වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




උඹට ලංකාව පුංචි වැඩියි

උඹට ලංකාව පුංචි වැඩියි - ස්පිල්බර්ග්

පුංචි මට මේ රට ලොකු වැඩියි - ඩී. ආර්.

සරසවිය ප්‍රථම හොඳම නළුවා ගැන දියණියගේ මතක සටහන්...

යමක් කී කල එය වහා අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඔහුට තිබිණි. මගේ චිත්‍රපටයේ එක් තැනක ර්ධදඵධධද වචනය ඔහු උච්චාරණය කරමින් රඟපෑ අයුරු දුටු මම විශ්මයට පත් වුණෙමි. ඔහුගේ ඒ රඟපෑම කොතෙක් මා පුදුමයට පත් කළා ද කිවහොත් කිසිදු රංග පාසලක ඉගෙනුම නොලබා ඔහු එවැන්නක් කිරීම සැබැවින්ම විශිෂ්ටය.

ලෝක සිනමාවේ බිහි වූ ඉහළම ආදායම් ලද චිත්‍රපට අතර ‘ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම්’ චිත්‍රපටයේ රඟපෑ ඩී. ආර්. නානායක්කාර පිළිබඳ එහි අධ්‍යක්ෂ ලෝක ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂ ස්පිල්බර්ග් අපේ ඩී. ආර්. ගැන පැවසුවේ ඒ අයුරිනි. ඒ චිත්‍රපටයේ විසි පස් වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ විශේෂ ඩී වී ඩී එකතුවෙහිය. සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ අති විශිෂ්්ටතම චරිතාංග නළුවන් අතළොස්සක් අතරින් කෙනකු වූයේ ඩී. ආර්. නානායක්කාරය. කිසි විටෙක කිසිදා බිඳ නොහැකි වාර්තාවක් තබමින් ඔහු ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ හොඳම නළුවා ලෙස මුල්වරට සම්මානය දිනා ගත්තේය. දොන් රියුටර් නානායක්කාර නමින් කොලොන්නාවේදී 1915 මාර්තු මස 15 වැනිදා උපත ලැබූ ඔහු 1989 ජනවාරි 04 වැනිදා අප අතරින් සදහටම සමුගනු ලැබිණි.

මේ ඔහුගේ වැඩිමහල් දියණිය අශෝකා නානායක්කාර ඩී. ආර්. නානායක්කාර ගැන මතක ආවර්ජනාත්මක කතාබහකට එක් වෙමින්.

ඩී. ආර්. ජීවතුන් අතර නැතත් ඔහු ඉතිරි කර ඇති දේ බොහෝයි?

අදත් තාත්තා නැති බව මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. තාත්තා රඟපාලා ඉතිරි කරලා ගිය බොහෝ නිර්මාණ තියෙනවා අදටත් ඒ හැමෝටම රස විඳින්න පුළුවන්.

ඩී. ආර්.ගේ පවුලේ තොරතුරු එහෙම කතා කළොත්?

මගේ අම්මා ඇඩ්ලින් පෙරේරා. ඇය 83 මාර්තු 16 වැනිදා හදිසියේ හෘදයාබාධයකින් මිය ගියා. තාත්තාට මාත් ගැහැනු දරුවෝ හතර දෙනෙක් පිරිමි දරුවෝ දෙන්නෙක් හිටියා. මම අශෝකා, නංගිලා කල්‍යාණි, ශාන්ති, සිරිමා, මල්ලිලා දිලිප්, රංජිත්.

කොහොමද තාත්තාගේ කලා ජීවිතයේ මතකය?

තාත්තා කුරුලු බැද්ද චිත්‍රපටයේ රඟපාන කොට මට අවුරුදු දහයක් විතර ඇති. මමත් කුරුලුබැද්ද චිත්‍රපටයේ රඟපෑවා. ඒ චිත්‍රපටයේ 1/4 ක විතර මාත් ඉන්නවා.

ඇයි පසු කලෙක ඔබ රංගනය සඳහා නොපැමිණියේ?

රඟපාන්න ලොකු ආශාවක් තිබුණේ නැහැ. තාත්තා වුණත් අපිව ඒ දේවල්වලට යවන්න උත්සාහ කළේ නැහැ. අපිටත් ලොකු අවශ්‍යතාවයක් ඇති වුණෙත් නැහැ.

