වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




ටයිටස්ගේ  බත් පාර්සලය පූසෙක් කෑ හැටි

ටයිටස්ගේ  බත් පාර්සලය පූසෙක් කෑ හැටි

45 වසරක මගේ මාධ්‍ය ජීවිතයේ මට හමු වූ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, සංස්කරණ ශිල්පියකු, තිර කතා රචකයකු, අර්ථපතියකු, චිත්‍ර ශිල්පියකු, නර්තන ශිල්පියකු, සම්මතයට පිටු නොපෑ අසම්මත චින්තකයකු මෙන්ම සොඳුරු මිනිසෙකු ද විය. ඔහු නමින් ටයිටස් තොටවත්තය. ඔහු සිටින තැන විනෝද සාගරයකි. ඔහු සමීපව ඇසුරු කිරීමෙන් ද ඔහුගේ චිත්‍රපට රූගත කිරීම් දැකීමෙන් ද ඒවා ගැන 'සරසවිය'ට විශේෂාංග ලිවීමෙන් ද මම අපමණ සතුටක් ලැබුවෙමි.

වරක් තොටවත්තයන් අධ්‍යක්ෂණය කළ 'සිහසුන' චිත්‍රපටයේ රූපගත කරීම් කොළඹ වෝඩ් පෙදෙසේ සංස්කරණ ශිල්පී ලාල් දිසානායකගේ නිවසේ සිදු කරනු බැලීමට මම ගියෙමි. මා දර්ශන තලයට යන විටම එහි සිටි පිරිස මැද සිටි ඔහු 'මේ එන්නේ සිංහල සිනමාව. වරෙන් වරෙන් අද උඹට අපි සිංහල සිනමාව කන හැටි ලියන්න පුළුවන්' යයි හයියෙන් කීය. මගේ කන රතු වීගෙන එයි. මම ලැජ්ජාවෙන් පසෙකට වීමි. එදා රජ ඇඳුමින් සැරසී සිටි ගිරිගෝරිස් (සෝමසිරි දෙහිපිටිය) තම බිරිඳ (චන්ද්‍රා කළුආරච්චි) හා දියණිය (ශ්‍රියාණි අමරසේන) සමඟ රඟපාන දර්ශනයක් රූගතවෙමින් තිබුණි. කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමන්න කැමරාවට ඇස තබාගෙනය.

'දේවිය, අපි අර ඈත පෙනෙන දූපත මැද තියෙන සාගරයට යමු' සෝමසිරි ගැඹුරු හඩින් කීවේය.

'පුදුමයි' ටයිටස් අත් දෙක බැඳ ගෙන පුදුමයෙන් උපහාසාත්මක ලීලාවෙන් කීවේය.

සෝමසිරි දෙවන වර ද එම දෙබස් ඛණ්ඩය නැවත කීවේය.

'අනේ මං උඹව රජ කරවන්න ගන්න වෑයම, හරියට දෙබස් ටිකවත් කියාගන්න බැහැනේ' ටයිටස් තරහෙන් කීවේය.

'ඇයි, ටයි මහත්තයා?'

'යකෝ දූපතක් මැද සාගරයක් තියෙනවාද? සාගරයක් මැද දූපතක් තියෙනවා මිසක්'

'අයියෝ මට වැරදුණා. ආයෙත් ගමු' සෝමසිරි කීවේ ලැජජාවෙනි.

සෝමසිරි යළිත් රඟපෑවේය.

'ඔය හොඳට කිව්වේ. ඒ 'ෂොට්' එක හොඳයි. උඹව රජ කරන්නම වටිනවා' ටයිටස් රැවුල අතගාමින් කීවේ සිනාසෙමිනි.

ටයි මහත්තයා ඉක්මනින් තරග ගිහින් ඉක්මනට නිවෙන චරිතයකි. ඔහු කන බොන වේලාවට කිසිවකුගේ වරදක් දුටු තැන බැණ වැදුණත් ඒවා හිතේ තබා ගන්නේ නැත. ඔහුගෙන් වැඩියෙන්ම බැණුම් අසන්නේ නිෂ්පාදන කළමනාකරුය. රණසිංහ නම් අපූරු පුද්ගලයකු ඔහුගේ 'හාර ලක්සය' චිත්‍රපටයේ වැඩ කළේය. ටයිටස් කොපමණ බැන වැදුණත් රණසිංහ කරබාගෙන සිටින්නේ සිනාසෙමිනි. කොච්චර බැන්නත් ටයිටස් රණසිංහට ආදෙර්ය. එද 'හාර ලක්සේ' චිත්‍රපටයේ රූගත කිරීම් බැලීමට කැමරා ශිල්පී රෝලන්ඩ් පෙරේරා, කුමාරදාස වාගිෂ්ට හා මම ද වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ගියෙමු.

