වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති

ස්ලීම් නිල්සන් උලෙළ රන්ජන් - මාලනී ජනප්‍රිය කිරුළු පළදිති

රන්ජන්ගෙන් එකලොස් වසක වාර්තාවක්

එකොලොස්වැනි ස්ලීම් නීල්සන් ජනතා සම්මාන උළෙල පසුගියදා නිමාවදුටුවේ වසරේ ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායකත් නිළිය ලෙස නිළි රැජන මාලිනී ෆොන්සේකාත් අභිෂේක ලබමිනි. එම සම්මානය රන්ජන් දිනාගත්තේ අඛණ්ඩව එකලොස්වැනි වතාවටය. එහි සෙසු සම්මාන මෙලෙස බෙදී ගියහ.

ජනප්‍රියම චිත්‍රපටය - පත්තිනි

තරුණ ප්‍රජාවගේ හද බැඳගත් ජනප්‍රිය නළුවා – රන්ජන් රාමනායක

තරුණ ප්‍රජාවගේ හද බැඳගත් නිළිය - පූජා උමාශංකර්

වසරේ ජනපි‍්‍රයම ටෙලි නළුවා - සාරංග දිසාසේකර

වසරේ ජනපි‍්‍රයම ටෙලි නිළිය - ශලනි තාරකා

වසරේ ජනප්‍රියතම ගායකා (සම සම්මානය) -

පණ්ඩිත් අමරදේවයාණන් සහ රුවන් හෙට්ටිආරච්චි

වසරේ ජනප්‍රියතම ගායිකාව – ශෂිකා නිසංසලා

වසරේ ජනප්‍රියතම ගීතය ජූඩි රොගැන්ස් ගයන හිමාලෙට වඩා උසයි.

වසරේ ජනප්‍රියතම රූපවාහිනි නිවේදක - රංගන ද සිල්වා (හිරු ටී. වී.)


ගාමිණීගේ 81 වැනි උපන් දිනය

එදත් හෙළ සිනමාවේ සක්විති ඔහුය. අදත් එලෙසමයි. මතුදිනයටත් එම කිරුළ ඔහුගේ හිසෙහි පැළැඳී තිබෙනු ඇත. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ 81 වැනි ජන්ම දින සමරනුයේ මාර්තු 21 වැනිදාටය. 1936 වසරේදී උපන් ගාමිණී මෙයට වසර 13 කට පෙර සමුගත්තේය. ඔහු පැළඳි සක්විති කිරුළ ලාංකික සිනමා ඉතිහාසය පුරා දරනු ඇත.


විමුක්තිගේ සුළඟ ගිනි අරන් හෙට සිට

විමුක්ති ජයසුන්දරගේ නවතම සිනමා නිර්මාණය 'සුළඟ ගිනි අරන්' චිත්‍රපටය හෙට (17 වැනිදා) සිට රීගල්, ලිඩෝ, මාලඹේ ස්කයි ලයිට් ඇතුළු රිද්මා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. ලොකාර්නෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ තරගකාරි අංශය නියෝජනය කළ මෙම චිත්‍රපටයට මහේන්ද්‍ර පෙරේරා, කෞෂල්‍යා ප්‍රනාන්දු, රොෂාන් රවීන්ද්‍ර, සුරංගා රණවන රංගනයෙන් දායක වෙති. වකුගඩු සොරකමේ ගිය දොස්තරලා පිළිබඳ කතා ප්‍රවෘත්තියක් වඩා මෙම චිත්‍රපටය ගෙතී ඇත.


සැලසිනේ සුබසාධනයට සොඳුරු අතීතය

ගායනවේදී ටී. එම්. ජයරත්නගේ ඒකපුද්ගල ගී ප්‍රසංගය 'සොඳුරු අතීතය' මෙම මස 17 වැනිදා එනම් හෙට සවස මහරගම තරුණ සේවා සභාවේ රංග ශාලවේදී පැවැත්වේ. මෙය සැලසිනේ ආයතනයේ සුභසාධක සංගමය මඟින් සංවිධානය කරනු ලබන්නේ එහි අරමුදල සඳහාය.


විවියන් රෝහලේ

විවියන් ද සිල්වා බොරලැස්ස ගායන වේදිනිය මේ වන විට දැඩි ලෙස අසනීප වී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. වයස අවුරුදු අසූහයක්වන ඇය දැනට අපට සිටින ජ්‍යෙෂ්ඨතම ගායිකාවකි. සරසවිය සිනමා රසික රසිකාවන් විවියන් ද සිල්වා බොරලැස්සට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරයි.


පැරණි හින්දි ගීත ප්‍රසංගයක්

කොළඹ දී නොමිලේ...

පැරණි හින්දි ගීත ප්‍රියකරන රසික රසිකාවියන් වෙනුවෙන් පිහිටුවා ඇති පැරණි හින්දි චිත්‍රපට ගීත රසික සමාජය ඉදිරිපත් කරන 'ගීත් මාධුරි' සජීවි සංගීත ප්‍රසංගය 2017 මාර්තු මස 19 වන ඉරුදින පෙරවරු 9.00 ට කොළඹ ගංගාරාමය අසළ පෙරහැර මාවතේ 'බිෂොප් කොලේජ්' ශ්‍රවනාගාරයේදී නොමිලේ පැවැත්වේ.


මුරුග සන්නිය තිරයට- සුනිල්.ටී 67 ජගත් මනුවර්ණ සිනමාකරණයට පිවිසෙයි

යොවුන් රංගන ශිල්පී ජගත් මනුවර්ණ ප්‍රථමවතාවට අධ්‍යක්ෂණය කරන මුරුග සන්නිය සිනමා පටයේ මුහුරත් උළෙල පසුගියදා රිකි වයිට් හවුස්හිදී පැවැත්විණ. එහි විශේෂත්වය මෙහි නිෂ්පාදනය සුනිල් ටී විසින් සිදුකිරීමයි. සරත් කොතලාවල, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර, සම්පත් ජයවීර, කලන ගුණසේකර, නිමල් පල්ලෙවත්ත, චමින්ද පුෂ්පකුමාර, මාධනි මල්වත්ත, සමඟ ජගත් මනුවර්ණ ඇතුළු පිරිස රංගනයේ යෙදෙන මෙහි තිරරචනය ජගත් මනුවර්ණ සහ නාමල් ජයසිංහගෙනි. සුනිල් ටී. මෙතෙක් නියැපූ සිනමා ආකෘතියෙන් බැහැරව කලාත්මක සිනමාකෘතියක් ලෙසින් නිර්මාණයවන මුරුග සන්නිය සුනිල්ගේ 67 වැනි සිනමා නිෂ්පාදනය වේ. කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්නගෙනි. නිෂ්පාදන සැලසුම උපුල් චන්ද්‍රබණ්ඩාර සහ ප්‍රදීප් චන්ද්‍රසිරිගෙනි. සංඛ මල්වත්ත සංස්කරණයෙන් දායකවේ. නදික ගුරුගේගේ සංගීත අධ්‍යක්ෂණයකි. නිෂ්පාදන කළමනාකරණයෙන් රොනික් අධිකාරි දායක වේ. ලසන්ත ෆ්‍රැන්සිස් සහාය අධ්‍යක්ෂවරයාය. සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදනයෙන් දායක වෙයි.