තාත්තාට කවුරුත් කතා කළේ?

ක්ෂ්ත්‍රයේ ගොඩක් අය තාත්තාට නිතර කතා කළේ නානා කියලා. සමහරු ඩී. ආර්. කියලත් කිව්වා.

ලොකු දුව හැටියට ඔබට තාත්තා කලා ක්ෂේත්‍රයට ආපු හැටි එහෙම කියලා නැද්ද?

අපෝ කියලා තියෙනවා. තාත්තාගේ ලොකු ආශාවක් තිබුණා එයා ගෙදර ඉන්න දාට දරුවෝ ටික එයාට පේන්න එයත් එක්ක ඉන්නවා දකින්න. ඒ කාලේ අපේ ගෙදර තිබුණේ කොලොන්නාවේ. ගේ ඉස්සරහ තිබුණා ලොකු ජම්බු ගහක්. මේ ජම්බු ගහ යට තිබුණ බංකුවේ තමයි බොහෝ වෙලාවට අපිත් එක්ක තාත්තා විවේකීව ගත කරන්නේ. ඒ වෙලාවට තාත්තා රඟපාන්න ආපු හැටි අපිට කියලා තියෙනවා. කුඩා කාලයේදීත් තාත්තා නාට්‍ය බලන්න ගොඩක් ප්‍රිය කළාලු. වැඩිපුරම ඒ කාලේ නාට්‍ය බැලුවේ මරදානේ නිව් ඔලිම්පියා ශාලාවේ. ඒ ගිය දවසක තංගල්ලේ සිරිසේන විමලවීරගේ නාට්‍යයක් බලලා එනකොට මරදානේ පදික වේදිකාවේදී විමලවීර මහත්තයා මුණ ගැහිලා කතා කරලා තියෙනවා. තාත්තාගෙන් අහලා තියෙනවා රඟපාන්න කැමැතිද කියලා. ඒ පාර තාත්තා කැමැතියි කියලා. දවසක් දුන්නලු එයාව ඇවිත් හම්බ වෙන්න කියලත්. ඒ ගිය වෙලාවේ අම්මා කියන නාට්‍යයේ සිංදුවක් දුන්නලු ගායනා කරන්න. තාත්තාට හොඳට සර්පිනාව ගහන්න පුළුවන්. එයා සර්පිනාව ගහලා සිංදුව කිව්වලු. විමලවීර මාස්ටර් කිව්වාලු හිතුවට වඩා හොඳයි. පහුවදා ඉඳලා නාට්‍ය පුරුදු වෙන්න එන්න කියලා. ඔය විදියට තමයි තාත්තා කලාවට ඇවිත් තියෙන්නේ.

ඒ කියන්නේ ඔබේ පියා මුල්වරට කලාවට එන්නේ වේදිකාව හරහා?

අම්මා නාට්‍ය තමයි තාත්තාගේ මුල්ම නාට්‍ය රඟපෑම. ඊට පස්සේ සීදේවි, පිටිසර කෙල්ල, හෙළදිව පුරඟන, රොඩී කෙල්ල, මග්ගොන චාලි වගේ නාට්‍ය රැසක තාත්තා රඟපෑවා.

වේදිකාවේ වගේම සිනමාවෙත් ඔබේ පියාණන්ගේ ගුරුවරයා වන්නේ එකම පුද්ගලයා වගේම එකම නිර්මාණය ?

ඔව්. අම්මා චිත්‍රපටය තමයි තාත්තාගේ මුල්ම චිත්‍රපටය. සිරිසේන විමලවීරගේ අම්මා චිත්‍රපටයේ සරණපාල ලෙස තමයි රඟපාන්නේ. ඊට පස්සේ විමලවීර මාස්ටර් තමන් හැදුව නාට්‍යයක්ම චිත්‍රපටයක් කළා.

තාත්තාත් එක්ක ඒ කාලේ චිත්‍රපට එහෙම බලන්න යනවාද?