එදින දහවල් කෑම සඳහා රූගත කිරීම් නතර විය. රණසිංහ චිත්‍රපටයට සම්බන්ධ නළුවන්ට ද කාර්මික ශිල්පීන්ට ද කෑම පාර්සල් බෙදා දුන්නේය. මේ වෙලාවට ටයිටස් මධුවිතක රස විඳින නිසා ඔහුගේ බත් පාර්සලය හා තමාගේ බත් පාර්සලය ද රණසිංහ පසෙකින් තබා තිබුණි. රණසිංහ කෑම කන්නේ සෙසු අය සියල්ලම කෑම කෑවාට පසුවය.

එක කෑම පාර්සලයක් පමණක් තුරුලු කරගෙන රණසිංහ අප අසලට පැමිණියේය.

'මොකද උඹ බත් පාර්සලයක් බදාගෙන. උඹ බත් කෑවද?'

'නැහැ, සර් කෑම කන්න'

කෝ උඹේ කෑම පාර්සලය'

රණසිංහ කෑම පාර්සලය ටයිටස් අත තැබීය.

'කෝ උඹේ කෑම පාර්සලය' ටයිටස් නැවත ඇසීය.

'සර් මේ තියෙන්නේ' රණසිංහ ටයිටස්ට දුන් පාර්සලය පෙන්වමින් කීවේය.

'පුදුමයි, එතකොට උඹටයි මටයි කන්න තියෙන්නේ එක පාර්සලයද?' මේක උඹේ නං මගේ කෑම පාර්සලය කෝ'

'සර්ගේ කෑම එක පූසෙක් කෑව'

'ඈ බං ඌ පුදුම පූසෙක්නෙ? ඌ පැනලා කාලා තියෙන්නේ ටයිටස් තොටවත්තගේ කෑම එකනේ' ටයිටස් කියන විට අවට සිටි හැමදෙනාම සිනාසුණහ.

ඒ ටයිටස්ගේ හැටිය. ටයිටස් අධ්‍යක්ෂණය කළ 'මංගලා' චිත්‍රපටයේ වැඩ කටයුතු සැලසුම් කරන කාලයේ දිනක් මම ඔහු හමුවීමට ගියෙමි.

'උඹ දන්න පූසෙක් නැද්ද ප්‍රඩක්ෂන් මැනේජර් වැඩේට. අපේ පිස්සු පූසට (රණසිංහ) අමතරව'

'ඉන්නව ටයි මහත්තයා, ඌ නියම පොරක්. මාත් එක්ක ආනන්දෙ ඉගෙන ගත්ත එකෙක්. නම නම්මුනි සොයිසා. අපේ 'නිම්වළල්ල' ෆිල්ම් එකේ ප්‍රඩක්ෂන් මැනේජර්'

'අපේ ඉස්කෝලේ ඉගෙන ගත්ත නම් ඌ හොඳ පූසෙක් වෙන්න ඕනෑ. හෙටම එක්ක වරෙන්'

ටයි මහත්තයා ද ආනන්දියෙකි.

පළමු කතාබහෙන්ම ටයිටස්, නම්මුනිට කැමති විය. ටයිටස්ගේ හැටි මා කල් තියාම නම්මුනිට කියා තිබුණි. ඉඩ ලැබුණු අවස්ථාවක මම මගේ මිත්‍රයා වැඩ කරනු බැලීමට 'මංගලා' දර්ශන තලයට ගියෙමි. එදා දහවල් කෑම සඳහා නතර කරන විට සවස 3 ට පමණ ඇත.

එකල තරුණයන් වැඩි දෙනකු මුහුණේ සයිඩ් බර්න්ස් වවා සිටීම සුලභ ලක්ෂණයකි. නම්මුනි ද එසේ සයිඩ් බර්න්ස් වවා තිබුණි. මේ නිසා ටයිටස් ඔහුට කතා කළේ 'ගෑරුප්පු' නමිනි.

මධුවිතක් තොල ගාමින් සිටි ටයිටස් 'ගෑරුප්පු මෙහේ වරෙන්' යයි නම්මුනිට කතා කළේය.

