වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සොමී හොරේෂස්ගේ අත මිරිකයි

සොමී හොරේෂස්ගේ අත මිරිකයි

පුරා වසර 25 ක් අඛණ්ඩව සේවය කිරීමෙන් පසු 1995 වසරේ ලේක්හවුස් ආයතනයෙන් සමු ගැනීමට මම සිතුවෙමි. එයට හේතුව වූයේ එම 25 වසර සිටි 'සරසවිය' පත්‍රයෙන් ඉවත් කොට 'යොවුන් ජනතා' පුවත්පතේ සම කර්තෘවරයා කොට යැවීමය. ඉතාම පුංචි තැනින් පටන්ගෙන මම සරසවියේ උප කතුවරයෙකු, ජ්‍යෙෂ්ඨ උප කර්තෘ හා ප්‍රධාන කතුවරයා ලෙස මේ වසර 25 කටයුතු කළෙමි. මා ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හිතවතකු නිසා මට 1994 නව රජයෙන් එම මාරුව සිදු කළත් (එය අනිවාර්යෙන්ම සිදුවන බව දැන සිටියෙමි) කිසිදු නිර්නාමික ටෙලිෆෝන් පණිවුඩයක්වත් නොලැබිණ. කිසිවකු මට අපහාස උපහාස කළේ ද නැත. 1977 මැතිවරණයෙන් පසු ලේක්හවුසිය තුළ සිදු වූ අශෝභන නින්දිත ක්‍රියා නව රජය කාලයේ ලේක්හවුසියේ සිදු නොවිය. අලුතින් පැමිණි සභාපතිවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා මගේ මිත්‍රයෙකි. කීර්තිමත් දිසාපතිවරයකු, සංස්ථා සභාපති, අමාත්‍යාංශ ලේකම්, විදේශ තානාපති ආදි වගකිවයුතු තනතුරු ඉසුලූ ඒ මහතා ඒ හැමටම වඩා කලා සහෘදයෙකි. මුල් 'මනමේ' නාට්‍යයේ ද නළුවෙකි.

මම ඔහු හමුවීමට සභාපති කාමරයට ගියෙමි.

එන්න , එන්න රන්ජිත් මං ආවට පස්සේ හම්බ වෙන්න බලන් හිටියේ උඹ කොහේද හිටියේ . . .'

හිතවතුන්ට ඔහු කතා කළේ 'උඹ' කියාය. ඔහුගේ බිරිඳ වූ සෝමලතා ප්‍රනාන්දුත්, ඔහුත් මගේ සමීප මිතුරන් වූහ. සෝමලතාගේ නාට්‍යවලට මම හැකි උපරිම සහාය සරසවියෙන් දුනිමි.

'සර්, මම අස්විමේ ලියුම දෙන්න හිතන් ඉන්නේ. ඒ බව කියන්න ආවේ'

'උඹ ඇයි මට සර් කියන්නේ, අපි යාළුවෝ, අනික මම මෙහේ එන්න එනකොට තිස්ස (තිස්ස අබේසේකර) මට මෙහෙම කිව්වා - 'ලයනල් මම වෙන කිසි කෙනෙක් ගැන කියන්නේ නෑ. රන්ජිත් කුමාරව බලාගනින්' කියලා. මම කිව්වා - 'උඹ කිව්වත් නැතත් මං ඌව බලා ගන්නවා' කියලා. මේ අස්වීමේ ලියුම මට ලැබෙන්න සලස්වන්න එපා. උඹලා අපිට ඕනෑ. මේ උණුසුම යනකං හිටපං'

එසේ කියූ සභාපතිවරයා තමාගේ මේසය මත තිබූ 'එයා ලංකා' සමාගමෙන් අලුතෙන් මුද්‍රණය කර තිබුණ ලංකාවේ විශිෂ්ටතම චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් යුත් කැලැන්ඩරයක් මා අතට දී මේක නව වසරට මගෙන් තෑග්ගක්. උඹත් කලාකාරයෙක්, ආටිස්ට් කෙනෙක්නේ, මට ලැබුණු අලුත්ම කැලැන්ඩරේ. තාම පිට කරලා නෑ. දැන් මේකත් අරං ඔය අනන් මනන් ඔළුවෙන් අහක් කර ගනින්'.

මට ඒ කැලැන්ඩරය රටක් රාජ්ජයක් ලැබුණාක් වැනි තෑග්ගකි.