බොහෝ විට තාත්තා චිත්‍රපට බලන්න මාව එක්ක ගියා. අම්මාට මල්ලිලාගේ නංගිලාගේ කටයුතු තිබුණ නිසා මම තමයි තාත්තා එක්ක චිත්‍රපටවල මංගල දර්ශනය බලන්න ගියේ.

නානා වැඩියෙන්ම ආදරයක් දැක්වූවේ ඔබටද?

මම පවුලේ වැඩිමලා නිසාත් මම තාත්තාගේ හුරුවට හිටිය නිසාත් තාත්තා මට විශේෂයක් දැක්වූවාද මම දන්නේ නැහැ. තාත්තා නැතිවෙන කොටත් මම තමයි බලා ගත්තේ. තාත්තා මොනවද කන්න ඕනේ කියන්නේ මට වෙලාව ප්‍රශ්නයක් නැහැ. රෑ ද දවල් ද පාන්දර ද කියලා නැහැ. ඒ හැම දෙයක්ම මම තාත්තට හදලා දුන්නා.

ඒ යුගයේ නළු නිළියන්ට සමාජයේ විශේෂ පිළිගැනීමක් තිබුණු කාල වකවානුවක්?

කොහේ ගියත් මිනිස්සුන්ගේ තිබුණේ පුදුම ආදරයක්. කාටත් හරිම හිතවත්. මිනිස්සුන්ගේ තිබුණ අසීමිත ආදරය සමහර විට තාත්තාට කරදරයක් වෙන්නත් ඇති. සමහර අවස්ථාවල තාත්තාගේ රසිකයෝ තාත්තාගේ ඔළුවේ කෙසුත් ගැලෙව්වා.

පොදු වාහනයක යන කොට ඩී. ආර්. ඇයි අතින් නහය වහගෙන ගියේ?

මිනිස්සු අඳුනගන්නවට මේ සිරිත පොදු වාහනයක යන කොට තාත්තා තුළ තිබුණ දෙයක්.

තාත්තා රඟපෑ චිත්‍රපට අතින් ඔහු වඩාත් ආදරය කළේ මොන වගේ නිර්මාණ සඳහාද?

රේඛාවේ කපටි සූටියා, කුරුලුබැද්දේ කපටි කයිතන්, සිකුරු තරුව ගම්මුලාදෑනි, චණ්ඩියා බේබදු පියා, පරසතු මල් අමාරිස්, බයිසිකල් හොරා බයිසිකල් හොරා, බිනරමලී ආරච්චිල, බක් මහ දිගේ නාකි ලියන්නා, කතුරු මුවත් කතුරු මුවත්කරු චිත්‍රපටවලට හා චරිතවලට.

ඩී. ආර්. රංගනයට වගේම ගායනයටත් වාදනයටත් එක සේ රුසියෙක්?

ජපන් මැන්ඩලීනය වැයීමට තාත්තා දක්ෂයි. සර්පිනාව වාදනය කිිරීමටත් එහෙමයි. සිංදු වුණත් කීපයක් චිත්‍රපටවල ද ගායනා කරලා තියෙනවා.

පියාගේ රඟපෑමක් දැකලා ඔබට දුක හිතුණා කිව්වේ?

දවසක් තාත්තා රඟපෑ දෙවියනි ඔබ කොහිද චිත්‍රපටය බලන්න මාව එක්ක ගියා. ඒ චිත්‍රපටයේ තාත්තා රඟපාලා තිබුණේ වෙනස්ම චරිතයක්. හාමුදුරු නමකගේ චරිතයකට රඟපා තිබූ තාත්තා සිවුරක් පොරවාගෙන එහි රඟපානවා දැකලා එදා හෝල් එකේ චිත්‍රපටය බලපු හැමෝම හයියෙන් හිනා වුණා. මට ඒකට හොඳටම දුක හිතුණා. අනික් මිනිස්සු හිනාවෙන කොට මම විතරක් තාත්තට හිනා වෙනවා කියලා ඇඬුවා.

ඔබේ පියාණන් ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වෙනවා?

තාත්තා දෙපාරක් හොඳම නළුවා ලෙස සරසවිය සම්මානය දිනා ගන්නවා. ඒ 1964 සිකුරු තරුව චිත්‍රපටයේ රංගනයටත් 1967 බයිසිකල් හොරා චිත්‍රපටයේ රංගනයත් උදෙසා.

