වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘මහරූ යාමේ’ ගීතය ලීවේ කවුද?

කැලණිය දළුගම චන්ද්‍රා කාන්ති පියතුංග
ප්‍රශ්නය - සිංහල සිනමාවට නැඟුණු ප්‍රථම නවකතාව කුමක්ද? එහි කතුවරයා කවුද?
පිළිතුර -
කැලෑහඳ, ඩබ්ලිව්. ඒ. සිල්වා.

මීගොඩ රුවින්ද කොල්ලුරේ
ප්‍රශ්නය - 'අනුහස' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සෙබස්තියන් ජයසිංහ ගැන යමක් කියන්න?
පිළිතුර -
ඔහු චිත්‍රපට නළුවෙක්. 'සරදියෙල්' චිත්‍රපටයෙන් සිනමාවට ආ ඔහු පසුව 'ජීවිත සටන', 'යළි ඉපදේ' වැනි චිත්‍රපටවලද රඟපෑවා. ඔහු අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටය අනුහස. එහි ප්‍රධාන චරිතය රඟපෑවෙත් ඔහු.

ඉහල විරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක
ප්‍රශ්නය - 'දස්කොන්' චිත්‍රපටයේ දස්කොන්ගේ චරිතය රඟපෑ නළුවා කවුද?
පිළිතුර -
කිත්සිරි පෙරේරා.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - ලතා වල්පොල ගයන 'ප්‍රේ්මයේ චන්ද්‍රයා යයි බැස මා හද - සෝකයේ අඳුරෙහි ලා හෙළා' ගීතය ඇතුළත් වූ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
'අහංකාර ස්ත්‍රී'. එය ලතා ගැයූ ගී අතරින් ඉතාම විශිෂ්ට ගීතයක්. එසේම ආර්. මුත්තුසාමිගේ විශිෂ්ට ගී තනුවක්.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - ධර්මසිරි වික්‍රමරත්නගේ 'රන්තෝඩු' නාට්‍යයේ මිස්ටර් රණසිංහ ලෙස රඟපෑ නළුවා කවුද? එහි වේදිකා පරිපාලනය කළේ් කවුද?
පිළිතුර -
නළුවා සුගතපාල ද සිල්වා. වේදිකා පරිපාලනය කළේ තිස්ස අබේසේකර. පියසිරි නාගහවත්ත හා ජී. ආර්. පෙරේරා (එකල රත්නපාල ගල්හේන නමින්).

වස්කඩුව දෙදියවල ගාමිණී ගුණතිලක
ප්‍රශ්නය - සුන්දර හදකට දී පෙම් වරම්', 'කඳුළ නිවන්නම්' වැනි රසබර ගී ගැයූ ගායිකාව කවුද ? ඒ ගීත ලීවේ කවුද?
පිළිතුර -
ගායිකාව ප්‍රියානි ජයසිංහ. ගීත රචකයා අශෝක කෝවිලගේ.

අංගොඩ මහබුත්ගමුවේ ඩබ්. ඒ. විජේසිරි පෙරේරා
ප්‍රශ්නය - මාතලන් චිත්‍රපටයට ගී ගැයූ එකම ගායිකාව ලතා වල්පොල පමණක්ද?
පිළිතුර -
නැහැ. කේ. රාණි එක් ගීතයක් ගැයුවා. 'හඳ රාහු මුඛයෙහි ගිලුණා ලෙසේ' ගීතය ගයන්නේ ඇය.

දෙහිවල නැදිමාල කේ. ඩී. කරුණාරත්න
ප්‍රශ්නය - අපේ රටේ සම්මාන උත්සවවලින් ඉහළම සම්මාන උලෙළ කුමක්ද?
පිළිතුර -
අපිට නම් 'සරසවිය' සම්මාන උලෙළ තමයි.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - දයාරත්න - අමරා යුවළ ගයන 'මහ රෑ යාමේ මේ ඇල්හේනේ' ගීතය ලීවේ කවුද?
පිළිතුර -
මර්වින් සේනාරත්න.

මහනුවර අකුරණ තිස්ස වෙල්ගම්පළ
ප්‍රශ්නය - මීට සති කීපයකට ඉහත මෙම තීරුවේ දක්වා තිබූ අයිරාංගනී සේරසිංහගේ ලිපිනය වැරදියි නේද?
පිළිතුර -
ඔව්. ඇගේ අලුත් ලිපිනය මෙන්න. 41/19, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ.

මොරටුව මැල්කම් ප්‍රදිනන්දු
ප්‍රශ්නය - ඇතැම් නළු නිළියන් රූපවාහිනි සජීවි වැඩසටහන්වලට බල්ලන් රැගෙන එන්නේ ඇයි?
පිළිතුර -
ඒ අය වැඩපුර ආශ්‍රය කරන අය රැගෙන ආවම මොකද වෙන්නේ?

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා.

මහවැව නන්දා ලියනගේ, බණ්ඩාරගම පේමලතා සූරියආරච්චි, වැලිගල්ලේ එච්. එම්. විජේතිලක, චාන්දනි කුමාරි, වත්තල හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, රත්නපුර පැල්වාඩියේ එස්. එස්. නීලවාහිනි, කැලණිය දයාරත්න ගණේගොඩ, අලුත්ගම එස්. ඒ. පේමලතා

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න