'මම තව ටික කාලයයි මෙහේ ඉන්නේ. 'එයා ලංකා' චෙයාමන් වෙලා යනවා. උඹට කාලය යුතුකම් ඉටු කරාවි' ලයනල් ප්‍රනාන්දු මහතා කීවේය.

ඊළඟට ලේක්හවුස් සභාපති වූයේ ලක්ෂ්මන් ජයවර්ධන මහතායි. ඔහු සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කරන කාලයේ සිටම මගේ හිතවතෙකි. ඒ කාලයේ සරසවිය හා සිළුමිණ කර්තෘ මණ්ඩල තිබුණේ එකටය. එයට හේතුව මේ පත්‍ර දෙකේම කර්තෘවරයා වූයේ විමලසිරි පෙරේරා මහතා වීමය.

ලක්ෂ්මන් ජයවර්ධන මහතා උතුම් මානුෂික ගති ගුණවලින් යුතු නිහතමානී නිශ්ශබ්ද පුද්ගලයෙකි.

මගේ අස්වීමේ ලියුම ගැන ජයවර්ධන මහතාට කීවෙමි.

'රන්ජිත් තව ටිකක් හිතන්න. මම ආවා විතරයි' ලක්ෂ්මන් මහතා කීය.

ටෝනි රණසිංහ මේ අතර මට දුරකතනයෙන් කතා කළේය.

'රන්ජිත් දැන් සරසවියේ නෑ නේද?'

'නෑ ටෝනි අයියා'

ඊයේ හවස තිලංග මට කතා කළා'

ඔහු තිලංග කිවේ තිලංග සුමතිපාල මහතාටය.

තිලංග මහතා මා දැක ඇත්තේ ඔහුගේ පියා වූ යූ. ඩබ්ලිව්. සුමතිපාල මහතා හා මිලිනා සුමතිපාල මහත්මියගේ නිවසේදීය. එවකට ඔහු කොළඹ නාලන්දේ ඉගෙන ගත් දස හැවිරිදි දරුවෙකු වශයෙනි. එදා ඔහු දඟකාරයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට තිබූ ඇල්ම නිසා ඔහු අත බැට් එකක් හා බෝලයක් තිබුණා මතකයි. පියාගේ අභාවයෙන් පසු ඔහු එංගලන්තයට ගොස් මුද්‍රණ ශිල්පය ගැන ඉගෙන ගන්නා බව ඔහුගේ මාමා වූ ඩබ්ලිව්. ඒ. ධර්මසිරි අපට කිවේය.

'රන්ජිත් කැමති නැද්ද තිලංග එක්ක කතා කරන්න. එයාගේ අලුත් වැඩ කිහිපයක් ගැන කතා කරගන්න ඕනෑ කිව්වා. ගිහින් බලන්න. මට කතා කළේ රන්ජිත් මගේ සමීපම යාළුවෙක් නිසා' ටෝනි කිවේය.

ලේක්හවුසියෙන් යම්දෝ නොයම්දෝ කියා සිතමින් සිටි මට මෙය කදිම යෝජනාවක් විය. මට අවශ්‍යව තිබුණේ ද අලුත් වෙනසකි.

'හොඳයි ටෝනි අයියා මම උදේ කතා කරලා බලලා වේලාවක් ඉල්ල ගන්නම්'

පසු දින උදේ 11 ට තිලංග සුමතිපාල මහතා හමුවීමට ගියෙමි.

ඔහු සමඟ සුමති පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂවරයකුව සිටි ප්‍රෑන්ක් වික්‍රමසිංහ මහතා ද විය.

'අපි රූපවාහිනි සම්මාන උලෙළක් පැවැත්වීමට කල්පනා කරලා තියෙනවා. රන්ජිත්ට බැරි ද ඒකට උදව් කරන්න. රන්ජිත් ගැන කිව්වේ මිස්ටර් කරුණාසාගර. එයා අපේ බෙදා හැරීමේ කළමනාකරු. එයා තමයි කිව්වේ ඔයා දැන් සරසවියේ නෑ කියලා. ඉතින් කැමති නැද්ද අපි එකතු වෙලා ටෙලි නාට්‍ය උත්සවයක් සංවිධානය කරන්න. ඒ අතරේ 'සරසි' චිත්‍රපට පත්‍රයෙත් කර්තෘකම භාරගන්න.'