ඒ සුවිශේෂී සම්මානවලට තාත්තාගේ මරණයත් සමඟ මොකද වුණේ?

අදටත් ඒ සම්මාන මා සතුව සුරැකිව තියෙනවා.

ලෝක ප්‍රසිද්ධ ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ස්ටීවන් ස්පිල්බර්ග් පවා ඔබේ පියාණන්ගේ රංගනයන් දැක වික්ෂිප්තභාවයට පත් වුණා?

ඒ හපන්කම කළෙත් මගේ තාත්තා. මට ඒ ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා මේ පුංචි රටෙන් හොලිවුඩ් ගිය නළුවකු වීම ගැන. තාත්තාගේ රඟපෑම ගැන පුදුම වුණු ස්පිල්බර්ග් තාත්තාට කිව්වලු උඹට ලංකාව කුඩා වැඩියි. උඹට අනාගතයක් තියෙන්නේ අපේ රටවල, උඹ වරෙන් හොලිවුඩ්වලට කියලා. ඒ පාර තාත්තා හිනා වෙලා කිව්වලු පුංචි මට මේ පුංචි රට මොන තරම් නම් ලොකු ද කියලා.

නානා බොහොම සැහැල්ලුවෙන් විනෝදයෙන් කල්ගත කළා සේම අනුන් වෙනුවෙන් පරිත්‍යාගශීලී වුණා?

තාත්තාගේ නරක දෙයක් හැටියට තිබුණේ මීවිතට ලොල්වීම විතරයි. එයාට කෑමට වැඩිය ඕනෑ කළේ මධුවිත. හැබැයි එහෙම කියලා ගෙදර අඩුපාඩුකම් තිබ්බේ නැහැ. ඒ වගේම තමයි හරිම පරිත්‍යාගශීලීයි. පිනට දෙන්න ගියහම තියෙන හැමදේම වුණත් දෙන පුරුද්දක් තිබුණා. කෙනෙකුට කන්න බොන්න දීලා එයා ලැබුවේ ලොකු සතුටක්. අපේ ගෙදර ඉස්සරහ තිබුණු ජම්බු ගහ යට ගල් බංකුව උඩ බෝතලයක් තියන් වාඩිවෙන තාත්තා පාරේ යන එයාගේ හිතවතුන්ටත් කතා කරලා සංග්‍රහ කරන්න තරම් ළෙන්ගතු වුණා.

දියණිය හැටියට ඔබ වඩාත් කැමැති තාත්තා රගපෑ මොන චිත්‍රපටවලටද?

තාත්තා රඟපෑ දෙසීයකට අධික චිත්‍රපට සියල්ලටම වගේ මම කැමැතියි. ඒ අතරින් බයිසිකල් හොරා, පරසතු මල්, දෙවියනි ඔබ කොහෙද, බංගලි වළලු, වෙසතුරු සිරිත ඒ අතරින් සුවිශේෂයි.

ඩී. ආර්. නානායක්කාරගේ දරුවෝ කියලා අදටත් සමාජයේ ඔබට පිළිගැනීමක් තියෙනවාද?

එදා වගේම අදත් ඒ පිළිගැනීම තියෙනවා. විවාහ වුණාට පස්සේ අශෝකා කල්දේරා වුණත් මට කවුරුත් කතා කරන්නේ නානායක්කාර ඇන්ටි කියලා. සමහර විට තාත්තාගේ හැබෑ හුරුව මගෙත් තියෙන නිසාද කියලා මම දන්නේ නැහැ.

තාත්තා රඟපාන්න ගිහිින් වෙච්ච අමතක නොවන සිද්ධි එහෙම රස කරලා ඔබට කියලා එහෙම නැද්ද?

