වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




‘The Rainbow’ කියන්නේ මම සිනමාව දැකපු හැටි සහ මට දකින්න ඕනෑ විදිහ...

‘The Rainbow’ කියන්නේ මම සිනමාව දැකපු හැටි සහ මට දකින්න ඕනෑ විදිහ...

අධ්‍යක්ෂ නලින් රාජපක්ෂ

The Rainbow  - ‘රන් දේදුන්නක්’ සිංහල සිනමාවට එක්වන අලුත්ම චිත්‍රපටයයි. නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ The Rainbow  අද සිට කොළඹ රීගල් ඇතුළු ඛ්ඡ්ඹ් මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරැඹේ.

පාදඩකරණයට ලක් වූ සමාජයක අයුක්තිය, අසාධාරණයට එරෙහිව සටන් වදිනා අපේ කාලයේ පෙම්වතුන් යුවළකගේ වික්‍රමාන්විත සටන්කාමීත්වය පිළිබිඹු කරනා ඊඩඥ අචඪදඡධඹ ආදරය, සෙනෙහස මෙන්ම නැටුම්, ගැයුම්, හාස්‍ය සපිරි පවුලේ විනෝදාත්මක චිත්‍රපටයකි.

The Rainbow අධ්‍යක්ෂ නලින් අප හා මෙසේ එක්වන්නේ සිනමා අඹරට පෑයූ ඒ රන් දේදුන්නේ නෙක විසිතුරු ගැන සොඳුරු කතාබහක් වෙනුවෙනි.

අපේ සිනමා අඹරට රන් දේදුන්නක් පායන දවස අද?

මේ චිත්‍රපටය ඊඩඥ අචඪදඡධඹ, ‘අඟර දඟර’ මගේ පළමු සිනමා නිර්මාණයට වඩා වෙනස් එකක්. ‘අඟර දඟර’ මම නිර්මාණය කළේ ළමයින් සහ දෙමව්පියන් වෙනුවෙන්. එය තිරගත වුණේ 2011 වසරේදී. එතකොට ඉන් වසර පහකට පසුව මම ප්‍රේක්ෂකයින් අතරට එන්නේ ඊඩඥ අචඪදඡධඹ චිත්‍රපටයෙන්. මේක ක්‍රියාදාම චිත්‍රපටයක්. කවදා හෝ ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕනෑයි කියන ආශාව මගේ හිතේ තිබුණා. අපේ රටට ඔබින අයුරින්. මෙහි තිර නාටකය ලියන්න වසර එක හමාරක් විතර ගත වුණා.

The Rainbow කතා සංකල්පය ඔබේ?

ඔව්. කතා සංකල්පය මගේ, තිර රචනය සුනිල් ප්‍රේමරත්නගේ. මේ චිත්‍රපටය අපි දෙන්නා එකතු වෙලා කළ නිර්මාණයක්. විශේෂයෙන්ම කියන්න ඕනෑ මේක copy චිත්‍රපටයක් නෙවේ. මොකද අද නිර්මාණය වෙන බොහෝ ක්‍රියාදාම ගණයේ චිත්‍රපට කොපිනේ. The Rainbow කාටත් එකට සිට නරඹන්න පුළුවන් ත්‍රාසය, කුතුහලය නැටුම්, ගැයුම්, හාස්‍ය සපිරි හොඳ බයිස්කෝප් එකක්.

එදා ළමයින් සහ දෙමව්පියන් වෙනුවෙන් චිත්‍රපටයක් හැදූ ඔබ ඇයි මෙවැනි ක්‍රියාදාම චිත්‍රපටයක් කරන්න තීරණය කළේ?