'මිස්ටර් සුමතිපාල මම මේ ගැන මගේ වයිෆ් එක්ක කතා කරලා කියන්නම්. ඔබතුමා මාව තේරා ගැනීමට හිතුව එක ගැන බොහොම ස්තූතියි. සුමතිපාල මහත්තයාත් මගේ වැඩිහිටි මිත්‍රයෙක්. මිස්ටර් ධර්මසිරිත් හොඳ යාළුවෙක්' මම කීවෙමි.

'මම සේරම දන්නවා. මම ඔයා ගැන හිතල මුලින්ම ඇහැව්වේ මිස්ටර් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙන්. මිස්ටර් පීරිස් කිව්වා සුදුසුම පුද්ගලයා ඔයා කියලා. ඊට පස්සේ මම ටෝනි අන්කල්ගෙන් ඇහැව්වා. එයා රන්ජිත්ට ලොකු රෙකමන්ඩ්ඩේෂන් එකක් දීලා කතා කරන එක භාර ගත්තේ බොහොම කැමැත්තෙන්' තිලංග මහතා කීය.

මා ගැන යෝජනා කර ඇති කරුණාසාගර මහතා 1973 සිට 1977 කාලය තුල ලේක්හවුසියේ උසස් නිලයක් දැරූ ශ්‍රී. ල. නි. පාක්ෂිකයෙකු බව අසා තිබුණත් මා හමු වී නැත. කතා කර තිබුණේවත් දැක තිබුණේවත් නැත. ඔහු සුමති ආයතනයට ගිය පසුත් දැකගන්නට ලැබුණේ නැත. මා එහි ආ කාලයේම ඔහු එංගලන්තයට ගියේය.

මා ලේක්හවුසියෙන් ඉවත් වන බව දැනගත් සභාපති ලක්ෂ්මන් ජයවර්ධන මහතා කීවේ තව සලකා බලා නවතින ලෙසය.

මා ලේක්හවුසියෙන් සමුගත්තේ දෙමාපියන්ගෙන් වෙන් වෙන්නාක් මෙන් අමාරුවෙනි. අදත් මම ලේක්හවුසිය මෙන්ම සරසවිය පත්‍රයට අසීමිතව ආදරය කරමි. ලේක්හවුසිය අසලින් වාහනයක යන විට මට වාඩි වී සිටින අසුනින් නැගිටීමට සිතේ.

මා ලේක්හවුසියෙන් සුමති පුවත්පත් සමාගමට බැඳී 'සරසි' පුවත්පත භාර ගතිමි. පත්‍රයේ කාලයක සිට ජ්‍යෙෂ්ඨ උප කර්තෘවරයා ලක්ෂ්මන් මල්ලවාරච්චි මා දැන සිටි හිතවතෙකි. නවකතා ලිවීමට පමණක් නොව රඟපෑමට ද, ගීත රචනයට ද හපනෙකු වූ ලක්ෂ්මන්ට පත්‍රයේ ඉහළ තැනක් ලබාදීමට මම හැම විටම සිතුවෙමි. මේ අතරතුර තිලංග සුමතිපාල මහතාගේ සංකල්පයන් අනුව සුමති සම්මාන උලෙළ පැවැත්වීමට මට පැවරිණි. එබැවින් 'සරසි' පත්‍රයේ වැඩ ලක්ෂ්මන්ට පැවරුවෙමි. ලක්ෂ්මන් නියෝජ්‍ය කර්තෘ කොට ඔහුට සියලු වැඩ කටයුතු භාර දුනිමි. නාමිකව මා කර්තෘ වුව ද 'සරසි' සම්පූර්ණයෙන්ම සකස් කළේ ලක්ෂ්මන්ය.

ලක්ෂ්මන් උස මහත පුද්ගලයකු වුව ද හොඳ හදවතක් තිබූ මානුෂික ගති ගුණවලින් සපිරුණු අපූරු පුද්ගලයෙකි. මට ඔහු ගැන කෙටියෙක් කිව හැක්කේ 'යෝදයෙක්, ළදරුවෙක්' කියාය. ඔහු 'සරසි' පත්‍රයෙන් හැමටම උදව් කළේ තරාතිරම බලා නොවේ.