එක සිද්ධියක් ගැන නම් අපිට කියලා තියෙනවා. සිකුරු තරුව, කුරුලු බැද්ද, දෙයියන්ගේ රටේ, සරුබිම, වනසරා වගේ චිත්‍රපට හැදුව ඉන්දීය ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ එල්. එස්.රාමචන්ද්‍රන් එක්තරා අවස්ථාවකදී තාත්තාගේ පණ බේරපු හැටි අපිට කියලා තියෙනවා. ඒක වෙලා තිබුණෙ කුරුලුබැද්ද චිත්‍රපටය කරන්න ගිහින්. ඒ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණේ පුණ්‍යා හීන්දෙනිය. තාත්තාට රඟපාන්න තිබිලා තියෙන්නේ ගමේ කේලම් කිය කිය අනුන්ව කොටවන චරිතයක්. පුණ්‍යා ගැනත් තාත්තා ගමේ කේලම් කියලා මිනිස්සු විරසක කරලා. ඇය රෑ ගමේ තොවිල්පලකට නැටුම් බලන්න ගිය අතරේ ඇගේ ගෙට තාත්තා ගිනි තියනවලු. ඔය සිද්ධිය දකින ගමේ කොල්ලෝ දෙන්නෙක් තාත්තව අල්ල ගන්න පස්සෙන් එලවනවාලු. දුවල දුවලා බේරෙන්න බැරි තැන තාත්තා ගඟක් ළඟ තියෙන ගහකට නැගලා අත්තක් දිගේ ඇවිත් ගඟට පනිනවලු. කොහොම හරි එලවන් ආ දෙන්නා ගඟට පැනලා තාත්තා අල්ලගෙන දිය යට ඔබන් ඉන්නවලු. මේ වෙලාවේ තාත්තා මොන තරම් දැඟලුවත් අර දෙන්නා තාත්තව වතුර යට ඔබාගෙන ඉන්නවලු. කොහොම හරි අධ්‍යක්ෂක කට් කිව්වත් මේ පුද්ගලයෝ තාත්තාව අතහැරලා නෑ. බැරිම තැන රාමචන්ද්‍රන් මහත්තාය මේක දැකලා ළඟ හිටිය අයට කිව්වලු වතුරට පැනලා බේර ගන්න කියලා. කොහොම හරි ඒ විධියට තව විනාඩි දෙක තුනක් හිටියා නම් වතුර පෙවිලා හුස්ම ගන්න බැරුව තාත්තා මැරෙනවලු.

ඩී. ආර්. අන්තිමට රඟපෑවේ මොන නිර්මාණවල කියලද ඔබට මතක?

චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ චිත්‍රපටයක රඟපාන්න ගිවිසුම් අත්සන් කළත් චිත්‍රපටයේ රඟපාන්න තාත්තට හම්බ වුණේ නැහැ. මට චිත්‍රපටයේ නම මතක නැහැ. මම හිතන්නේ තාත්තා අන්තිමට රඟපෑවේ ශ්‍රියානි අමරසේනගේ දෑසේ මල් පිපිලා චිත්‍රපටයේ කියලයි.

දකුණු අතින් ලිව්ව අත්සන් කළ තාත්තා පසු කලෙක වම් අතින් අත්සන් කරන්න ලියන්න උත්සාහ කළා කිව්වේ?

චිත්‍රපට අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂගේ චිත්‍රපටයක ෂූටින් කරල එනකොට තාත්තා ගමන් කරමින් හිටිය වාහනය පෙරලිලා බන්ධනාගාරය ළඟ ඇක්සිඩන්ට් වෙලා. තාත්තාට හොඳට තුවාල වුණා. ඒ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ තාත්තාගේ දකුණු අතින් ලියන්න කරන්න බැරුව ගියා. ඒ නිසා වම් අතින් අත්සන් කළා.

ඔබේ පියාණන් කලාවට අවතීර්ණවීමට කලින් වෙනත් ආයතනයක රැකියාව කරනවා?

ඔව්. කොළඹ ලීවර්ස් සමාගමේ සුපවයිසර් කෙනෙක් හැටියට වැඩ කළේ. කොහොම හරි නාට්‍යවල රඟපාන්න ගිහින් වැඩට යන එක අඩු වෙලා කොම්පැණියේ අයත් එක්ක විරසක වෙලා රස්සාවෙන් අයින් වෙලා තමයි රඟපාන්න ඇවිත් තියෙන්නේ.

නානගේ රංගන දිවියේ මංසලකුණු හදන්න පුරෝගාමී වූ දෙදෙනෙක් ගැන ඔහු කටපුරා පවසා සිටියා නොවේද?