අපේ රටේ ක්‍රියාදාම චිත්‍රපට නෙවෙයි බයිස්කෝප් ගණයේ චිත්‍රපට නිර්මාණය වෙනවා අඩුයි. ඒක මම අපේ ලංකාවේ දැකපු තත්ත්වයක්. අපේ සිනමාව එක රැල්ලකට කොටු වෙලා තිබුණා. සමහර ක්‍රියාදාම ගණයේ චිත්‍රපට ජනප්‍රිය දමළ චිත්‍රපටවල කොපි හැටියටයි ඉස්සරහට ආවේ. හැබැයි බයිස්කෝප්. ඒවා ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත්තා. ඉතින් The Rainbow ඒ රැල්ලට හොඳ තරගයක් දෙන්න පුළුවන් දේශීය ශීල්පීන් යොදාගෙන කරපු චිත්‍රපටයක්.

‘සටන්කාමී හෙළ සිනමාවේ ආදරණීය වෙඩි උණ්ඩය’ කියලයි මේ චිත්‍රපටය ඔබ හඳුන්වන්නේ?

අපි හැමෝම දන්නවා මම හිතන්නේ වෙඩි උණ්ඩයක් කියන්නේ ඉතාමත් වේගයෙන් ඉලක්කය කරා ගමන් කරන දෙයක්. මේ චිත්‍රපටයත් ප්‍රවේඝකාරී චිත්‍රපටයක්. වේගයෙන් ධාවනය වන චිත්‍රපටයක්. ඒ වගේම The Rainbow හරිම ආදරණීය චිත්‍රපටයක්. ඒ නිසා තමයි අපි අර විදිහේ තේමා පාඨයක් චිත්‍රපටයට යොදන්න තීරණය කළේ.

අපි දන්නවා බොහෝ සිනමාකරුවන්ට තමන්ගේ නිර්මාණ දිවිය සඳහා බලපෑ පරමාදර්ශී චරිත තිබෙනවා. දැන් ඒ විදිහට බලද්දී ඔබට කිසියම් සිනමාකරුවකුගේ ආභාෂය ලැබුණේ නැතිද?

මම පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපට නරඹන්න නැඹුරුවුණ කෙනෙක්. විශේෂයෙන්ම මා(ර්)ෂල් ආ(ර්)ට්ස් හොලිවුඩ් චිත්‍රපට, මෑතකදී හින්දි චිත්‍රපටත් බොහෝ සෙයින් නරඹන්නට යොමු වුණා. ඒ වගේම වාණිජ සිනමාවේ ජනප්‍රිය සිංහල චිත්‍රපටත් මම නරඹා තිබෙනවා. සමහර විට මේ චිත්‍රපටයට මට ඒවායෙන් අභාෂයක් ලැබෙන්න ඇති. නමුත් මේක ඛ්ධනර චිත්‍රපටයක් නෙවෙයි. මම සිනමාව දැකපු හැටි සහ මට සිනමාව දකින්න ඕනෑ විදිහ තමයි මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරන්න මම උත්සාහ කළේ.

ඒ උත්සාහය සාර්ථක වුණා කියලා ඔබ හිතනවාද?

මේ චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වූදා මාධ්‍ය සහෘදයන්ගෙන් මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතනවා ඒ ප්‍රතිචාරම මට ප්‍රේක්ෂකයන්ගෙනුත් ලැබෙයි කියලා.

අපේ සිනමාවේ තවත් ‘සුපිරි තරුවක්’ වන රොෂාන් රණවන තමයි ඔබ The Rainbow ප්‍රධාන චරිතයට තෝරාගෙන තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

ඔව්. රොෂාන් නියම ෆිල්ම්ස්ටාර් කෙනෙක් නිසා.

ඔහු ආදරණීය නළුවෙක්. ඒත් මෙය අතිශය ක්‍රියාදාම චිත්‍රපටයක්?

ඇත්තෙන්ම රොෂාන් ආදරණීය නළුවෙක්. ආදරය කියන එක ඔහුට අලුතෙන් කියා දෙන්න ඕනෑ දෙයක් නෙවේ. රංගනයේදී ඔහු පෙම්වතාගේ චරිතය නිරූපණය කරලා තියෙනවා ගොඩක් චිත්‍රපටවල. නමුත් ඒ වගේම ඔහුට තව පැත්තකින් ලොකු අසාධාරණයක් වුණා කියලත් මට හිතෙනවා.