පත්‍රයක කර්තෘ පදවියෙන් ඉවත් වූ විට කලා ක්ෂේත්‍රයේ බොහෝ අයට ඉක්මනින් ඔහු අමතක වීම ස්වභාවිකය. සරසවිය පත්‍රයේ වැඩ කළ සුනිල් හොරේෂස් නිතර කියන දෙයකි 'සිනමා පත්‍රකලාවේදියා යනු අනුන්ට එළිය දෙන ඉටිපන්දමකි' කියා. ඔහු කියන අන්දමට සිනමා පත්‍රකලාවේදියා කලාකරුවන්ට එළිය දී නිවී යන බවකි. එය සත්‍යයකි. හදිසියේ නිවසේ විදුලිය විසින්ධි වී ඉටිපන්දම් පත්තු කරන විට අඳුරේ පුටුවකට වී එය දෙස බලා සිටින විට මියගිය සුනිල් හොරේෂස්ගේ අර කියමන සිහිපත් වේ.

දිනක් සරසවිය වෙනුවෙන් පැවැත් වූ විශේෂ සාදයකදි සුනිල්ට වූ ඇබැද්දියක් මට සිහිපත් වේ. සුනිල් එදා මධුවිත ටිකක් වැඩියෙන් පාවිච්චි කර තිබුණි. එදා පැමිණි නළු නිළියන් අතර සොමී රත්නායක ද විය. ඒ අතර සොමීගේ රසිකයෙක් ද විය.

'සොමී අයියා මගේ ප්‍රියතම නළුවා ඔයා. මම ඔයා අදහනවා' රසිකයා ද බීමත්ව සොමීගේ අත අල්ලාගෙන කිවේය.

සුනිල් මේ දර්ශනය දැක රසිකයා වෙත ගියේය.

'ඔයා හරි පිස්සෙක්නේ. තවකෙªකට ආදරය කරන එක හරි. ඔයා මෙයාව අදහන්නේ පිස්සුවටද? මොකද? මෙයා ආගම් නායකයෙක්ද?' හයියෙන් කීවේය.

සුනිල්ගේ හැසිරීම මට පුදුමයකි. සරසවිය කර්තෘ මණ්ඩලයේ තම මේසයට වී අනික් සියලු දෙනා කරන විහිළුවලට නිශ්ශබ්දව ඇහුම්කම් දෙමින් සුනිල් මුනිවත රකිමින් බලා සිටින්නේ දාර්ශනිකයකු මෙනි. ඔහු අවශ්‍ය දෙයකට මිස කතා කරන්නේම නැත. කිසිවෙකුගේ ඕපාදූපයක් සොයන්නේ ද නැත.

සුනිල්ගේ කතාව ඇසූ සොමීගේ රතු කට්ට පැන එන අයුරු මට පෙනුණි. සොමී නැගිට ගියේය. ඔහු සුනිල්ට අතින් සන් කළේය. සුනිල් නැගිට එදෙසට ගියේය. සොමී සිනාමුසු මුහුණින් සුනිල්ගේ අතක් අල්ලා ගත්තේය. සුනිල් ඇඹරෙනු මම දුටුවෙමි. මම ඒ අසලට ගියෙමි. ඒ යන විට සොමී සුනිල්ගේ අත මුදා හැර තිබුණි. සුනිල් තම පුටුවට ගොස් අතෙහි ඇඟිලි පිරිමදිනු දුටුවෙමි.

'මචං මූ (සුනිල්) අර මිනිස්සු ඉස්සරහ කියපු කතාව' කියමින් සොමී කතාව පටන් ගත්තේය.

මං මුගේ ඇඟිලි පහම කඩන්න හැදුවේ. මම ඇඟිලි තද කරල අල්ලගත්තාම සුනිල් කියනවා - 'සොමි අයියා මගේ ඇඟලි කඩන්න. ඊට ඉස්සර වෙලා හිතන්න මේ ඇඟිලිවලින් මම සොමී රත්නායක කියන නම කොච්චර නං සරසවියේ ෆිල්ම් නිව්ස්වල ලියලා ඇද්ද?' කියලා. ඔයා හිතනවනං අත් දෙකම කඩන්න' කියලා.

'මචං එහෙම කියන කොට මට දුක හිතුණා. ඌ කිව්වේ ඇත්තනේ. අපේ නම කොච්චර වාර ගණනක් ඌ ලියලා ඇද්ද?' මම ඉක්මනට අත අතහැරියා. පව් බං' සොමී මට කීවේය.

අමෙරිකාවේ වෙසෙන සොමී පසු කලක මේ සිදුවීම සිහිපත් කළේ එදා එතැන මීපැණි තිබුණා නම් මම සුනිල්ගේ අතේ ගාලා අතගානවා' කීවේය.