වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




‘හන්තාන නින්නාද ගී දැහැන’ පේරාදෙණියේ

‘හන්තාන නින්නාද ගී දැහැන’ පේරාදෙණියේ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 75 වැනි සංවත්සරයට සමගාමීව පේරාදෙණිය සරසවිය පදනම් කරගෙන නිර්මාණය වුණු සිංහල ගීතාවලියේ කලාකරුවන් අභිනන්දනය කෙරෙන උපහාර ගී සරණිය හා සම්මාන උලෙළ 'හන්තාන නින්නාද ගී දැහැන' නමින් මේ මස 22 වැනිදා පස්වරු 4.30ට විශ්වවිද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එහිදි මහාචාර්ය සනත් නන්දසිරි, ආචාර්ය දයාරත්න රණතුංග, මහාචාර්ය අමරා රණතුංග, විජේරත්න වරකාගොඩ, ස්වර්ණලතා කවීෂ්වර, මිත්‍ර කපුගේ, අමල් පෙරේරා, ලක්ෂ්මන් හේවාවිතාරණ, අසංග ප්‍රියමන්ත පීරිස්, රොෂාන් ප්‍රනාන්දු, දුමාල් වර්ණකුලසූරිය, ශානිකා වනිගසූරිය යන ශිල්පීන් හා ශිල්පීනියන් හා ඒ ගීත ලියන ලද ගේය පද රචකයන්, සංගීත නිර්මාණකරුවන් යන සියල්ලන් ම ඇගැයීමට නියමිත ය. එමෙන්ම මේ ගීත සියල්ල ම එදිනට ගැයෙන අතර ඒ අවස්ථාවේ සංගීතය මෙහෙය වන්නේ සංගීතඥ ඩෙනිස්ටර් පෙරේරා විසිනි.


සංස්කෘතික නැටුම් සංදර්ශනයක් නාමෙල් - මාලිනී පුංචි තියටර්

නාමෙල් වීරමුණි හා මාලිනී වීරමුණිගේ අදහසක් අනුව ක්‍රියාත්මක වන සංස්කෘතික නැටුම් සංදර්ශනය මේ මස 19 වැනිදා රාත්‍රි 7.00ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී වේදිකා ගතවෙයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ළමයින් රැසකගේ දායකත්වයෙන් වේදිකා ගතවන මේ නර්තන සංදර්ශනය සඳහා අයත් වන්නේ දේශීය සංගීත ආශ්‍රයෙන් සැදුම්ලත් කළගෙඩි, මොනර, පන්තේරු බෙර වාදන ඇතුළත් නර්තන වෙයි.


‘ඔටුණු හොරා’ ලුමිබිණි රඟහලේ

චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය නළුවකු වන චූලා මෙන්ඩිස්ගේ 'ඔටුණු හොරා' වේදිකා නාට්‍යය මේ මස 24 වැනිදා පස්වරු 3.30ට හා 6.30ට හැව්ලොක් ටවුන්හි ලුමිබිණි රඟමල්දී වේදිකා ගතවෙයි. එහි ගාමිණී හෙට්ටිආරච්චි, උදය කුමාරි රණසිංහ, ලොයිඩ් ගුණවර්ධන, ලක්ෂිකා ෆොන්සේකා, සජීව මල්මාලආරච්චි, ප්‍රියන්ත රණසිංහ, දිල්කි මිහිරාජ්, ප්‍රියංකා ජයවර්ධන, සඳරුවන් රත්නායක, සම්මානි රත්නායක, සුසන්ත විජේරත්න සමඟ චූලා මෙන්ඩිස් රංගනයෙන් දායක වෙයි.

ගයාන් ගණකධාර සංගීතයෙන්, මිහිඳු මධුසංඛ ශබ්දපරිපාලනයෙන් හා ආලෝකකරණයෙන්, රසික තෙන්නකෝන් අංගරචනයෙන්, දිනුර ලක්ෂිත ඇඳුම් නිර්මාණයෙන්, රංජිත් සිල්වා පසුතල නිර්මාණයෙන්යසලාල් ලියනගේ හා සමන් අතපත්තු වේදිකා පරිපාලනයෙන් මේ නාට්‍යය සඳහා සහය වෙති.


ජාතික රූපවාහිනියේ කාටුන්වල වෙනසක්

ජාතික රූපවාහිනියේ සවස් විකාශ කාලය මේ මස සිට නව මුහුණුවරක් ගෙන ඇත. මෙතෙක් ඒ ඔස්සේ විකාශය වෙමින් පැවැති කාටුන් කතා මාලාව වෙනසකට ලක්කරමින් යළිත් මීට පෙර ජාතික රූවාහිනියේ විකාශය වූ කාටුන් මාලාවක් සෑම සඳුදා සිට ම සිකුරාදා දක්වා ම පස්වරු 4.00ට කුඩා ළමයි වෙනුවෙන් විකාශය වෙති. 'දොස්තර හොඳහිත', ' ඉඟුරු පාන් මල්ලි', 'බෲම්', ‍'කෝලිකුට්ටු සහෝදරයෝ', 'වූෆි' ඒ කාටුන් මාලාව අතර වෙයි.


නිදහස් කලා සන්ධානය මංගල මහා සමුළුව අද

බැඳීම්වලින් තොර කලාකරුවන්ගේ එකමුතුවෙන් සංවිධානය වුණු නිදහස් කලා සන්ධානය මංගල මහා සමුළුව අද දින (16 වැනිදා) පසුවරු 4.00ට කොළඹ 05 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මාවතේ (තුන්මුල්ල ) බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. එහිදි ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය. අ

සිනමා, රූපවාහිනි, වේදිකා නාට්‍ය, සංගීත, නර්තන, ගුවන්විදුලි සාහිත්‍ය හා ලේඛන කලා, චිත්‍ර මූර්ති, ඡායාරූප, කැටයම්, රූකඩ හා ජන කලා ඇතුළු කලා ක්ෂේත්‍රයේ නියුතු සොයුරු සොයුරියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙනී සිටීමේ අරමුණින් සංවිධානය වූවක් යැයි පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පවසන ලදී.