා එහෙම නොවෙන්නේ වසර පහළොවක් පමණ සිනමා පිළිබඳ හදාරමින්, ඉගෙන ගෙන, අවබෝධයක් ඇතිව, දැනුම්වත්ව ඒ කටයුත්තට පිළිපන් නිසයි. වින්දන විශේෂයෙන් ම රංගන කාර්යයන් සම්බන්ධයෙන් සොයා බලන අතරේ, රූපගත කරන අවස්ථාවලදි කල්පන කැමරාව, ආලෝකකරණය ඇතුළු තාක්ෂණය ආදි දේ සම්බන්ධයෙන් සොයා බලමින් කටයුතු කළා. ඒ නිසා ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයේ මනා ගැළපීමක් අප දුටුවා. එහි උපරිම වාසිය රංගන ශිල්පීන් වන අපටත්, සමස්තයක් ලෙස චිත්‍රපටයටත් ලැබුණු බවයි මා සිතන්නේ.”

ශ්‍යාම් ප්‍රනාන්දු සමඟ අනෙක් ප්‍රධාන චරිතය රඟපාන්නේ සමනලී ෆොන්සේකා ය. සමාධිගේ චරිතයට පණ පොවන සමනලී, ශ්‍යාම් මෙන්ම අපට සිටින දක්ෂ නිළියකි.

“විශ්වගේ චරිතයට සමාධිගෙන් ලැබුණු සහයෝගය මොන වගේ ද?”

“සමනලී ෆොන්සේකා කියන්නේ මගේ නිර්වචනය අනුව මෑත කාලයේ කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායකගෙන් පසුව බිහිවුණු දක්ෂතම රංගන ශිල්පිනියක්. චරිත නිරූපණය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඈ සතුයි. විශේෂයෙන් ම රංගනයේදී චරිතයක් නිරූපණය සඳහා අනෙක් රංගන ශිල්පීන් සමඟ කොපමණ සහයෝගයක් අවශ්‍ය ද කියන කාරණය ගැන ඈ ඉන්නේ මනා අවබෝධයෙන්. ඈ මගේ චරිතය රඟපෑමට වගේ ම චිත්‍රපටයටත් මනා සහයෝගයක් ලබා දුන්නා.”

තිලානි ශානිකා විතානාච්චි

සේයාරුව - මාලන් කරුණාරත්න