ඒ මොකක්ද?

රොෂාන්ගෙන් අපේ සිනමාකරුවන් වැඩ ගත්තේ නෑ. එහෙම නැතිනම් හරි අඩුයි වැඩ ගත්තා. රොෂාන් රඟපෑ චිත්‍රපටවල වැඩි වශයෙන් ෆෝකස් වෙලා තිබුණේ ඔහුත් එක්ක රඟපෑ නිළිය. විශේෂයෙන්ම ක්‍රියාදම චිත්‍රපටවල. ඒ අඩුව අපි දැක්කා. ඒ පැත්තෙන් රොෂාන්ව ඉස්සරහට ඇවිත් තිබුණේ නෑ. සමහර විට ඒ කතා තේමාවන්ට අදාලව වෙන්න පුළුවන්. අධ්‍යක්ෂවරයාට අවශ්‍ය පරිදි සිදු වූ දෙයක් වෙන්නත් ඇති. නමුත් රොෂාන්ගේ පැත්තෙන් ඒක ඔහුට සිදු වූ අසාධාරණයක්. ඔහුගේ රංගනයේ වඩාත්ම හැංගී තිබුණ දේ තමයි මා(ර්)ෂල් ආ(ර්)ට් පැත්ත.

The Rainbow ඒ සටන්කාමිත්වය ඉස්මතු කළ චිත්‍රපටයක් කියායි ඔබ කියන්නේ?

ඔව්. මෙතනදි විශේ්ෂයෙන්ම ස්තුති කරන්න ඕනෑ වසන්ත කුමාරවිලට. ඔහු වර්තමානයේ අපේ සිනමාවේ ඉන්න දක්ෂතම සටන් අධ්‍යක්ෂවරයා. ඔහුත් එක්ක එකතු වෙලා තමයි මම මේ සටන් ජවනිකා නිර්මාණය කළේ. එතනදි මාස තුනක් විතර මා(ර්)ෂල් ආ(ර්)ට් ඉගෙන ගන්න වුණා එයාට. රොෂාන්ගෙත් සෑහෙන කැපවීමක් ඒ කෙරෙහි තිබුණා. ඔහුටත් අවශ්‍ය වුණා මේ චිත්‍රපටය හොඳින් කරන්න. රොෂාන්ගේ ආදරයත් එක්ක සටන් ජවනිකා එක් කළාම ලොකු අඩුවක් නැතුව ගියා මම හිතන්නේ. ඒ නිසා තමයි මම රොෂාන්ව මේ චිත්‍රපටයට තෝරා ගත්තේ.

ඔබත් සටන් කලාව පිළිබඳ පරිචයක් අවබෝධයක් තිබෙන අධ්‍යක්ෂවරයෙක්. එතනදි ඒ දැනුමත් උපයෝගී වුණා මේ සටන් ජවනිකා නිිර්මාණය කරන්න නේද?

මම මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරන්න ඕනෑ මාස්ටර් ජී. ඒ. ටී. ලිවේරා සහ එස්. සමරවීර යන මහත්වරුන්ව. ඔවුන් යටතේ මම කළු පටි ශ්‍රේණිය දක්වා ඉගෙන ගෙන තියෙනවා මා(ර්)ෂල් ආ(ර්)ට්. මේ චිත්‍රපටයේදී ඇත්තටම ගත්තොත් සටන් ජවනිකා නිර්මාණය කරද්දී වසන්තට මගෙනුත් ලොකු සහයක් ලැබුණා කියලා කියන්න පුළුවන්. ශිල්පය මම දන්න හින්දා මට පුළුවන් වුණා මට අවශ්‍ය දේ ඔවුන් ලවා කරවා ගන්න. චිත්‍රපටය නරඹන කෙනෙකුට රොෂාන්ගේ සටන් ජවනිකාවල ලොකු වෙනසක් දකින්න පුළුවන් වේවි.

