වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




කලා භූෂණ ලැබූ කිහිප දෙනෙක්

කලා භූෂණ ලැබූ කිහිප දෙනෙක්

කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවන් කිහිප දෙනෙකුම අපට ඔවුන්ගේ වගතුග දන්වා එවූහ. මේ ඒ අතරෙන් කිහිප දෙනෙකි.

යූ. ඩී. ෆ්‍රැන්සිස් ඇන්ටනි පාසල් වියේදීම කාව්‍යකරණයට සහ කෙටිකතා රචනයට යොමු වූ හෙතෙම අන්තිම මිපිය නැමැති නාට්‍යයෙන් නාට්‍ය කෂේත්‍රයට පිවිසියේය. නවයුගය, ඥානාර්ථ ප්‍රදීපය, ගුවන් විදුලි රඟමඬල හරහා ඔහු සිය නිර්මාණ ශක්‍යතාවය ප්‍රකට කරන ලදී.

හැත්තෑව දශකයේ හමිං බර්ඩ්ස් සංගීත කණ්ඩායම හරහා ගායන ලොවට පිවිසුණු තිලක් ද මැල් ගායනය, රංගනය හා පද රචනය යන ක්ෂේ්ත්‍ර ති‍්‍රත්වයෙහිම එක ලෙස දස්කම් දැක් වූ තිලක් මොරටුවෙන් බිහි වූ කලාකරුවෙකි. මොරටුව ලලිත කලා සංගමයේ සභාපති පදවිය හොබවන හෙතෙම ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ ද සාමාජිකයෙකි.

මිල්ටන් සෙබස්තියන් ප්‍රසංග වේදිකා නිවේදකයකු, හඬ කැවීම් ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන හෙතෙම මේ වන විට හඬ කැවීම් අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කරයි. ආදරෙයි මං ආදරෙයි, මායා පැන්සල, සූටිං මාටිං, ප්‍රේම දඩයම මිල්ටන් හඬ කැවූ නිර්මාණ අතර වේ.

නාට්‍යකරුකු වන ක්‍රිෂ්ටි පෙරේරා 1970 දී කතෝලික සභාව මෙහෙය වූ රසාංජලී චිත්‍ර පංතියෙන් ඔහුගේ කලා දිවිය ඇරැඹීය. ගොඩ ගෙරවිලි නමැති නාට්‍ය ඔස්සේ නාට්‍යකරණයට පිවිසි හෙතෙම හැඳල ප්‍රදේශයේ පාස්කු නාට්‍ය කිහිපයක් ද රඟ දක්වා ඇත.

ප්‍රවීණ කවියෙකු හා මාධ්‍යවේදියකු වූ සිරිල් පී. ගමගේ නෙලුම් පොකුණ රඟහලේ පැවැති කලා භුෂණ සම්මාන උලෙළේ දී කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය.

1943 දෙසැම්බර් මස 3 වැනි දින බෙන්තොට නිල්වන් ගංතෙරට ඔබ්බෙන් සුද්දගොඩ නැමැති සුන්දර ගම්මානයේදී මෙලොව එළිය දුටු අයෙකි. පාසල් යන අවධියේ පටන්ම ලේඛන කලාවට මෙන්ම කවියට ද මහත් ඇල්මක් දැක් වූ අයෙකි. ගමගේ ප්‍රථමයෙන්ම කවි පෙළක් රචනා කළේ සිංහල ජාතිය පුවත්පතටය. ඉන්පසු එයින් නොනැවතී ලංකාවේ ප්‍රබල පුවත්පත් කිහිපයකටම සම්බන්ධ වී ගද්‍ය පද්‍ය ලිපි සැපයූහ. එසේම කලක් ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ලේඛකයෙකු ලෙස ද කටයුතු කළේය.

ජෝර්ජ් රොබ්සන් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කළ කලා ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට උපහාර පුද කළ 32 වැනි කලා භූෂණ රාජ්‍ය සම්මාන උලෙළේදීය.

අකුරට යන්නට කම්මැලි හිතිලා' , 'පිණිබිඳු මුතුමල් සැණකෙළියේ', සමාවෙයන් මට පුංචි මාවතේ ඇතුළු ජනප්‍රිය ගීත රැසක සංකල්පනා හිමිකරු වූ ජොර්ජ් රොබ්සන් ගී පද රචකයෙකු ද, නිදහස් මාධ්‍යවේදියකු ද කෙටි කතා හා ළමා කතා රචකයකු, ගීත පොත් සංස්කාරකවරයකු ද, ගීත කැසට්පට සංයුක්ත පට නිෂ්පාදකවරයකු ලෙස ද අප හමුවට පිවිසෙයි.