වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




රංගනයට අලුත්ම මිත්තණියක් සඳසීලි ප්‍රනාන්දු

සිංහල ගීතයට පෙම් බැඳී ඉන්දියානුවා - ත්‍රිදේව්

රතු රෝස යායෙන්

සමනල්ලු ඇවිදින්

කාගෙන් දෝ හසුනක් දුන්නා . . .

'රතු රෝස ' නමින් මේ ගීතය අන්තර්ජාලයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් ගීතයක් බවට පත් වෙලා. මෑත යුගයේ ඉතාම ජනප්‍රිය ගීතයක් වූ 'අනන්තයෙන් පියඹා ඇවිදින්' ගීතය ගායනා කරන ඉන්දීවරී හෙට්ටිආරච්චි සමඟින් මෙය ගයන්නේ ත්‍රීදේව් බෝරා නම් ඉන්දීය ජාතික ගායකයෙක්. ත්‍රීඩීව් ඉන්දියානු ජාතික ගායකයෙකු වුවද සිංහල ගීත ලෝලීන් අතර ඔහු ජනප්‍රිය වී ඇත්තේ සිංහල බසින් ගායනා කරන මිහිරි ගීත නිසාවෙනි. ඔහු විසින් ගායනා කළ 'අම්මා', 'පාවී' වැනි ගීතද චම්පා කල්හාරි සමඟ ගැයූ 'නෙත් පියන් පියා ඉන්නම්' ගීතයද පසුගිය දිනවල අන්තර්ජාලයේ ඉතා ජනප්‍රිය ගීත බවට පත් වුණා.

ත්‍රීදේව්ගේ නවතම සිංහල ගීතය රතු රෝස සංගීතවත් කර ඇත්තේද ත්‍රීඩීව් විසිනි. 'රතු රෝස' ගීතයේ පද රචනය ත්‍රීදේව්ගේ ශ්‍රී ලාංකික මිතුරෙකු වන මනෝජ් විජේරත්න විසින් සිදු කර ඇති අතර මේ වන විට රූප රචනයද අවසන් කර ඇති එය නුදුරේදීම නිකුත් කිරීමට සුදානමින් සිටී.

ඉන්දියාවෙ සිව්සාගර් හී උපන් ත්‍රිදේව් බෝරා ඇසෑම් හා හින්දි භාෂාවෙන් ජනප්‍රිය ගීත ‍රැසක් ගයා ඇති අතර, ඉබධඡඤඩධ, ර්චඩචඤචමඥ, බ්චචනඪ වැනි ගීත ඇල්බම් කිහිපයක්ද නිකුත් කර ඇත. ගීත රචකයෙකු මෙන්ම සංගීත අධ්‍යක්ෂ වරයෙකුද වන ත්‍රිඩීව් චිත්‍රපට පසුබිම් ගායනයටද දායක වී සිටී. ඹඹඹ.බපඪඤඥඥම.ජධථ යන ඔහුගේ වෙබ් අඩවිය මගින් ත්‍රීදේව් ගේ ගීත රස විඳීන්න රසික ඔබට අවස්ථාව ඇත.


 

රංගනයට අලුත්ම මිත්තණියක් සඳසීලි ප්‍රනාන්දු

කුඩා කාලයේ පටන් ම රංගනයට බෙහෙවින් ආදරය කරන සඳසීලි ප්‍රනාන්දු කොළොම් පුරවරයට පිවිසෙන්නේ සිය පියාගේ රැකියාව කරණ කොට ගෙන ය. ගෘහ නිර්මාණ ශිල්පියකු වූ ඇගේ පියා සරත් හල්පිට සිය පදිංචිය තෝරා ගත්තේ කොළොම්පුරවරය නිසා ඈ කොළඹ සාමාජිකාවක ලෙස සිය ජීවන ගමන අරඹයි. බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නියැළි ඈ මේ වනවිට විශ්‍රාම සුවයෙන් කල්ගෙවූව ද විවිධ කටයුතු රැසක නියැළෙන්නියකි. රංගනය හා සමාජ සේවය ඒ අතර කැපී පෙනෙයි.

* කුඩා කාලයේ රංගනය ගැන සිතේ තිබුණු අදහස ඉටු නොවුණේ ඇයි?

