වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

ඔහොම තමයි ජීවිතේ

ආබාධිත තත්ත්වය නිසා පියාගෙන් අත හැරුණු ව්‍යාපාරික කටයුතුවල නිරත වන්නට ද සන්දේශ්ට හැකියාවක් නොවීය. එහෙත් සතියට වරක් හෝ දෙවරක් රියට නංවා ගත් රෝද පුටුවෙන් ආයතනය වෙත යාමට ඔහු පුරුදුව සිටියේය. පියාගේ ඇවෑමෙන් හිස් වූ ව්‍යාපාරයේ අයිතිකරු පුටුවට සන්දේශ්ගේ මව නිරායාසයෙන්ම පත්විය. ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාවේ සිටම පියා සමඟ සමීපව හා අවංකව වැඩ කළ පියරත්න නැමැත්තාට ජේෂ්ඨ කළමනාකාර ‍ලෙස උසස් වීමක් ලබා දී ඔහුගේ සේවය වඩාත් පුළුල් ලෙස ලබා ගැනීමට සන්දේශ් හා මව කටයුතු කළෝය. පියාගෙන් පසුව ව්‍යාපාරයේ විවිධ කාරණා වඩාත් හොඳීන් දැන සිටියේ ඔහුය. එහෙයින් ඔහුගේ කළමනාකරණය යටතේ අවම ගැටළු සහිතව ව්‍යාපාරය නොනවත්වාම පවත්වාගෙන යන්නට සන්දේශ්ට හා මවට හැකියාව ලැබුණි. තවද පියාගේ සහෝදරියකගේ පුතෙකුද සේවයේ නියුතුව සිටියේය. ඔහුගෙන් ද ව්‍යාපාරයේ වැඩ කටයුතුවලට ලැබුණේ නොමඳ සහායකි.

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහෙයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති

පසුව උසස් අධ්‍යාපනය උදෙසා ඕස්ට්‍රේලියා බලා යන සන්දේශ් නතාශා නැමැති රූමත් ශ්‍රී ලාංකික තරුණියක් හඳුනාගෙන ඇය හා පෙමින් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳුඇට පෙළට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාට පැමිණේ.

(අද එතැන් සිට)

අවසානයේ දී නතාශා පවසා සිටියේ දෙමව්පියන්ට පිටු පා හෝ ඔහු ළඟ සිටින්නට තමා කැමති බවකි. ඇ‍ගේ එම ප්‍රකාශයත් සමඟ ඇය කෙරෙහි සන්දේශ් තුළ ඇති වුයේ අප්‍රමාණ සෙනෙහසකි. එහෙත් ඇගේ තීරණය අනුමත කරන්නට ඔහුගේ සිත ඉඩ දුන්නේ නැත. ඔහුට තම දෙමව්පියන් සිහි විය. දෙමව්පියෝත් අපගේ ජිවිතයේ එක්තරා බැඳීමකි, කොටසකි.

ජිවිතය තවත් තීරණාත්මක කඩඉමක් කරා එළඹෙමින් තිබෙන බවක් සන්දේශ්ට දැනෙන්ට විය. ආබාධය නිසා ඉගෙනීමේ කටයුතු ද මග හැරෙමින් තිබිණ. ඔහුගේ මිතුරන් දේශන පටිගත කොට නිවසට ගෙනවිත් දුන්නත් ඒවාට සවන් දෙන්නට තරම් නිරවුල් මානසික තත්ත්වයක් ඔහු තුළ නොවීය. නතාශාගේ පැමිණිම ද අඩු වෙමින් පැවතුණේ දෙමව්පියන් ඇයට එරෙහිව කාරණා කටයුතු සිදු කරමින් සිටින නිසා යැයි ඔහුට අනුමාන කළ හැකිය.

සිහිනෙන් ගෑ සුවඳක් සේ තිබුණු සොඳුරු අතීත මතක සැමරුම් සියල්ල දැන් බියකරු අඳුරකින් වෙලී ඇත. සමීපතමයින් කිහිපදෙනෙකු හා සුන්දර ඕස්ට්‍රේලියා‍ව සමඟ තිබුණු සියලු බැඳීම් හා සබඳකම් හැරදමා ජිවිතයේ තවත් එක් පරිච්ඡේදයක් නිම කරන්නට අවසානයේ දී සන්දේශ් තීරණය කළේය.

සන්දේශ් රැගත් ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වූයේ පැයක් පමණ ප්‍රමාදවය. සහාය ඉල්ලා සිටි හෙයින් රෝද පුටුවක් රැගත් ගුවන් තොටුපලේ සේවකයෙක් ගුවන් යානය අසලටම පැමිණ සිටියේය. ආගමන ලිපි කටයුතු නිම කිරීමෙන් පසු සංදේශ් මගී පර්යන්ත ගොඩනැගිල්ලෙන් කොරිඩෝවට අවතීර්ණ වූයේය.