ඉලක්කෙට වෙඩි තැබීම පවා ඔබේ අනු දැනුම උඩ තමයි සිදු වුණේ?

Negambo Rifels Club එකේ මම සාමාජිකයෙක්. ඉතින් පිස්ටල් එක කියන එක ඇත්තටම මට අලුත් දෙයක් නෙවෙයි. රොෂාන්ට ඒ වෙඩි තැබීම් කරද්දී පිස්ටල් එක අල්ලන විදිහ සහ එය එසවෙන්න ඕනෑ විදිහ පවා කියලා දෙන්න පහසුවක් වුණා මගේ ඒ තිබිච්ච දැනුම.

මම හිතන්නේ අපේ සිනමා අධ්‍යක්ෂවරු අතරේ කළුපටිධාරී එකම වෙඩික්කරුවා ඔබ වෙන්න ඇති?

ඒක නම් මම දන්නේ නෑ.

එතකොට ඔබ රොෂාන් සමඟ ප්‍රධාන නිළි භූමිකාවට තෝරා ගත්තේ ටනාෂා හතරසිංහ කියන නවක නිළිය. ඇයි ඒ තෝරා ගැනීම සිදු කළේ?

මට අවශ්‍ය වුණා රොෂාන්ට ගැළපෙන නිළියක් තෝරා ගන්න. විශේෂයෙන්ම රොෂාන්ගේ උසට හා පෞරුෂයට ගැළපෙන කෙනෙක්. ඇයට රඟපාන්න තිබුණේ මාධ්‍යවේදිනියකගේ චරිතය. එතනදී අලුත් මුහුණක් අපේ සිනමාවට හඳුන්වා දෙන්නත් මට වුවමනාව තිබුණා. ඒ සඳහා සම්මුඛ පරීක්ෂණ සැහෙන්න තිබ්බා Interview හරහා තරුණියන් සම්බන්ධ කරගෙන මමයි රොෂානුයි ගෙවල්වලටම ගිිහිල්ලා සමහරුන් Interview කළා. ඒත් අපිට හොයාගන්න බැරි වුනා. අන්තිමේදී තමයි අපට ටනාෂාව හම්බ වුණේ. ටනාෂාගේත් අපි Photo Shoot එකක් කරලා ගැළපෙනවද බලලා තමයි චිත්‍රපටයට සම්බන්ධ කර ගත්තේ. මේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය. නමුත් කැමරාව ඇයට නුහුරු දෙයක් නෙවෙයි. ඉතින් ඒ පළපුරුද්දත් එක්ක චිත්‍රපටය වෙනුවෙන් එයා ලොකු දෙයක් කළා කියලා මම හිතනවා.

ඔබ මේ චිත්‍රපටයේ ආදරය, සටන්කාමීත්වය වගේම හාස්‍ය මතු කරන්නත් ප්‍රබල උත්සාහයක යෙදෙනවා?

සුසිලා කෝට්ටගේ, නිල්මිණි කෝට්ටේගොඩ කියන්නේ මට නුහුරු චරිත නෙවෙයි. මොකද ‘අඟර දඟර’ චිත්‍රපටයේදී සෑහන දායකත්වයක් ලැබුණා ඒ අයගෙන්. ඒත් එක්කම අලුතින් සම්බන්ධ කරගන්න පුළුවන් වුණා ඩී. බී. ගංගොඩතැන්න. මම හිතන්නේ මේ චිත්‍රපටයට ඔවුන් ලොකු සාධාරණයක් ඉටු කරනවා. හාස්‍ය මතු කිරීම තුළින්. ප්‍රේක්ෂකයන්ටත් අලුත් අත්දැකීමක් වෙයි ඔවුන්ගේ ඒ රංගනය.