අපි කුඩා කාලයේ රංගනය වගේ කලා අංශවල ගැහැනු ළමයි නිරත වනවාට මවුපියන්ගේ සිතේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. විශේෂයෙන් ම ආත්තම්මා ඒ වගේ දේවල්වලට මට යන්න දුන්නේ ම නැහැ.

* පාසලේදි එවැනි කටයුතුවල නියැළුණේ නැද්ද?

මා පාසල් ගියේ කළුබෝවිල බුද්ධඝෝෂ මහා විද්‍යාලයටයි. එහි මා ක්‍රියාකාරී සාමාජිකාවක්. නර්තනය, රංගනය වගේ ම ගායනයටත් මා බොහොම දක්ෂයි. පාසලේ විවිධ නිර්මාණ කටයුතවලට මා මේ අංශ තුනෙන්ම සහභාගි වී තිබෙනවා. මට මතකයි පාසලේ දී කළ ‘මනමේ’ නාට්‍ය යේදී මනමේ බිසව ලෙස රංගනයේ නියැළුණේත් මමයි.

* ඊට පස්සේ කුමක් ද කළේ?

පාසල් කාලයෙන් පස්සේ ටෙක්නිකල් කොලේජ් එකේ මා වාණිජ පාඨමාලාවක් හැදෑරුවා. ඒ අතර මා බංකුවේ විභාගයකට පෙනී සිටියා. ඒ විභාගයෙන් සමත් වීමෙන් පස්සේ මට මහජන බැංකුවේ යතුරු ලේඛිකාවක තනතුරක් ලැබුණා. ඊට කාලයකට පසුව ඉන් මා විශ්‍රාම ගන්නා විට සිටියේ එහි රහස්‍ය ලේකම් තනතුරේයි.

* එහි සිටින විටවත් ඔබට රංගන කටයුතුවල නියැළෙන්නට අවස්ථාව ලැබුණා ද?

මට මතකයි ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ධර්මසිරි බණ්ඩාරනායක වරක් ඔහුගේ චිත්‍රපටයක චරිතයක් සඳහා මට ආරාධනා කරනවා. දැන් වගේ නොවෙයි ඒ කාලයේ මට තිබුණේ ලස්සන සිරුරක්. ඒත් මගේ මහත්තයා මා චිත්‍රපටවල රඟපාන්නට යනවාට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ වගේ ම යසපාලිත නානායක්කාරත් ඔහුගේ නිර්මාණ කිහිපයකට මට කතා කළා. එහෙත් මා ඉසුලූ තනතුරක් එක්ක ඒ නිර්මාණවල රඟපාන්නට යන්න කාලය සොයා ගන්නට අපහසු වුණා. ඒ නිසා චිත්‍රපටයක හොඳ චරිතයක් කරන්න මගේ සිතේ තිබෙන්නේ දැඩි ආසාවක්. ඒ වගේ ම සම්මානයක් ගන්න පුළුවන් හොඳ සංවේදී චරිතයක් කරන්නත් මම කැමැතියි.

* ඒ ආසාව තව ම ඉටුකර ගැනීමට අවස්ථාව ලැබුණා ද?

පසුගිය දවස්වල බූඩි කීර්තිසේනගේ අලුත් ම නිර්මාණයකට දායක වුණා. එහි අවුරුදු අනූවක චරිතයකටයි මා පණ පොවන්නේ. ප්‍රධාන චරිතයත් සමඟ යන ඒ චරිතය දෙබස්වලට වඩා හැඟීම් ප්‍රකාශයයි ප්‍රබල වන්නේ. ඊට අමතරව අධ්‍යක්ෂ දයාරත්න රටගෙදරගේ නිර්මාණ රැසකටමත් රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණා.

* ඒ මොන වගේ නිර්මාණවලට ද?

ඔහුගේ ‘සිත නිවන කතා’ ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකට ම මා රංගනයෙන් දායක වුණා. ඒ වගේ ම ළඟදී රූ ගත කිරීමට නියමිත ඔහුගේ නවතම ටෙලි නාට්‍යයේ චරිතයක් සඳහාත් මට ආරාධනා හිමි වුණා. මා රංගනයට පිවිසෙන්නේ ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ‘තඹපාට හැන්දෑව’ ටෙලි නාට්‍යයෙන්. ඉන් පසුව ජයලත් මනෝරත්නයන්ගේ ‘සමනලී’ ටෙලි නාට්‍යය ඇතුළු ටෙලි නාට්‍ය රැසකට ම රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබුණා. වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී සිටියා.