කෝරිඩෝවේ ඈත කෙළවරේ සිටගෙන සිටින තම මව හඳුනා ගැනීමට සන්දේශ්ට අපහසු නොවිය. ඇය දැකීමත් සමඟ ඔහුගේ දෙනෙත කඳුළින් තෙත් වන්නට විය. වෙන කවුරු දුරස් වුවත්, පිටු පෑවත්, මොන දුක් ‍දෝමනස්ස මධ්‍යයේ වුවත් කිසිදිනක අත් නොහැර, එකම ස්නේහයෙන් තම දරුවන්ට ආදරය දක්වන තැනැත්තිය වන්නේ අම්මාය. සතා සීපාවටත් පොදු, ලෝක ධර්මතාවයක් බඳු එය, කාටත් සොඳුරු අත්දැකීමක් බවට පත් ව ඇත්තේය.

තම ආදරණීය එකම පුතු මෙසේ රෝද පුටුවකට එක්තැන් වී සිටීම ඇය කිසිසේත් බලාපොරොත්තු නොවුවකි. ඇය දකින්නට සිටියේ ව්‍යාපාර කළමනාකරණ ක්‍ෂේත්‍රයේ ඉහළම උපාධියක් ලබා සිනා රැඳී මුවින් යුතුව ගාම්භීර අයුරින් ඉදිරියට පැමිණෙන ප්‍රත්‍රයාය. ඔහු පිළිගන්නට තම ආදරණීය සැමියාත් ඇය පසෙක නැත. බලාපො‍රොත්තු නොවූ සෝචනීය අයුරින් සියල්ල දැන් වෙනස් වී ඇත්තේය.

සන්දේශ් එන මඟ දෙසට මඳ දුරක් ඇවිද ගිය මව නැඹුරු වී ‘‘පුතේ“ යැයි කියමින් ඔහු වැලඳ ගත්තේ හදේ පොදි ගැසුණු දුක පිරුණු අප්‍රමාණ සෙනෙහසකිනි. එතැන පසු කරමින් ගමන් කළ බොහෝ අයට ද එය ඉතාමත් සංවේදී දසුනක් විය.

කොළඹ නගරය බලා ඇදෙන රිය තුළදීත් සන්දේශ් හා මව අතර වැඩි කතාබහක් නොවිය. ඇවිද ගත නොහැකි තම පුතා පිළිබ‍ඳව ඇයට දැන් පැවරී ඇත්තේ බරපතළ වගකීම් රාශියකි. තමා නිසා මවට ඉදිරියේදී දරන්නට සිදුවන කරදර සිතීම පවා සන්දේශ්ගේ සිතට බරකි. සිඩ්නි ගුවන් තොටුපලේදී තුසිත් මාමා, මාලතී පුංචි හා දරුවන් දෙදෙනා සමුගත් අයුරු පිළිබඳ දුක්බර මොහොත මේ මොහොතේ සන්දේශ්ගේ සිතේ ඇඳී ගියේය. ආබාධිත වූ මොහොතේ පටන් ඔවුන් මොනතරම් ආදරෙන් තමා ගැන සොයා බැලුවාද ශෙහාන්, මලුකි.... ඔවුන්ගේ සෙනෙහෙබර මුහුණු..... නතාශා..... සියල්ල දැන් සොඳුරු අතීත මතක සැමරුම් බවට පත් වෙමින් තිබෙන්නේය.

''කවුද පුතේ එයාපෝට් එකට ආවේ''

''මාමයි, පුංචියි. පොඩි දෙන්නත් ආවා''

'' අර ළමයා?''

"නෑ"

"යන විත්තිය කිව්වේ නැද්ද ඒ ළමයට?"

''මං පණිවිඩයක් තිබ්බා''

සන්දේශ්ගේ පිළිතුරෙන් අම්මාගේ සිත අවිනිශ්චිත සිතුවිලි රැසක පැටලී ගියේය. එහෙත් මේ මො‍හොතේ ඒ ගැන වැඩි දුරටත් පුතාගෙන් විමසා නොසින්නට ඇය සිතා ගත්තාය.

"තුසිත් මාමයි පුංචියි නං පුදුම විදියට මට සැලකුවා. හොඳ මිනිස්සු"

සුසුමක් පිටවූයේ මවගේ මුවිනි.

"ඔහොම තමයි ජිවිතේ. අපි නොහිතන දේවල් කොච්චරවත් වෙනවා පුතේ"

අම්මා සරල කියමනකට සියල්ල ගොනු කළාය. තමා වෙනුවෙන් ඇය කළ හැකි සියලුම දේවල් කරන්නට සුදානමින් සිටින බව සන්දේශ් දනී. එ‍හෙත් පාළුව හා තනිකම ඔස්සේ තම ජිවිතය කොයි අයුරකින් පවත්වාගෙන යන්නේ ද යන කුසීත සිතුවිල්ලකින් ඔහුගේ මුළු ගතම වෙලී තිබුණේය.

* * *

"එපා, ඇති අම්මේ"

සෑහෙන කාලයකට පසු හමු වූ පුතා වෙනුවෙන් මව එදින රාත්‍රී ආහාරය මනා ලෙස පිළියෙළ කර තිබුණි.

