වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

‘රත්තරන් පෙම් පුරාණේ’ හින්දි ගී අනුකරණයක් ද?

මාතලේ ධර්මා ඒකනායක

ප්‍රශ්නය - සුනිල් සාන්ත 'සුමිහිරි සුවදැති මල් ඇයි මෙතරම් හනිකට පර වනුයේ' නමැති ගීතය ගැයුවේ මියගිය සූර්ය ශංකර් මොල්ලිගොඩ වෙනුවෙන් ද? නැත්නම් සුනිල් ගේ මියගිය පුත් ජගත් සාන්ත වෙනුවෙන්ද?

පිළිතුර - මුලින්ම ඔහු එය ලීවේ සූර්ය ශංකර් වෙනුවෙන් තමයි. නමුත් පුතුගේ වියෝවේදී වචන වෙනස් කරලා ඒ තනුවටම ගීතයක් නිර්මාණය කළා.

කොටුගොඩ සුනිල් චන්ද්‍රසේකර

ප්‍රශ්නය - රුක්මණි දේවි රඟපෑවේ 'සිවම්මා ධනපාල' වේදිකා නාට්‍යයේ පමණක්ද?

පිළිතුර - අපොයි නැහැ. 'මිනර්වා' යුගයේ නාට්‍ය කීපයකම ඇය රඟපෑවාද?

පානදුරේ කුසුම්සිරි විජේරාම

ප්‍රශ්නය - ගාමිණී ෆොන්සේකා නිතරම අගය කළ නළුවකු වු ලැඩී රණසිංහ ගැන යමක් ලිව්වොත් නරකද?

පිළිතුර - ඉතාම හොඳයි. අවස්්ථාවක් ලද විගස ලියමු.

ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමාරච්චි

ප්‍රශ්නය - 'කොවුලන් හඬයි' වැනි ජනප්‍රිය ගී රැසක් ඇතුළත් වූ 'ජීවිතය' නමැති චිත්‍රපටය නිෂ්පාදනය නොවුණේ ඇයි?

පිළිතුර - මෙහි ප්‍රධාන නළු නිළි යුවළ ලෙස තෝරාගෙන සිටියේ ස්ටැන්ලි පෙරේරා හා රිටා රත්නායකයි. ඒත් අධ්‍යක්ෂ එස්. එස්. රාජන් හා රීටා අතර ඇති වූ මතභේදයක් නිසා ඔහු ඇය වෙනුවට ගර්ලි ගුණවර්ධන තෝරා ගත්තා. ඒ සඳහා නිෂ්පාදකවරුන්ගෙන් අනුමැතිය ලැබුණේ නැහැ. ඒ නිසා චිත්‍රපටය අතරමඟ ඇන හිටියා.

කොටුගොඩ ඕපාත සුනිල් සුන්දර්

ප්‍රශ්නය - 'සුරඟනි' චිත්‍රපටයේ රඟපෑ දිස්නා රංජනී ගැන තව තොරතුරු ටිකක් කියන්න.

පිළිතුර - ඇය 'දස්කම','සුභද්‍රා' වැනි චිත්‍රපටවලත් රඟපෑවා. ඇය පසු කලෙක ඉස්ලාම් ආගම වැළඳ ගත් බව සඳහන් වෙනවා.

මොරටුව මැල්කම් ප්‍රදිනාන්දු

ප්‍රශ්නය - ලේඛිකා සෝමා ජයකොඩිගේ ලිපිනය සොයා දෙන්න?

පිළිතුර - 'රන්ගිර', ගඟ පාර, මැදගම, බණ්ඩාරගම.

මීගමුව ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

ප්‍රශ්නය - ප්‍රකට ඉන්දීය චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ නෞෂාඩ් චිත්‍රපට නිෂ්පාදනය කර තිබෙනවාද?

පිළිතුර - ඔව්. 'උරන් කතෝලා' ඔහුගේ නිපැයුමක්. එහි දිලිප්, නිම්මි ප්‍රධාන චරිත රඟපෑවා.

කඩවත පහළ බියන්වල භද්‍රා බියංකා මධු

ප්‍රශ්නය - නළු එඩී ජූනියර්ට ජූනියර් කියා යොදන්නේ ඇයි? එඩී නමින් සීනියර් (ජ්‍යෙෂ්ඨ) නළුවෙක් තව සිටියාද?

පිළිතුර - ඔහුගේ පියා බී. එඩී ද සිල්වා. නූර්ති යුගයේ දක්ෂ සංගීතඥයෙක්. ඒ නිසායි පුතාට ජූනියර් කිව්වේ.

කෑගල්ලේ තටාකය පාරේ තිකරත්න විල්වල, මැණිකේ විල්වල

ප්‍රශ්නය- 'මගේ යාළු මාළු' චිත්‍රපටයේ සංගීතය එඩ්වඩ් ජයකොඩිගේ ද? කේෂාන් පෙරේරාගේ ද?

පිළිතුර - සංගීතය කේෂාන් පෙරේරා. ගී තනු එඩ්වඩ් ජයකොඩි.

මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ

ප්‍රශ්නය - එච්. ආර්. ජෝතිපාල ගයන 'රත්තරන් පෙම් පුරාණේ' ගීතය හින්දි ගී තනුවක් ද?

පිළිතුර - ඔව්. එය 'හම්රාස්' චිත්‍රපටයේ මහේන්ද්‍ර කපූර් ගයන ගීයක තනුවක්. චිත්‍රපටයේ ඒ සඳහා පෙනී සිටින්නේ සුනිල් දත් බව මෙම චිත්‍රපටය නැරඹූ අයට මතක ඇති. සංගීතවත් කළේ වතාවක් ලංකාවට ද පැමිණි රවි ශන්කර් ශර්මා.

මාතර වල්පල ප්‍රේමසිරි නාරසිංහ

ප්‍රශ්නය - 'සුදෝ සුදු' චිත්‍රපටයේ හීන් මැණිකේගේ චරිතය රඟපෑ නිළිය කවුද?

පිළිතුර - සුවිනීතා වීරසිංහ.

මෝදර එම්. ආර්. සී. ඩයස්

ප්‍රශ්නය - ඩී. ආර්. නානායක්කාර 'දෙවියනි ඔබ කොහිද' චිත්‍රපටයේ භික්ෂුවක ලෙස රඟපාද්දී ප්‍රේක්ෂකයන් සිනා වුණා. ඩී. ආර්. වෙනත් චිත්‍රපටවල භික්ෂු චරිත රඟපා නැද්ද?

පිළිතුර - තියෙනවා. ඔහු 'සරුබිම' චිත්‍රපටයේ එවැනි චරිතයක් රඟපෑවා. නමුත් කිසිදු ප්‍රේක්ෂකයෙක් ඊට හිනා වුණේ නෑ.

පාදුක්ක වටවල ආරියදාස පින්දෙණිය

ප්‍රශ්නය - 'ජීවිත සටන' චිත්‍රපටයට ඇතුළත් 'තම හිසට සැමදා තම අත වේ' ගීතය ලීවේ කවුද?

පිළිතුර - ඩී. ටී. ප්‍රනාන්දු.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මීටියාගොඩ මරදාන වත්තේ එම්. එල්. තිලකරත්න ද සිල්වා, ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න

‘සුමිගෙන් අහන්න’

‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.