ගැමිකම, අව්‍යාජ බව තාත්තාගේ ඇඟට කා වද්දමින් චිත්‍රපට කතා රචනා කළ හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්නත් ගැමි සුවඳ විහිද වූ චරිත ලබා දෙමින් චිත්‍රපට නිර්මාණය කළ එල්. එස්. රාමචන්ද්‍රන් ගැනත් තාත්තා තුළ තිබුණේ පුදුම ආදරයක්.

තාත්තාගේ ප්‍රියතම ආහාරය අම්මාගේ හදිසි වියෝවත් සමඟ ඔබ අතින්මයි පිළියෙළ වුණේ?

තාත්තා ආශාවෙන් කෑමක් කෑව නම් ඒ රතු හාල් බතුයි, හාල්මැස්සෝ තෙල් දාලා පරිප්පු, පොල් සම්බෝල එක්ක. මේ ටික තියෙනවා නම් තාත්තා කෑම කෑවේ බොහොම සතුටින්.

අව්‍යාජත්වයත් ගැමිකමත් තාත්තාගේ සැබෑ පෙනුමෙන් වෙන් කළ නොහැකි සේ බද්ධ වී තිබුණා නොවේද?

ඒක තමයි තාත්තාගේ තිබුණ විශේෂත්වය. කවදත් ගැමිකම ආයාසයෙන් ඇඟට ගන්න ඕනෑ වුණේ නැහැ. තාත්තා දිහා බලපු ගමන් ඒක පේන්න තිබුණා. ඒකනේ තාත්තා හැරුණත් ඇති බැලුවත් ඇති තරමට මිනිස්සු තාත්තාට අසීමිතව ආදරය කළේ. හිනා වුණත් මිනිස්සු සතුටු වුණා. එරෙව්වත් සතුටු වුණා. ඇත්තෙන්ම තාත්තා විරලම ගණයේ රංග ශිල්පියෙක්. මේ වගේ අය නම් ආයේ අපිට දකින්නවත් ලැබෙන එකක් නැහැ.

චිත්‍රපට නළුවකු ලෙසින් ඩී. ආර්. වඩාත් ජනප්‍රිය වීම ඇරැඹියේ ලෙස්ටර් ජේම්ස් පීර්ස්ගේ රේඛාව හරහා නොවේද?

ඒ චිත්‍රපටයේ තාත්තා කපටියෙකු ලෙස එන්. ආර්. ඩයස් සමඟ රඟපානවා. තාත්තාගේ බිරිය ලෙස අයිරාංගනී සේරසිංහත් පුතා ලෙසින් සෝමපාල ධර්මප්‍රියත් රඟපානවා.

සිරිසේන විමලවීරයන් තාත්තාගේ ජීවිතයේ ගොඩක් පැති වෙනස් කළ පුද්ගලයෙක්?

මම හිතන්නේ තාත්තාගේ පෞරුෂය වෙනස් කළේ සිරිසේන විමලවීරයන් කියලා. මොකද තාත්තා කලින් කලිසම ඇන්ද පුද්ගලයෙක්. විමලවීරයන් තමයි තාත්තාගේ කලිසම ගලවලා රෙද්ද බැනියම ඇන්දුවේ. මම හිතන්නේ ඒ ජාතික ඇඳුම තමයි තාත්තාට හොඳටම ගැළපුණේ. ඒ ගැළපීම කොච්චර ද කියනවා නම් රෙද්ද බැනියමට තාත්තාගේ ගැමිකම අපූර්වත්වයෙන් අපූර්වත්වයට පිළිබිඹු වුණා.

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මගෙ පුතා මනෝජ් ප්‍රසන්න. දුව සධානා ෂුශාරි. දෙන්නම විවාහ වෙලා. මගේ ස්වාමි පුරුෂයා හමුදාවේ ලේෆ්ටිනන්ට්වරයෙක්ව හිටියා. ඔහු නිහාල් අශෝක කල්දේරා. අද ජීවතුන් අතර නැහැ.

ඔබේ ලිපිනය පැවසුවොත්?

නොම්මර 100, නාවින්න රේල්වේ ඇවනිව්, නාවින්න, මහරගම.