"කෑම ටිකක් කන්නත් බැරිද දැන් ? ඔයා වම්බොටු මෝජු කන්න ආසයිනෙ"

"ආසාවල් නං දැන් ගොඩක් නැතිවෙලා ගිහින් "

සන්දේශ් එසේ කීවේ මඳ සිනහවක් රැඳුණු මුවිනි. නමුත් මවගේ මුවට නැගුණේ සුසුමකි. ඔහුගේ වදන්වල තිබු අරුත් වටහා ගන්නට ඇයට අපහසු නොවේ.

මව සන්දේශ්ගේ කාමරය ද මනා ලෙස සකස් කර තිබුණි. රාත්‍රී නිදා ගැනීමට සැරසෙන විට ඔහුට ඇඳට නගින්නටද ඇය උදව් කළාය.

"අම්මා අයින් වෙලා ඉන්න අම්මේ. මට තනියෙන් පුළුවන්"

තරමක් පෙරළී, තදින් අතක් ඇඳට තබා රෝද පුටුවෙන් ඇඳට නඟින ආකාරයට මේ වන විට සන්දේශ් පුරුදුව සිටියේය. එත් ඒ හැම විටම සියුම් වේදනාවක් ද ඔහුගේ ගතට දැනෙන්නේය.

"පුතාගේ වැඩවලට හෙට ඉඳන් ළමයෙක් මෙහාට එයි. මොනවද පුතේ තව ඉතින් කෙරෙන්න ඕන?"

අම්මා එසේ ඇසුවේ ඇඳේ කොනක වාඩිවෙමිනි.

"තව ඉතින් මොනව කරන්නද අම්මේ, ජිවිතේ ඉතිරි ටිකත් ඔහේ ගෙවිල යයි"

පුතා කතා කරන්නේ සිතේ රැඳී වේදනාවකුත් සමඟ බැව් අම්මා දනී. මින් පෙර නම් මෙවැනි කතා ඇය සන්දේශ්ගේ මුවින් අසා තිබුණේ නැත.

"මෙහේ ඉස්පිරිතාලවල වැඩ?" අම්මා ඇසුවාය.

"හෙමින් සැරේ ඒවත් සොයලා බලමු"

පසුදින සිට සන්දේශ්ගේ අත් උදව්වට "සිසිර" නැවති තරුණයෙක් පැමිණියේය. අවුරුදු තිස්පහක් පමණ වයසැති ඔහු ප්‍රියමනාප පුද්ගලයෙකි. උදයෙන්ම නිවසට පැමිණෙන ඔහු සන්දේශ්ගේ වැඩ අවසන් කොට යළිත් තම නිවස වෙත යන්නේ හවස්වරුවේය. සිසිරගේ අත් උදව් හා සුහද හැසිරීම සන්දේශ්ගේ සිතටත් සියුම් අස්වැසිල්ලක් වූයේය. තමා අසා තිබු අද්භූත, හොල්මන් හා විහිළු කතා මෙන්ම නරඹා ඇති චිත්‍රපට ගැන ද ඔහු බොහෝ දේ සන්දේශ්ට පැවසුවේය. එමෙන්ම ඔහුට හොඳීන් ගීත ගැයීමේ හැකියාවක් ද තිබුණේය. ඉඳහිට ඔහුගේ මුවින් ගීතයක් අසන්නට ද සන්දේශ් අමතක නොකළේය. ඔහුගේ ප්‍රියතම ගායකයින් වූයේ මිල්ටන් මල්ලවාරච්චි හා මිල්ටන් පෙරේරාය.

"සිසිර කසාදයක් බැඳ ගත්තේ නැද්ද ? දැන් වයසත් හරිනේ"

"මොන හරියක් ද සර්, දැන් කසාද බඳීන වයසත් පැනලා. අම්මලා නං හැම තිස්සෙම කියනවා. කෝ ඉතිං හරි කෙල්ලෙක්?"

"සිසිරට ලව් එකක් තිබුණෙම නැද්ද ? "

"ඉස්කෝලෙ යන කාලේ නං එකක් තිබ්බා. දැන් නං ඒ කෙල්ල කසාඳ බැඳලා. මට ළඟදි දවසකත් පොළේ දී හම්බ වුණා. දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නවා "

"මාව බලාගෙන ඉඳලා හරියන්නෙ නෑ. ඔයාව බලාගන්නත් කවුරු හරි හොයාගන්න "

"ඔව් සර්. හතළිය පනින්න කලින් කොහොමහරි හොයාගන්න ඕන. සර්ට තිබ්ච්ච ලව් ගැනත් මැඩම් මට කිව්වා. සර්ට වෙච්ච වැඩෙත් එක්ක ඔක්කොම අප්සෙට් වුණාලු නේද?"

සිසිරගේ කතාවට සන්දේශ්ගේ දෙතොල් අතරට හීන් සිනහවක් නැගුණේය.

තවත් කොටසක් ලබන සතියේ..