* නිවෙසේ අය ඔබගේ රංගනය ගැන දරන්නේ කුමන අදහසක් ද?

මගේ දුවලා දෙන්නා නම් මා රඟපානවාට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් පවසන්නේ ඒ තරම් හොඳ රැකියාවක් කළ මා විශ්‍රාම සුවයෙන් නිවෙසට වී කාලය ගත කළ යුතු බවයි. ඒත් රඟපෑමෙන් ලැබෙන මානසික සුවයට මා බොහොම කැමැතියි.

* ඔබ රංගනයට අමතරව කරන සමාජ සේවා කාර්යයන් මොනවාද?

මා දිස්ත්‍රික් මට්ටමින් කටයුතු කෙරෙන කලා සංගමයේ සමාජිකාවක්. මහජන බැංකුවේ විශ්‍රාමිකයන්ගේ සංගමයෙන් කෙරෙන කලා සංගමය ඇතුළු සංගම් රැසක ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස විවිධ කටයුතු රැසකට දායක වෙනවා. ඒ මඟින් ඒ සංගම්වල සිටින සියලු දෙනාගේ යහපත වෙනුවෙනුයි මා කැප වන්නේ. එලෙස ඔවුන්ට උදව් කිරීමෙන් මට ලැබෙන සතුට අපමණයි. මෙලෙස සියල්ලන්ට ම උදව් කරගෙන ඉඳීමින්, රංගන කටයුතුවලට සහභාගි වෙමින් කාලය ගත කිරීම මට ගෙනෙන්නේ අපූරු සුවයක්.


‘දෑස පෙනෙන මානයේ’ 18 වැනිදා

දිල්රුක්ෂි පෙරේරාගේ නවතම ගීත ඇතුළත් 'දෑස පෙනෙන මානයේ ' සංයුක්ත තැටිය එළිදැක්වීම සහ සංගීත ප්‍රසංගය ලබන 18 වැනිදා මාදිවෙල සමනල ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.

රෝහණ වීරසිංහ, එච්. එම් ජයවර්ධන, ප්‍රණීත් සිවංක, ලස්සන ජයසේකර විසින් මෙම ගීත සංගීතවත් කර ඇති අතර පද රචනය කර ඇත්තේ රොහාන් රූපසිංහ විසිනි. 'දෑස පෙනෙන මානයේ ' ප්‍රසංගයේ සංගීතය මෙහෙයවන්නේ ප්‍රණීත් සිවංක සහ ලස්සන ජයසේකර විසිනි.


අභිවාන්‍ය කලා වේදිකාව 2017 බොරැල්ලේ රෙඩ් ඩොඩ් හිදී

අභිවාන්‍ය කලාව හෙවත් නිරූපණ කලාව පිළිබඳ වැඩමුළුව හා නිරූපණ සංදර්ශනය මේ මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා බොරැල්ල රෙඩ්ඩොඩ් කලා ගාරයේදී පැවැත්වේ. මෙයට අනුෂා ප්‍රියන්ති, බන්දු මනම්පේරි, ජී. ආර්. කොන්ස්ටයින්, ජනනි කුරේ, ඉසුරු කුමාරසිංහ, කුමාර කුමාරගමගේ, කසුන් ජිතේන්ද්‍ර පතිරණ, ලොහාන් ගුණවර්ධන, ජෙක් ඔලෝෆ් යන අය දේශීය වශයෙන් සහභාගිවන ශිල්පීන්ය. ඉන්දියාව නියෝජනය කරමින් මාධවී ගෝරේ, ස්නිකා කාරියප්පා, මුරලි ෂිරෝද්, මුරලි ජා, මානසා ආචාර්යා, ඉශ් යන අයද බංග්ලාදේශයෙන් යෂ්මින් නූපුර්ද නවසීලන්තයෙන් අයිසැක් ස්මිත්ද, ඔස්ට්‍රියාවෙන් කැත්රින්ද ජර්මනියෙන් ටීනා ලෝං ද සහභාගි වෙති. තීර්ජ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුවේ දෘශ්‍ය කලා ශිල්පීන් විසින් මෙය සංවිධානය කරයි.