වර්තමානයේ අපි සිනමාවේ අත්දකින ලොකු ප්‍රශ්නයක් තමයි මේ හොඳ තිර නාටක බිහි නොවීම. හොඳ තිර නාටකයක් තියෙනවා නම් චිත්‍රපටයක හරි අඩක් නිමයි කියලා කතාවක් අපි අහලා තියෙනවා?

ඔව් . . .?

ඔබේ චිත්‍රපටයට හොඳ තිර නාටකයක් ලැබුණා කියලා ඔබ විශ්වාස කරනවාද?

මමත් විශ්වාස කරන දෙයක් තමයි තිර නාටකය හොඳට තියෙන්න ඕනෑ කියන එක. තිර නාටකය කපලා කොටලා ගන්න එකේ ප්‍රතිඵලය තමයි මම හිතන්නේ අපි අවසානයේදී රූප මාධ්‍යයෙන් දකින්නේ. අපට මේ තිර නාටකය සකස් කරන්න අවුරුදු එක හමාරකට වැඩි කාලයක් ගියා. මොකද ඒ තරමට අපි මේක අධ්‍යයනය කළා. සමහර සීන්ස් අයින් කරලා, අලුතෙන් එකතු කරලා, ඩයලොග්ස් අයින් කරලා, ආයේ ලියලා එහෙම තමයි අවසානයේදී අපි තීරණය කළේ මේක කරන්න. මම කියන්නේ නෑ මේක සීයට සීයක් සාර්ථක තිර නාටකයක් කියලා. මේකේ අඩුපාඩු ඇති. නමුත් මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී චිත්‍රපටයක් කරනවා නම් ඒ වැරදි අඩුපාඩු හදාගන්න.

එහෙම අවදානමක් අරගෙන වැරදි හදාගෙන නිර්මාණ කරන්න පුළුවන්ද වෘත්තීය සිනමාකරුවෙකුට?

මෙහෙමයි. ‘අඟර දඟර’ චිත්‍රපටය කරද්දී මම දැකපු දේවල්, සිදු වූ වැරදි අඩුපාඩු මම The Rainbow හදද්දි පාඩමකට ගත්තා. මේ චිත්‍රපටය ඊට වඩා සීයට දෙසීයකින් ඉදිරියට ඇවිත් තියෙනවා කියලා මම හිතනවා. එහෙම වුණේ අර කලින් ලබපු අත්දැකීම් නිසා. ඒ වගේම මේ චිත්‍රපටය තුළින් ලබපු අත්දැකීමුත් තියෙනවා. ඒ අත්දැකීම් මම ඉදිරියේදී යම් නිර්මාණයක් කළොත් ඒකට ඉවහල් වෙනවා බවත් මම දන්නවා.

වර්තමානයේ බිහිවන ක්‍රියාදාම චිත්‍රපටවල කේබල් තාක්ෂණය යොදා ගනිමින් තමයි ගොඩක් සටන් ප්‍රතිනිර්මාණය කරන්නේ. ඔබ සටන් කලාව ප්‍රගුණ කළ අයෙක් හැටියට දන්නවා ඇතිනේ බෲස්ලීගේ චිත්‍රපටවල එහෙම කේබල් Shots තිබුණේ නෑනේ ඒ කාලේ.?

ඔව්.

එතකොට අපේ සිනමාවේත් ගාමිණීලා, ඇලෙක්සැන්ඩර්ලා, බන්දු මුණසිංහලා, රොබින්ලා ෆයිට් කරද්දී විසිල් ගහලා තමයි ප්‍රේක්ෂකයෝ ඔවුන් පිළිගත්තේ. මම අහන්නේ තාක්ෂණය යොදා ගත් පමණින් එවැනි ජීවමය ගුණය සපිරි සටන් ජවනිකා නිර්මාණය කළ හැකි ද කියන එකයි?