'ඇයි ටයි මහත්තයා'

'උඹ කෑවද?'

'නෑ ටයි මහත්තයා'

'ඇයි උඹ මාව කන්න ද ඉන්නේ. උඹ ගිහින් කාපන්. මේ උඹේ යාළුවටත් පාර්සලයක් දීපන්'

නම්මුනිත්, මාත් කෑම ගෙන අවසන් වන විට යළිත් දර්ශන තලයේ රූගත කිරීම් ආරම්භ කොට තිබුණි.

'ගෑරුප්පු . . .' යි ටයිටස් නම්මුනිට කතා කළේය. කුමක් හෝ රසවත් සිදුවීමක් වන බව මට ඉවෙන් මෙන් වැටහුණේය.

නම්මුනි සැකයෙන් මෙන් ටයිටස් අසලට ගියේය.

'ඈ ගෑරුප්පු උඹ කෑවද?'

'ඇයි ටයි මහත්තයා කිව්වේ මට කන්න කියලා'

ටයිටස් ඇන්ඩෲ දෙසට හැරුණේය.

'බලපන් ඇන්ඩෲ අපි බඩගින්නේ වැඩ. ගෑරුප්පුව කාල. මම කිව්වම කියමු. මේකට වටිනවද අපිව දාලා ගිහිල්ලා කන්න'

ටයිටස් එසේ අහිංසක විහිළු කර සතුටුවීමට දක්ෂයෙකි. ඔහුගෙන් බැණුම් නෑසූ එකම පුද්ගලයා කැමරා ශිල්පී ඇන්ඩෲ ජයමාන්න වුවද ඔහු ද අපහසුතාවයට පත් වූ අවස්ථාවක් මට මතකය. එදා 'හාර ලක්සේ' චිත්‍රපටයේ දර්ශනයක් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ රූගත වෙමින් තිබුණි. එදා දහවල දිවා භෝජනයෙන් පසු ටයිටස් මීවිතක් තොල ගාමින් කාමරයක සිටි අතර ඊළඟ දර්ශනයට නළු නිළියන් ද බන්ධනාගාර නිලධාරීන් ද සූදානම්ව සිටියහ. ඇන්ඩෲ බියෙන් බියෙන් ටයිටස් සිටි තැනට ගියේය.

'උඹ මොකටද මෙහෙ ආවේ'

'ටයි මහත්තයා ෂූටිං ලෑස්තියි, කට්ටිය බලන් ඉන්නවා'

'ඉතින් උඹ සීන් එක ෂූට් කරපන්'

'ටයි මහත්තයා නැතිව'

'මං මොකටද? උඹට මෙච්චර දවසක් මං කියලා දීපුව මදිද? උඹ කරහං. මම නේ කියන්නේ'

ඇන්ඩෲට සියල්ල දමා ගසා ගෙදර යන්න හිතුණත් ඔහු ඉවසා සිටියේය.

හවස තේ පානය සඳහා රූගත කිරීම් නතර කරන විට ඇන්ඩෲ ටයිටස් නොතකා පැත්තකට වී කල්පනා කරමින් සිටියේ අකමැත්ත පෙන්වන නියාවෙනි. ටයිටස් ඇන්ඩෲ අසලට ගියේය.

'මං උඹට බැන්න නේද?'

'ඔව්, ටයි මහත්තයා මට කවදාවත් නැතිව බැන්නා'

'මං බීලා ඉන්න වෙලාවට කියන දේ උඹත් ගණන් ගත්තද? අනෙක මං බැන්නම උඹ ඇයි කට වහගෙන හිටියෙ. උඹත් බැනපං මගේ කට වැහෙන්න මීට පස්සේ' ටයිටස් සිනාසෙමින් කියන විට ඇන්ඩෲට ද සිනා ගියේය.

ටයිටස් 'මරුවා සමඟ වාසේ' චිත්‍රපටය අවසන් කර බොරැල්ලේ කොටා රෝඩ් එකේ ඔහුගේ නිවසට වී සිටින අවස්ථාවක මම එහි ගියෙමි. මා එහි යන කොට ඔහු තමා හඳුනන ත්‍රීවිලර් රියදුරකු සමඟ ලොකු කතාවක් කරමින් සිටියේය. ඒ කාලයේ ඉදිරියට තිරගත වන චිත්‍රපට සඳහා පූර්ව ප්‍රචාරයක් සඳහා සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණයෙන් යුතු පුංචි දැන්වීමක් ත්‍රීවිලර් එකේ පිටුපස ඇලවීම සුලභ ලක්ෂණයකි. එය එකල මෝස්තරයක් වී තිබුණි.