සිනමාව කියන එක මම හිතන්නේ යාවත්කාලීන වෙන්න අවශ්‍යයි. එදා ඒ තිබුණු සටන් කලාව සහ ශිල්පීය ක්‍රම අද වෙන කොට යල්පැන ගිය ඒවා වෙන්න පුළුවන්. අද තමන්ගේ HandPhone එක ගත්තොත් ඕනෑම කෙනකුට ඕනෑම වෙලාවක චිත්‍රපටයක් බලන්න පුළුවන්. ඒගොල්ල ඒ වෙනස දන්නවා. අපි ඒ කාලේ දුටු ඒ සටන් ජවනිකා තිබුණේ උපරිම තලයේ වෙන්න පුළුවන්. නමුත් ඒවා අදට ගැළපෙන්නේ නෑ. අනෙක සිනමාව කියන්නේ කලාවක් වගේම ව්‍යාපාරයක්. එතනදි ප්‍රේක්ෂකයාගෙන් ප්‍රතික්ෂේප වෙන විදිහේ චිත්‍රපටයක් කරන්න බෑ. වර්තමානයට ගැළපෙන නිර්මාණයි අපි කරන්න ඕනෑ. දකුණු ඉන්දියාවේ චිත්‍රපට ගත්තොත් අපි දකිනවා මිනිස්සු පැය ගණන් උඩ ඉඳලා තමයි බිමට වැටෙන්නේ.

කේබල් තාක්ෂණයේ මහිමයෙන්?

ඔව්. අපිත් මේ චිත්‍රපටයට කේබල් තාක්ෂණය යොදා ගත්තා. ඒත් අපි උත්සාහ කළා උපරිම කලාත්මක අයුරින් ඒවා කරන්න. මොකද සටනත් කලාවක්. චිත්‍රපට සටනුත් කලාවක්. ඉතින් ඒ චිත්‍රපට සටන් කලාව ඇතුළේ ප්‍රේක්ෂකයාට රස විඳින්න පුළුවන් විදිහේ සටන් ටිකක් නිර්මාණය කරන්න තමයි අපි උත්සාහ කළේ. මම හිතනවා අපි උපරිම විදිහට ඒ දේ කළා කියලා. හැබැයි ඒකේ සාර්ථක, අසාර්ථක බව හරියටම තීරණය කරන්නේ ප්‍රේක්ෂකයා.

මේ සතියෙන් දෙකෙන් චිත්‍රපට සිනමාහල්වලින් ගැළවෙන යුගයක්. එහෙම වටපිටාවක ඔබේ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන්, ප්‍රේක්ෂකාගාරවලට කැඳවන්න පුළුවන්ය කියන විශ්වාසය ඔබට තියෙනවාද?

ඔව්. මට විශ්වාසයක් තියෙනවා මම කරපු නිර්මාණය ප්‍රේක්ෂකයන් අතරට යයි කියලා. ඉතින් ඊට කලින් අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මෙහෙම චිත්‍රපටයක් තියෙනවා කියලා ප්‍රේක්ෂකයන් දැනුම්වත් කරන එක. ප්‍රේක්ෂකයා වෙත මේ පණිවිඩය ගෙන යන්න නිසි ක්‍රමවේදයක් හැදිලා තියෙනවා කියලා මම හිතන්නේ නෑ. අපේ උත්සාහයෙන් තමයි අපි නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට ගෙන යන්නේ.

ඔබ කියන්නේ මාධ්‍යය මඟින් ලැබෙන අවස්්ථාවන් මදි කියලද?

ඇත්තෙන්ම ඒ එක උදාහරණයක්. මම හිතන්නේ මේකට නිසි ක්‍රමවේදයක් හැදිය යුතුයි චිත්‍රපට සංස්ථාව හෝ මැදිහත් වෙලා. හොඳ නරක තීරණය කිරිම ප්‍රේක්ෂකයා සතුයි. නමුත් මෙහෙම චිත්‍රපටයක් තියෙනවා කියන එක මිනිස්සු අතරට ගෙනියන එක මම හිතන්නේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කෙරෙන්න ඕනෑ දෙයක්.