'මනුස්සයෝ ඔය වැඩේ හරියන එකක් නොවෙයි. 'මරුවා සමඟ වාසේ' කියලා උඹ ත්‍රීවිලර්වල ගහගත්තම කවුද වාහනයට නඟින මොඩයෝ'

'ඒකත් ඇත්ත නේනං. සර්ට තිබුණේ අපිට ගහගගන්න පුළුවන් නමක් පික්චර් එකට දාන්න' ඇඟැට නොදැනී කී ත්‍රීවිලර් රියදුරා පිටව ගියේය.

ඒ කාලයේ ටයිටස්ගේ කටේ තිබුණ අලුත්ම වචනය වූයේ 'අයියෝ සිරිසේන'ය.

'අයියෝ සිරිසේන උඹව දැක්ක කල්. ඉඳගනිං' මා දුටු ඔහු කීවේය.

මේ අතර රොබින් ප්‍රනාන්දු එහි පැමිණියේය.

'අයියෝ සිරිසේන උඹත් එක්ක මේ වැඩ කරන්න බැහැ' ටයිටස් රොබින්ට ද කීවේය.

තව ටික වේලාවකින් 'මරුවා සමඟ වාසේ' චිත්‍රපටයේ නිෂ්පාදක එච්. කේ. සිරිසේන ද එහි පැමිණියේය. 'අයියෝ සිරිසේන' කියා තම නිෂ්පාදකටත් කියයිදෝ රොබින් හා මා බලා සිටියේ කුතුහලයකිනි. ඒත් එය සිදු වූයේ නැත.

ටයිටස් තොටවත්ත වාර්තාගත ප්‍රධාන සරසවිය සම්මාන හතරකින් පිදුම් ලැබුවේ 1980 වසරේ සම්මාන උලෙළේදීය. ඒ 'හඳයා' චිත්‍රපටය සඳහාය. හොඳම අධ්‍යක්ෂ, හොඳම තිර නාටක රචක, හොඳම සංස්කරණය, හොඳම නිෂ්පාදනය යන සරසවිය සම්මාන දිනූ ටයිටස්ට එම වසර වාසනාවන්ත එකක් විය. සරසවි සම්මාන උලෙළට පසුදා මාත්, කැමරා ශිල්පී රෝලන්ඩ් පෙරේරාත් ටයිටස්ගේ නිවසට ගියේ ඊළඟ සරසවියට විශේෂාංගයක් ලිවීමටය. එදා ටයිටස් තමාට හිමි වූ එක සම්මානයක් මගේ අතට දී තව සම්මානයක් තම අතේ තියාගෙන සින්දුවක් කියමින් සතුටු විය.

'දෙනවා කියලා දුන්නේ නැහැ

ඇන්ටා මාව රැවට්ටුවා'

ටයිටස් ඒ ගීතය ගැයීමට හේතුවක් තිබුණි. 1980 වසරේ ජනාධිපති චිත්‍රපට සම්මාන උලෙළේදී කතාවක් කළ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ඇන්ටන් වික්‍රමසිංහ කියා සිටියේ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළකදී ශ්‍රී ලංකාවේ නිපද වූ චිත්‍රපටයකට ප්‍රධාන සම්මානයක් හිමි වුණොත් රුපියල් ලක්ෂයක් පිරිනමන බවය. 'හඳයා' 1980 වසරේ ඉතාලියේ ගිෆොනි අන්තර් ජාතික ළමා හා තරුණ චිත්‍රපට උලෙළේ ප්‍රථම ස්ථානයට හිමි ගෝන් ෆී සම්මානය හිමි වූයේ රටවල් 150 ක් පරදවමිනි. චිත්‍රපට සංස්ථාව පොරොන්දු වූ මුදල් ත්‍යාගය දීමට ප්‍රමාද කිරීම ගැනයි ටයිටස් අර ගීතය ගයමින් හිත මිතුරන් සතුටු කළේ. මේ ආරංචිය කෙසේ හෝ සංස්ථා සභාපතිගේ කනට ගියේය. එම ත්‍යාගය 1981 ජනාධිපති උලෙළේදී ටයිටස්ට පිරිනමා ඇන්ටන් වික්‍රමසිංහ තම පොරොන්දුව ඉටු කළේය.